රජය අතුරුදහන්වුවන්ගේ පවුල් වලට වන්දි ලබා දී යුක්තිය ඉටු කිරීම යට ගැසීමට උත්සාහ කරනවා – ඥාතීන්

රජය අතුරුදහන්වුවන්ගේ පවුල් වලට වන්දි මුදල් ලබා දී යුක්තිය ඉටු කිරීම යට ගැසීමේ උත්සාහයක නිරත බව චෝදනා

රජය අතුරුදහන්වුවන්ගේ පවුල් වලට වන්දි මුදල් ලබා දී යුක්තිය ඉටු කිරීම යට ගැසීමේ උත්සාහයක නිරත බව චෝදනා

දොලොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින දෙමළ ජනතාව ධනයෙන් හා බලයෙන් යටපත් කිරීමට රජය උත්සාහ දරන බවට චෝදනා කරමින් උතුරු නැගෙනහිර පුරා විරෝධතා මාලාවක් දියත් කර තිබේ.

අතුරුදහන් කර සිටින සිය ඥාතීන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් යාපනය, මුලතිව්, වව්නියා, මන්නාරම සහ මඩකලපුවේදී ජුලි (30) සිකුරාදා විරෝධතා දියත් වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

යුද සමයේදී හා ඉන් පසුවත් අතුරුදහන් කරන ලද සිය ගණනකගේ ඡායාරූප ඇතුලත් කරමින් සකස් කරන ලද ප්‍රධාන බැනරයක් ප්‍රදර්ශනය කරමින් මන්නාරම නගරයේදී විරෝධතා දැක්වු අතුරුදහන් වුවන්ගේ පවුල්වල සමාජිකයන් චෝදනා කළේ, මන්නාරමේ ස්ථාපිත කර තිබෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් අතුරුදහන්වුවන්ගේ පවුල් වලට වන්දි මුදල් ලබා දී යුක්තිය ඉටු කිරීම යට ගැසීමේ උත්සාහයක නිරත වන බවයි.

රජය සමග සහයෝගයෙන් වැඩ කරන ලෙසත්, අතුරුදහන්ව සිටින අය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගන්නා ලෙසත් එම නිලධාරීන් තමන්ට බලපෑම් කරන බවට චෝදනා කළ දෙමළ මව්වරුන් වැඩි දුරටත් අවධාරණය කළේ තමන්ට යුක්තිය ඉටු වන තෙක් අරගලය අත් නොහරින බවයි.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මඩකලපුව නැගෙනහිර විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණය කළ දෙමළ අම්මාවරුන් ඉල්ලා සිටියේ යුක්තිය ඉල්ලා වසර ගණනාවක් තිස්සේ අරගලයක නිතර වී සිටින තමන්ට රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කරන අඩන්තේට්ටම් වහාම නතර කරන ලෙසයි.

වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් අරගලයේ යෙදී සිටින මව්වරුන් පිරිසක් තමන්ට එරෙහිව දියත්වන පොලිස් මර්දනය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබුනි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපු සභාපතිනි අමලරාජ් අමලනායකී ඇතුළු කාන්තාවන් තම පැමිණිල්ල කර තිබුනේ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින් මඩකලපුව මාමංගම් ගණදෙවි කෝවිල ඉදිරිපිට නැගෙනහිර ජනයා ආරම්භ කළ උපවාසයට පොලිසිය දිගින් දිගටම කරන බාධා කිරීම නිසාය.

මුහුදේ ගිලී මිය යාම:

රජයේ ආරක්ෂක අංශ විසින් විරෝධතාකාරියන්ගේ ඡායාරූපද ලබා ගැනීම සහ ඔවුන්ගේ නිවෙස් වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් භීතියට පත්ව සිටින බව ඔවුන් පසුගිය වසර කිහිපය පුරාම පැමිණිලි කර තිබුනි.

යාපනයේ නාවලර් වීදියේ පිහිටි සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ක්ෂේත්‍ර කාර්යාලය ඉදිරිපිටදී හැඬු කදුලින් විරෝධතා දැක්වු දෙමළ මාතාවන් අවධාරණය කර තිබුනේ වසර ගණනාවක් තිස්සේ යුක්තිය ඉල්ලා‌ සිටියත් මේ වන තෙක් තමන්ට සාධාරණයක් ඉටු වී නොමැති බැවින් තමන්ට ඉතිරිවී ඇත්තේ මුහුදේ ගිලී සිය දිවි නසා ගැනීම පමණක් බවයි.

වව්නියාව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී විරෝධතා දැක්වු අතුරුදහන් වුවන්ගේ ඥාතීන් අවධාරණය කර තිබුනේ අතුරුදහන් කර සිටින සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් තමන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කළත් මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ එයට බාධා පමුණුවන බවයි.

යුද්ධය අවසන් මොහොතේ තමන් විසින්ම රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් එවකට තරුණ වියේ පසුවු දරුවන්ට සිදුවු දේ හෙළි කරන ලෙස මුලතිව් නගරයේ විරෝධතා දැක්වු දෙමළ මව්වරුන් ඉල්ලා තිබුනි.

තමන්ට යුක්තිය ඉටු වන තෙක් අරගලය අත් නොහරින බවටත් ඔවුන් රජයට අවධාරණය කර තිබුනි.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය තම සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් දින 1605 ට ඉහතදී මුලතිව් දෙමළ මාතාවන් ආරම්භ කළ උපවාසය මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවති.


ඉරණම නොදැන අවසන් ගමනේ

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.

අවුරුදු තුන හමාරත් පසුකළ OMP කාර්යාලය

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරකට ආසන්න වෙමින් පවති.

මෛත්‍රී – රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,”යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.


ජනාධිපති නීතිඥ සාලිය පිරිස්

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

අරමුදල් නැවැත්වීමේ ජාත්‍යන්තර මෙහෙයුමක්

යුද සමයේ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට පත්කිරීම, පසුගිය ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් 2021 ජුනි මාසයේදී පෙන්වා දී තිබුනි.

මැයි 20 වැනිදා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අනුමත කිරීමෙන් පසුව, හිටපු පොලිස්පති හපු ආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න හෙවත් ජයන්ත වික්‍රමරත්න එම තනතුරට පත් කිරීමට තීරණය කර තිබුනි.


යැස්මින් සූකා

යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එම පත් කිරීම පෙන්වා දී ඇත්තේ අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා සත්‍යය සහ යුක්තිය සඳහා වූ කවර හෝ අවස්ථාවක් වී නම් එය මකා දමන සිදුවීමක් ලෙසිනි.

“යුද්ධාවසානයේදී සමූහ අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මගින් නම්කරන ලද පොලිස් ඒකක තුනක් භාරව කටයුතු කළ පුද්ගලයාම දැන් අතුරුදහන්වීම් සම්බන්ධ විමර්ශන සිදුකරමින් සිටියි. මේ වනාහී විදේශගත වුවහොත්, පොලිස් වධහිංසා වැනි බරපතල මානව හිමිකම් උල්ලංණයන්ට අදාළ ඔහුගේ විධාන භූමිකාව හේතුවෙන් සර්ව භෞමික අධිකරණ බලය යටතේ නඩු පවරනු ලැබීමේ අවදානම දරණ ඉහළම රාජ්‍ය නිලධාරියෙකි” යැයි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා සූකා ප්‍රකාශ කළාය.

ආ ගිය අතක් නොමැති සහ බලහත්කාරී අතුරුදහන්වීම් පිළිබඳ ලෝකයේ දෙවැනි විශාලතම සංඛ්‍යාව වාර්තා වී යැයි සැළකෙන ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාතවුන්ගේ ඉරණම පිළිබඳ විමර්ශනය කිරීම භාරව ඇත්තේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයටය.

එම ආයතනයකට ජාත්‍යන්තර අරමුදල් ලැබීම වැලැක්වීම වෙනුවෙන් තම ආයතනය රහස්‍ය ලේඛන ගොනුවක් බෙදාහරින බවටද ජුනි 1 අඟහරුවාදා ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කළ නවතම නිවේදනය මගින් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය දැනුම් දී ති‌බේ.

මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් විනිසුරු උපාලි අබේරත්න පත්කරනු ලැබීම ශ්‍රී ලංකාවේ වින්දිත පවුල් විසින් දැනටමත් හඳුන්වා දී ඇත්තේ ‘සෘජු අවමානයක් සහ ප්‍රචණ්ඩක්‍රියාවක්’ ලෙසිනි.

– leader

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *