පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම් – හරීන්, ඇමති වීරසේකර පසුබට වෙයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය යොදවා තමන්ව අත්අඩංගුවට ගැනීමට තැත් නොකර ඕනෑම රූපවාහිනී නාලිකාවක මුහුණට මුහුණලා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අභියෝග කළේය.

“ඔන්න වීරසේකර මහත්තයා ඉන්නවා. මම දැක්කා මම ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ වීරසේකර මහත්තයා කියනවා මම දන්න කරුණක් තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුවේ කිව්වෙ, ඇයි ගිහිල්ලා සීඅයිඩීයට කියන්න බැරි කියලා. හරි මහත්තයෝ ඔයයි මායි, මං තියෙන කරුණු කියන්නම් ඔබතුමා මගෙ කරුණු බිඳින්න. අන්න විවාදයක්, සංවාදයක් ඔබතුමාට මං දැන් මුහුණට මුහුණ ආරාධනා කරනවා. මේ කිව්ව හැම කරුණක්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කමිටුවේ කියපු කරුණු” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ “රැල්ලට බය නම් වැල්ලට එන්නෑ කියපු හරීන් ප්‍රනාන්දු මැතිතුමා මේ සීඅයිඩී එකට ප්‍රශ්න කරන්න කිව්වාම කෙළින්ම ගිහිල්ලා නවලෝකෙට ඇඩ්මිට් වෙනවා. ඒ වගේ කෙනෙක් එක්ක අභියෝගයට මුහුණ දෙන්න මං කැමති නෑ. නමුත් හරීන් ප්‍රනාන්දු ඒ විමර්ශනයට සම්බන්ධයි. ඒක නිසා ඔබතුමා විවාදයකට යනවා නම් සීඅයිඩී එකේ ඔෆිසර්ස්ලා එක්ක යන්න. මාත් එක්ක එන්න ඕනෙ නෑ, මොකද මේක දේශපාලන කටයුත්තක් නෙවෙයි” යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් “සීඅයිඩී ඔෆිසර්ස්ලාත් එක්කම සජීවී සංවාදයකට අරන් එන්න, මම සූදානම්. සජීවී සංවාදයකට එන්න !” යැයි හරීන් ප්‍රනාන්දු මහතා නැවතත් සරත් වීරසේකර අමාත්‍යවරයාට අභියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *