Type to search

ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ ඩෙල්ටා ප්‍රභේදය: රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? – මහාචාර්ය සුනෙත් අගම්පොඩි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු අඟවයි.

එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන්ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.

“නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා” යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

දවසකට මරණ 200, 300 ක්?

සීග්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි.

වහා සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බවත් තවදුරටත් වසංගතය පිළිබඳ බොරු සහතික ලබා නොදිය යුතු බවත් සතියකට පෙර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“හැබැයි අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්.”

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි ඉදිරි සති දෙක තුළ මරණ අඩු කිරීමට නම්:

පැමිණෙන සියලුම රෝගීන් රෝහල්වලට ඇතුලත් කර ගැනීම සහ නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම මෙන්ම රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබා දීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදු විය යුතුය.

“මහාචාර්ය චන්න ජයසුමන කී ආකාරයටම අපිට තිබෙන බරපතලම ගැටලුව වෙන්නේ ඉන්දියාවේ වුණා වගේ ඔක්සිජන් ප්‍රමාණය මදි වුණු ගමන් අපි වෙනදා බේරගන්න ලෙඩ්ඩු මැරෙන්න තිබෙන අවදානම වැඩි වීම.”

“ඒ දේ නවත්ත ගන්න නම් අපි ආපසු මුලට යා යුතුයි. රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න අවශ්‍යයි.”

“රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

“ආර්ථිකය ද? ජීවිතය ද?”

ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

“ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.”

“අද සති දෙකක් වැහුවත්, තව සති දෙකකින් සති දෙකක් වැහුවත් ආර්ථිකයට එන බලපෑම එකයි. හැබැයි අද සති දෙකක් වැසීම සහ තව සති දෙකකින් රට වැසීම හරහා අපිට නැති වෙන ජීවිත ප්‍රමාණය දෙතුන් දාහක් වෙන්න පුළුවන්, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.”

“අපිට රට එකපාරක් ඇරලා, ආපහු වහන්න උනොත් මේක අපේ ෆේලියර් එකක්, මේක අපේ වැරද්දක් වෙනවා වගේ හැඟීමක් නිසා අවශ්‍ය දේ නොකරන ගතියක් පේනවා.”

“අපිට යම් තීරණයක් ගන්න වෙනවා, ඊට පස්සේ තවත් තීරණයක් ගන්න වෙනවා කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. මේක තමයි ගෝලීය වසංගතයක යතාර්ථය.”

මහාචාර්ය සුනෙත් අගම්පොඩි වෙත BBC සිංහල සේවය යොමු කළ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරැ පහත දැක්වේ.


මහාචාර්ය සුනෙත් අගම්පොඩි

ලංකාව අද සිටින තැන?
වසංගතය ආරම්භයේ සිට මේ දක්වා පැවති භයානකම කාලයට දැන් අප මුහුණ දී සිටිනවා.

මේ අද පවතින භයානකම තත්ත්වය, හෙට මීට වඩා භයානක තත්ත්වයක් වෙනවා. අනිද්දා ඊටත් වඩා භයානක තත්ත්වයක් වෙනවා.

මෙතෙක් සෑම රටකම පැවති භායනකම තත්ත්ව දක්නට ලැබුනේ ඩෙල්ටා ප්‍රභේදය එම රටවලට ඇතුළු වී එය පැතිර ගිය පසුවයි.

අසල්වැසි ඉන්දියාවේ, ඇමරිකාවේ, යුරෝපා රටවල අපට එම තත්ත්වය දැකිය හැකි වුණා.

මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි?

මේ මොහොත වන විටත් අප ඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් හෝ යුරෝපයෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් එසේත් නොමැති නම් ලංකාවේ අප්‍රේල්, මැයි, ජුනි මාසවල සිදු වූ දේවලින් පාඩමක් ඉගනගෙන නැති ස්වභාවයක් තමයි දක්නට තිබෙන්නේ.

අපි මේ ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම අභියස නෙමෙයි. මම දකින විදිහට දැන් එහි කඩා වැටීම ආරම්භ වෙලා තිබෙනවා.

වසංගතයකදි අපි යමක ධාරිතාව ඉක්මවා ගිය පසු පියවර ගන්න පටන් ගත්තොත් අපිට දැකිය හැකිවන මරණ සංඛ්‍යාව සහ අප පත්වෙන තත්ත්වය ඉතාම භයානකයි.

අපට මේ මොහොතේ කළ හැක්කේ කුමක්ද?

අපිට කළ හැකි සියල්ල හෙට උදේ වන විට සිදු කළත් මේ පවතින තත්ත්වය අනුව මරණ ක්‍රමයෙන් වැඩි වෙනවා. අපට පාලනය කරන්න බැරි වෙනවා.

ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්.

එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ.

එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා.

දැනට එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ 15% කට පමණයි. ඒ නිසා දැන් පවතින වසංගත තත්ත්වය ඉදිරි මාස දෙක තුන තෙක් පාලනය කිරීම අපට කිසිසේත් කරන්න බැහැ.

එන්නත්කරණය වේගවත් කිරීම පමණක් සෑහේද?

දැන් එන්නත්කරණය ඉතාම වේගයෙන් කරගෙන යනවා. එය ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතිනවා.

හැබැයි එය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට ද කියන දේ ගැන බරපතල ගැටළුවක් පවතිනවා.

මරණ නවත්ත ගන්න නම් ඒ අවදානම වැඩිපුරම තිබෙන්නේ කාටද කියන දේ අපි අඳුර ගත යුතුයි.

ඒ කියන්නේ වැඩිමහල් සහ වෙනත් රෝග තත්ත්වයන් සහිත අයට තමයි අවදානම වැඩි.

සයිනොෆාම් පළමු මාත්‍රාව දුන්නට කිසිම ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාවත් දීලා සති දෙකක්වත් ගත වෙන්න ඕනි ආරක්ෂාවක් ලැබෙන්න.

ඇස්ට්‍රාසෙනෙකා හෝ ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත්වල පළමු මාත්‍රාවෙන්ම යම් ආරක්ෂාවක් ලැබෙනවා.

ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලත් පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා.

අපි මේ භයානක අවස්ථාවේ කළ යුතු දේ වන්නේ, මේ අධි අවදානම් කාණ්ඩවලට අයත් මහළු, සංකූලතා සහ ලෙඩරෝග තිබෙන අයට පළමු මාත්‍රාවෙන් යම් ආරක්ෂාවක් ලැබෙන එන්නතක් ලබා දීම සහ අනෙක් අයට සයිනොෆාම් එන්නත ලබා දීම.

එමගින් යම් තාක් දුරකට මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම කරන්න පුළුවන්.

ඒ පළවෙනි දේ. දෙවෙනි කාරණය සංචරණ සීමා.

අපි මරණයට පත් වෙන සංඛ්‍යාව අඩු කරන්න කෙතරම් උත්සාහ කළත්, රෝහල් සේවා කෙතරම් වැඩි දියුණු කළත් අපි එතනදී කරන්නේ කරාමයක් ඇරලා වතුර ඉහිනවා වගේ වැඩක්.

කරාමය වහන්න දේවල් කරන්නේ නැතිනම් මේ දේ කරගන්න අමාරුයි. කරාමය වහනවා කියන්නේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට කළ යුතු දේවල්.

පැතිරීම වළක්වා ගන්නේ කොහොමද?

ඒ සඳහා කළ යුතු දේවල් අලුත් දේවල් නෙවෙයි.

වසංගතය ආරම්භයේ පටන් අපි දන්නවා, අංක එක: මේක කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන රෝගයක්.

පැතිරීම නවත්වන්න නම් පළමු කාරණය, අපි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුයි.

තනි තනි පුද්ගලයන්ට වගේම ප්‍රතිපත්ති සැකසීම කියන දේ හරහාත් මේ දේ කළ හැකියි.

20%-30% අතර සංඛ්‍යාවකින් පහළ බැස තිබුණු සංචරණය ආපසු 90% ට පමණ ළං වුණා.

මිනිස්සු සංචරණය කරන තාක් අපිට මේ රෝගය පැතිර යාම වළක්වා ගන්න බැහැ.

රෝගය පැතිර යාම වළක්වා ගන්නේ නැතුව මේ අවස්ථාවේ මරණ අඩු කර ගන්න හොඳටම අමාරුයි.

මොකද රෝගීන්ට රෝහල්වලට ඇතුලත් වෙන්න බැරි ස්වභාවයක් දැන් තිබෙන්නේ.

සංචරණ සීමා ඉවත් කළ යුතුව තිබුණා, මොකද අඩු ආදායම් ලබන රටක් හැටියට හැමදාම අපිට රට වහගෙන ඉන්න බැහැ.

නමුත් මේ තත්ත්වය එන බව අප කිව්වත් ඒ වෙලාවේ සංචරණ සීමා ඇති කළේ නැහැ.

ඒ වෙනුවට මේ සතියේ මුල වෙනකොට සියලුම රජයේ සේවකයන්ට සේවයට එන්න කියන දේ තමයි අපේ ප්‍රතිපත්තිමය තීන්දුව වුණේ.

මංගල උත්සව සහ වෙනත් උත්සව ඇතුළු සියලුම ඒකරාශීවීම්වලට ඉඩ හැරීම තුළින් රෝගයේ පැතිර යාමට ඉතා බරපතල තත්ත්වයක් ඇති කළා.

ඒ නිසා මිනිස්සුන්ගේ සංචරණය සහ මිනිසුන් ඒකරාශී වීම අනිවාර්යයෙන් නතර කළ යුතුමයි.

අනෙක් කාරණය තමයි අපිට තිබෙන ප්‍රශ්න ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවනවා. හැබැයි මේ රටේ ලක්ෂ පනහක් හැටක ජනතාවක් විශ්වාස කරන්නේ අපි කවුරුත් කියන එක නෙමෙයි තමන්ගේ දේශපාලන නායකයන් කියන දේ.

දේශපාලන නායකත්වය සහ රජය පැහැදිලිවම මිනිස්සුන්ට කියන්න ඕනි, “අපි ඉන්න තත්ත්වය මේකයි. එන්නත් ලබා ගත් අයත් ඇතුළුව හැම කෙනාගෙම ජීවිතය අනතුරේ තිබෙනවා. අන්න ඒ නිසා අපි මේ දේ කළ යුතුයි” කියන පණිවිඩය දිය යුතුයි.

එහෙම නැතුව බොරුවට අපි කිව්වොත් “නෑ, අපි මේක පාලනය කරනවා” කියලා, ඉන් මිනිස්සුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවෙනවා.

මෙතනදී සමහර කෙනෙක් කියනවා “බොරුවට බය ඇති කරන්න එපා” කියලා. හැබැයි මේ වෙලාවේ අපි බිය ඇති කළේ නැතිනම් මිනිස්සුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරන්න අමාරුයි.

ඒ තත්ත්වය ඉතිහාසය පුරා වෙනත් රටවලත් ගෝලීය වසංගත යනකොට දැක තිබෙන දෙයක්.

ඒ හැරුණු කොට ඊට එහා ගිහින් රෝහල්වල අපිට ලොකු වෙනසක් කළ යුතු වෙනවා.

ප්‍රජා සෞඛ්‍ය සේවා හරහා නතර කර ගත හැකිව තිබුණු දේ දැන් සම්පූර්ණයෙන් ගිලිහිලා රෝහල් වෙත ගිහින්.

රෝහල්වල පිරිස් බලය ගැන යළි සිතා බැලීම අවශ්‍යයි. අපි මොන වාට්ටුවලට ද වැඩිපුර වෛද්‍ය සේවාවන් ලබා දෙන්නේ, වෙනත් වාට්ටුවල ඉන්න හෙදියන්, වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය කොරෝනා රෝගීන් සඳහා යොමු කරන්නේ කොහොමද කියන දේවල්.

සෘජු තීරණ ගන්න ඕනි. දැඩි තීරණ ගන්න ඕනි. එහෙම නැතුව මේක කරන්න අමාරුයි. මිනිස්සු ඒ දේවල්වලට විරුද්ධ වෙන්න පුළුවන්.

හැබැයි ඒ දේවල් නොකොළොත් රෝහල් වෙත එන මිනිස්සු මරණයෙන් ගලවා ගැනීම අමාරු වෙනවා.

එන්නත්කරණය සහ සංචරණ සීමා හැරුණු කොට වසංගත රෝග පාලනයේදී ජනතාවට තොරතුරු ලබා දීම කෙතරම් වැදගත්ද?

වසංගත රෝග පාලනයකදී තොරතුරු, දත්ත කියන දේ අංක එක.

ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ.

මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්.

මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම වගේ තමයි සිටියේ.

නමුත් මේ ගෝලීය වසංගතයේ මීළඟට එන රැල්ලේදී අපට ලොකු මරණ ප්‍රමාණයක් සිදු වෙනවා කියන දේට අපේ සූදානමක් තිබුණේ නැහැ.

මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ.

මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්‍රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ.

දැනට වුණත් අපි සියලුම දෙනා දැක්කා සමහර මරණ තහවුරු කිරීම් සිදු වුණේ සති හතරක් පහක් පහු වෙලා.

මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉදිරියේ අපගේ සූදානම කෙබඳු විය යුතුද?

පාලකයන්, ජනතාව සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ කතා කරන්නේ ගෝලීය වසංගතයක් ගැන.

අපි යුද්ධයක් එක පාරට ගහලා දිනනවා වගේ, එන්නත් ටික එක පාර ගහලා හෝ රැල්ලක් පාලනය කරලා මේක ඉවරයි කියලා අපිට අත පිස දාගන්න බැහැ.

අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු දෙයක් තමයි මේ ගෝලීය වසංගතය එක්ක අපිට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව.
එතකොට මේක කෙටි කාලීන සටනනක් නෙමෙයි, දිගු කාලීන සටනකට යන කොට මානසිකව අපි ඒ සඳහා සුදානම් විය යුතුයි.

මේක අපි කිසිදාක අත්විඳපු නැති දෙයක්. ඒත් අපිට මේ තත්ත්වෙන් තව මාස 6 ක්, මාස 8 ක් හෝ අවුරුද්දක් යන්න වෙනවා.

“ලබන මාසේ එන්නත් ටික ගහලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන්” කියලා මානසික රැවටීමක හිටියොත් වෙන්නේ ආපහු රැල්ලක් එනකොට අපි විශාල මානසික බිඳ වැටීමකට ලක් වෙනවා.

ආපහු ලොක්ඩවුන් එකක් එනකොට, සංචරණ සීමා පැනවෙන කොට මානසික ආතතියක් එනවා. මිනිස්සුන්ට ඇත්ත කීම සහ වටහා දීම වැදගත් වෙන්නේ මේ නිසයි.

“මේක ඇති වෙමින්, නැති වෙමින් යන දෙයක්. තව ඉස්සරහටත් මේක එන්න පුළුවන්” කියන දේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි.

අපි ඒක පසුබෑමක් විදිහට දකින්න හොඳ නැහැ. රටක් වහනවා, කඩ ටික වහනවා, ආපහු අරින්න වෙනවා… මේක වසංගතයක ස්වභාවය.

මිනිස්සුන්ට අන්න ඒ පණිවිඩය පැහැදිලිවම දෙන්න ඕනි.

ඒ වගේම දිගින් දිගටම ගෙවල්වලට වෙලා සිරවී සිටීම, මරණ බිය ඇති වීම සහ ආර්ථික ප්‍රශ්න හරහා ලොකු මානසික ආතතියක් දැනෙන්න පුළුවන්.

ඇත්තටම අපිට වසංගතයේ මානසික ගැටළු නිරාකරණය කිරීම සඳහා අපිට තවමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ.

– BBC

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *