මෙහෙම ගියොත් පොහොට්ටුවටත් වෙන්නේ එජාපයට වූ දේමයි..- රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

‘රජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ජනතාව ගන්න’

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම අදහස් පළ කර සිටියේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි .

“ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් බහුතරයක් ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබුයේ එක රටක් එක නීතියක් වෙනුවෙනුයි . නමුත් අපිට සැකයක් මදිපුංචිකමක් මේ වන විට දැනෙමින් පවතිනවා . බැඳුම්කර හොරු ටික ඇල්ලුවද ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ . මෙහි ප්‍රධාන චූදිතයෝ තාම නිදැල්ලේ . සමහර අය පාර්ලිමේන්තුවෙත් සිටිනවා . මේ ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා .

කාබනික පොහොර සංකල්පය බොහෝම හොඳ සංකල්පයක් . නමුත් අවාසනාවකට මෙය එකසැරේ කරන්න බැහැ . ඊට යම් කාලසීමාවක් අවශ්‍යයි . පස හා පැළෑටි කියන්නේ පණ තියෙන දේවල් . ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි . මෙරට පස හා පැළෑටි වසර හතළිහකට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරු වෙලයි තිබෙන්නේ . පසට හා පැලෑටි වලට අවශ්‍ය දේ අපි දිය යුතුයි . එම නිසා ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි . එය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි . එහෙම කරන්න ක්‍රමයක් තිබෙනවා .

බෝගම්බර බන්ධනාගාරයේ පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරලයි තිබෙන්නේ . එවැනි ස්ථාන එක් එක්කෙනාට ඕනෑ ආකාරයට කඩා ඉවත් කළ නොහැකියි . මේ ගොඩනැගිලි කඩා ඉවත් කරනවා යැයි කීවේ කවුදැයි යන්න මටත් ප්‍රහේලිකාවක් . මේවා අපගේ ජාතිය සතු සම්පත්”

මහනුවර කියන්නේ වසර පුරා දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන ප්‍රදේශයක් . මේ ප්‍රදේශයේ වසර සිය දහස් ගාණක් රැකුණ සංස්කෘතියක් තියෙනවා . ඒ සමඟ බිහි වූ කලාවක් තිබෙනවා . එම නිසා ඒ සියලු දේට ඉඩ දෙන මධ්‍යස්ථානයක් බවට මේ ස්ථානය පත්විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *