Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

“… ඉතිහාසයේ කරුණු නිර්මල ආකාරයකට නොතිබෙන නිසාත් එසේ තිබිය නොහැකි නිසාත් ඒවා අපට නිර්මලව ලැබෙන්නේ නැත.
සෑම විටම ඒවා ලියා තබන්නාගේ සිත තුළින් පරාවර්තනය වේ. ඒ අනුව අප විසින් ඉතිහාස කෘතියක් ගත් විට මුලින්ම යොමු විය යුතුව තිබෙන්නේ එහි ඇති කරුණු වෙත නොව එය ලියූ ඉතිහාසඥයා වෙතය.”

– ඉතිහාසය යනු කුමක් ද?: E. H. Carr:පරිවර්තනය – චරිතා විජේරත්න: පිටුව 31

යට සඳහන් වන්නේ “ඉතිහාසය නිවැරැදි නොවේය” යන්නට එක් උදාහරණයක් පමණි. ලංකාවේ අපි, අපගේ ඉතිහාසය ‘වඩාත් නිවැරදි’ යැයි උපකල්පනය කරගනිමින් කියවා ගන්නේ මහාවංශය තුළිනි. නමුදු මහා වංශය ද නිවැරැදි නොවන බව මෙරට වැසියන්ට ඒත්තු ගැන්විය හැකි කදිම සාක්ෂියක් මතු දක්වන්නට බලාපොරොත්තුවෙන් උක්ත මාතෘකාවට පිවිසෙමු.

දුටු ගැමුණු රජුගේ පාලන සමය අළලා ලියැවී ඇති ඉතිහාස ග්‍රන්ථ, ප්‍රබන්ධ ග්‍රන්ථ (නවකතා), සිනමා නිර්මාණ, වේදිකා නාට්‍ය අප කොතෙකුත්කියවා හෝ නරඹා ඇත. මේ බහුතරයක් නිර්මාණ තුළින් දක්නට ලැබෙන්නේ එළර දුෂ්ටයෙකු බවටත්, දුටු ගැමුණු වීරයෙකු බවටත් වන කරුණුය.

නමුදු එකී ඉතිහාස කරුණු අභිභවන තොරතුරු ඇතුළත් ප්‍රබන්ධ කෘති මෙන් ම වේදිකා නාට්‍යයක් ද මෙරට ප්‍රේක්ෂක සහ පාඨක ප්‍රජාවට සම්මුඛ වී ඇති බව නොරහසකි. එසේ වුව ද එම නිර්මාණ යනු ජාතික වාත්සල්‍ය යෙන් ඔද වැඩුණු පිරිස් වෙත දනවන්නේ ‘නයාට අඳුකොළ’ බඳු තත්ත්වයකි.

මෑතක දී සිදු වූ එබඳු සිද්ධියක් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ලියා අධ්‍යක්ෂණය කළ “රත්නවල්ලි” වේදිකා නාට්‍ය සහ එය වේදිකා ගතවීමෙන් ඉක්බිති ඇති වූ සිද්ධි සඳහන් කළ හැකිය.

අදාළ නාට්‍ය වේදිකා ගතවීමෙන් ඉක්බිති ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මුහුණ පැ අත්දැකීම් ඔහු මෙසේ විස්තර කරයි.

{‘රත්නවල්ලි නාට්‍යයේ එන දුටුගැමුණු ජාතිකවාදීන් බොහෝ දෙනෙකු තුළ තදබල කම්පනයක් ඇති කළ බව පෙනී ගියේය. මා හිතන අන්දමට ඊට ප්‍රධාන හේතුව වන්නේ ළමා කාලයේ දී ඔවුන්ට හමුවුණු, ඔවුන්ගේ පරිකල්පනය දැල්වූ “යහනේ අත පය වකුටු කර වැදහොත්, කුමක් කියන සේක් ද මෑණියන් වහන්ස, ගඟින් එතෙර දෙමළුන් වුව, මෑතින් ගොළු මුහුද වුව, කෙසේ මා අත පය දික් කොට සුවසේ වැදහෝනේ”ද යනුවෙන් (සිංහල ථුපවංශයට අනුව) අසා සිටි ගැමුණු ළමා වීරයා පිළිබඳ ළකුණක් හෝ මේ නාට්‍ය තුළ හමු නොවීමයි.

‘රත්නවල්ලි’ නාට්‍ය යේ දුටුගැමුණු සහ එළාර අතර සම්බන්ධය මෙන්ම, ඔවුන් අතර ද්වන්ධව සටන සිදුවන ආකාරය ද මා ‘පුරාවෘත්ත විකෘති’ කළ හැටි පෙන්වන තවත් උදාහරණයක් බව ඇතැමෙක් කීය.}

ඉතිහාස: පළමු කලාපය: 2008: 23 සහ 26 පිටු

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මතු නොව වෙනත් ඕනෑම පුද්ගලයෙකු ඉතිහාස ලියවිලිවලට අභියෝග කළ සැණින් මෙරට සිටින ජාතිවාදි සහ ආගම්වාදී උම්මත්තකයෝ මෙලෙස නැගී සිටින්නේ ‘‘අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොවැ නොනගී’’ යන කුමාරතුංග මුනිදාසගේ කියමන යථාර්ථයක් බවට පත් කරමිනි. ඔවුන් ඉතිහාසයේ සඳහන් සියල්ල කිසිදු තර්කයකින් තොරව පිළිගන්නට තරම් මූඪයෝ වෙති.

නමුදු ඉතිහාසය යනු සත්‍ය පමණක් හෝ අසත්‍ය පමණක් නොවේ ය යන්න වටහා ගන්නට තරම් ඔවුහු දැනුමෙන් මුහුකරා ගිය පිරිස් නොවෙති. එකී කාලකණ්ණි තත්ත්වය හේතුවෙන්ම ඇසින් දකිනා, කනෙන් අසනා සියල්ල සත්‍ය යැයි පිළිගන්නට ඔවුහු පෙලඹී සිටිති.

යට කී සියලු කරුණු ගෙනහැර දැක්වූයේ ශාන්ත බන්නක විසින් රචිත ‘‘මහේසාක්කිය’’ ප්‍රබන්ධ කෘතිය කියවීමෙන් ඉක්බිති සිතට නැගුණු සිතුවිලි අකුරු කරන්ට ආමුඛයක් ලෙසිනි.

ශාන්ත බන්නක විසින් රචිත මෙම ප්‍රබන්ධ කෘතිය ද මහා වංශය ප්‍රමුඛ බොහෝ ඉතිහාස පොත් තුළ අන්තර්ගත එළාර දුටුගැමුණු පරිච්ඡේදය දෙස වෙනත් මානයකින් බැලීමකි; කියවීමකි. එකී කියවීම යනු මහාවංශයේ අන්තර්ගත සියල්ලම සත්‍ය නොවේය යන්නට කදිම සාක්ෂියකි.

මෙහි දි සිහිපත් කළ යුතු ප්‍රමුඛ කරුණක් වන්නේ “එළාර යනු දෙමළෙකි” නමැති ප්‍රවාදයයි. මහාවංශ කතාකරු දිගින් දිගටම පවසන්නේ එළාර සහ ඔහුගේ සේනාව ද “දෙමළුන්” ලෙසය.

7. මහියංගණයට ඇවිත් එහි සේනාධිනායකව සිටි ඡත්ත නමැති දෙමළ සෙන්පතියාව අල්ලා ගත්තා. දෙමළුන් පරදවලා එතැනින් අඹතොටට ආවා.

8. එක් පැත්තකින් ගංගාවෙනුත් අනිත් පැත්තෙන් දියඅගලකිනුත් වට වූ ඒ දෙමළ කඳවුරේ අම්බතිත්ථ නමැති මහා බලසම්පන්න කෘතහස්ත දෙමළ සෙන්පතියෙක් ඉන්නවා. ඔහු සමග යුද්ධ කරලා මාස හතරකින් වත් ගන්ට බැරිව ගිය තැන,

9. විහාර මහා දේවි මෑණියන්ව ඔහුට විවාහ කර දෙන ව්‍යාජයෙන් ඇය පෙන්නලා අම්බතිත්ථ දෙමළ සෙන්පතියාව අල්ලගත්තා. එතනින් බැහැලා මහා බලසම්පන්න ප්‍රාදේශීය දෙමළ රජවරු හත් දෙනා සිටි

10. අඹතොට කඳවුර එක දවසකින් ම අල්ලාගෙන මහා බල ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ සිය බලසේනාවට ධනය ප්‍රදානය කර ඒ ප්‍රදේශය සතුරු බිය නැති කළ නිසා හැදූ විහාරය ඛේමාරාමය කියලා කියනවා.

11. අතුරුහෙබ නමැති ගමේ සිටිය ‘මහාකොට්ඨ’ දෙමළ සෙන්පතියත් දෝණ නුවර සිටිය ‘ගවර’ නමැති දෙමළ සෙන්පතියාත් අල්ලාගත්තා. හල්කොළනුවර සිටිය ‘ඉසුරු’ නමැති දෙමළ සෙන්පතියත් නැල්හෙබ නමැති ගමේ හිටිය නාළික නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා.

12. දික්අබාගල සිටිය දීඝාභය දෙමළ සෙන්පතියවත් අල්ලාගත්තා. කස්තොට හිටිය කපිසීස කියන දෙමළ සෙන්පතියව අල්ලා ගන්ට හාරමාසයක් ගතවුණා.

13. කෝටනුවර සිටිය කෝට නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා. එතැනින් ගිහින් හාලවහානක දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා. වහිට්ඨ නුවර සිටිය වහිට්ඨ නමැති දෙමළ සෙන්පතියවත් ගාමිණී නගරයේ විසූ ගාමිණී නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා.

14. කුඹගම සිටිය කුම්භ නමැති දෙමළ සෙන්පතියවත් නන්දිගමේ සිටිය නන්දික නමැති දෙමළ සෙන්පතියවත් ඛාණුගමේ සිටිය ඛාණු දෙමළ සෙන්පතියවත් තම්බගමේ සිටිය තම්බ නමැති දෙමළ සෙන්පතියන් දෙන්නාත් අල්ලා ගත්තා.

15. ඒ මාමාටයි බෑණටයි දෙන්නාට ම තිබුණේ තම්බ යන නමයි. ජම්බුගමේ සිටිය ජම්බු සෙන්පතියාවත් අල්ලා ගත්තා. ඒ ඒ ගම්වල නමත් ගම්භාරව සිටි දෙමළ සෙන්පතියන්ගේ නමත් බොහෝ විට සමානයි.

(මහාවංශය විසි පස්වන පරිච්ඡේදය)

මහාවංශයේ මෙසේ සඳහන් වුව ද එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් ලෙස බොහෝ ඉතිහාසඥයෝ මෙන් ම වියත්හු ද පෙන්වා දෙති. එය වඩාත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේ උග්‍ර ජාති මාමකයෙකු මෙන් ම ආගම්වාදියෙකු වන මහාචාර්ය නලින්ද සිල්වා විසින් කරන ලද ප්‍රකාශයකිනි. මතු දැක්වෙන්නේ ඔහුගේ ප්‍රකාශයයි.

“… මහා වංසයේ බොරු තියෙනවා. මා නැහැයි කියන්නෙ නැහැ. එක බොරුවක් තමයි එළාර සොළී කියන එක. එළාරගේ (රාජාවලියේ එළාල) කාලයේ සොළී බලවත් නැහැ. එළාර සොළී නො වෙයි. මහා වංසය ලියූ කාලයේ සොළීන් තරමක් බලවත්. සොළීන් ලංකාවටත් එන්න පටන් අරන්. මහා වංසය පස් වැනි සියවස එළාර කාලයටත්ටත් ප්‍රක්‍ෂෙපණය කරලා. එළාර සොළියකු කරලා. එළාර සොළී නොවෙයි. මහා වංසය එතැන දි බොරු. මහා වංසය බොරු කියල කියන සී වී විග්නේෂ්වරන් නිවැරදියි.

එළාර දෙමළ කියන්න දෙමළ ජාතිවාදීන්ට තියෙන එකම සාක්‍ෂිය මහා වංසය විතරයි. එළාර දෙමළ නොවෙයි. සී වී විග්නේෂ්වරන් නිවැරදියි. එළාර දෙමළ නොවෙයි නම් කවුද..? ඔහු පර්සියන් සම්භවයක් තිබුණු අයෙක්. එළදෙන ඝණ්ඨාරය නාද කරපු කතා තිබුණේ පර්සියාවෙ. සොළීන් ළඟ නොවෙයි. සී වී විග්නේෂ්වරන් නිවැරදියි. මහා වංසය එතැන දි බොරු.

සෙනරත් පරණවිතාන මහතා හොඳ කතාවක් කියනවා. මා මේ කතා සියල්ල එකතු කරල පස්සෙ සංගත කතාවක් කියන්නම්. අශෝක රජුගෙ පියා බින්දුසාර රජු කලින් කී සිංහල පරද්දන්න ශස්ත්‍ර දමිඩ කියල සෙනෙවියකු යවලා තියෙනවා. ඊට පස්සෙ කාලෙක අශෝක රජු ශස්ත්‍ර ද්‍රමිඩගෙ පුතා මහාරිෂ්ට සෙනෙවියා ඇරල තියෙනවා උත්තිය රජුට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න. සිංහල රජුගෙ ඉඳන් උත්තිය රජු දක්වා අනුරාධපුර (තම්මැන්නාවෙ) රජවරු බටහිර පුණ්ඩ්‍රා දේශයත් තම්මැන්නාවත් පාලනය කරල තියෙනවා. අශෝක රජු දේවානම්පිය තිස්ස රජුට දෙවැනි අභිෂේකයක් ලබා දීල තියෙන්නෙ ඒ පුණ්ඩ්‍රා හා ඇතැම් විට ආන්ද්‍රා දේශයත් දේවානම්පිය තිස්ස රජුට අයත් බව පිළිගැනීම සඳහා වෙන්න පුළුවන්.

එළාර කියන්නෙ මහාරිෂ්ටගෙ පුතෙක්. එතකොට එළාර කියන්නෙ ශස්ත්‍ර දමිඩගෙ මුණුබුරා. අශෝක රජුගෙ මිනිහෙක් කියල කියන්න පුළුවන්. මෙරට “යවන” වගේම “දමෙඩ” මිනිසුන් ද ඉඳලා තියෙනවා. (පළමුවැනි) පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙ යවනයන්ට (ග්‍රීකයන්ට) එක් පෙදෙසක් වෙන් කරල දීල තියෙනවා. පණ්ඩුකාභයගෙ බිසව ග්‍රීක ද..? පරණවිතාන මහතා දක්වන පොත්වල ඉන්න ස්වර්ණාක්‍ෂි ග්‍රීක කුමාරිය හා ස්වර්ණපාලි කියන්නෙ එක්කෙනා ම ද..?

එතකොට “දමෙඩ”…”දමෙඩ” කියන්නෙ ශස්ත්‍ර දමිඩගෙන් පැවත එන අය. ශස්ත්‍ර දමිඩ පාටළීපුත්‍රයට ඇවිත් තියෙන්න පර්සියාවෙන්. එතකොට එළාරත් පර්සියානු සම්භවයක් ඇති “දමෙඩ”…මේ “දමෙඩ” කියන එක දෙමළ සමග පටළවා ගෙන… එළාර සොළී කරලා. මහා වංසයෙ බොරුත් තියෙනවා. එළාර සොළී කියන එක බොරුවක් තමයි.”

මහාචාර්ය නලින් ද සිල්වා: 2019-12-26: http://www.lankanewsweek.com/

වැඩි දුර අධ්‍යනය සඳහා “පඨිත” වෙබ් අඩවියේ පළ කර ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ “දුටුගැමුණුගේ හෘද සාක්ෂිය” ලිපි පෙළ ද කියවන්න.

“මහේසාක්කිය” කෘතියේ රචකයා සිය නිර්මාණය තුළින් යට සඳහන් ආකාරයේ විශ්ලේශණයක් කරන්නට නොපෙලඹුණ ද හෙතෙම සිය කෘතිය රචනා කරන්නේම ඓතිහාසික මතවාද අභියෝගයට ලක් කරමිනි.

එහිදී සිංහල බෞද්ධ ප්‍රජාව තුළ විහාර මහා දේවිය පිළිබඳ පවත්නා ආකල්පය ද පුපුරුවා හරින්නට ඔහු සමත්ව ඇත. මීට පෙර එම චරිතය අභියෝගයට ලක් කළ අවස්ථා මා කියවා ඇත්තේ මහාචාර්ය ගනනාථ ඔබේසේකරගේ “දුටුගැමුණුගේ හෘද සාක්ෂිය” ලිපි පෙළෙහි සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ “රත්නවල්ලි” නාට්‍ය පිටපත තුළය. (එකම එක වතාවක් පමණක් වේදිකා ගත කළ එම නාට්‍යය ද නරඹන්නට වාසනාව තිබිණ)

මීට අමතරව සමස්ත දුටුගැමුණු සංකල්පයම අභියෝගයට ලක් කළ කෘතියක් ලෙස ටෙනිසන් පෙරේරා විසින් රචිත “දුට්ඨ ගාමිණී නොමළ වගයි” කෘතිය ද සිහිපත් කළ යුතුය.

මහා දේවිය හෙවත් විහාර මහා දේවිය යනු සපුරා ම ආත්මාර්ථකාමී, සැඩ පරුෂ, රළු ගති ඇත්තියකි. එකී රළු බව වඩාත් සාක්ෂාත් කෙරෙන ස්ථානයක් “මහේසාක්කිය” කෘතියේ ද (මෙම සිද්ධිය ඉතිහාස කතාවේ ද සඳහන්ව තිබේ. එහෙත් කතුවරයා එහි ක්රූරත්වය පිළිබිඹු කරන්නේ වෙනත් ආකාරයකිනි.) අන්තර්ගත ය.

ඒ අබිසවෙර කුමරිය හෙවත් විහාර මහා දේවියට උපන් දොළ සංසිඳවීම පිණිස කළ තිරශ්චීන ක්‍රියාව ය. එය මහාවංශයේ මෙලෙස සඳහන් කෙරේ.

42. මහා පින් ඇති විහාර දේවියට මේ ආකාර වූ දොළ දුකක් හටගත්තා. ඉස්බක (රියන් එකසිය හතළිහක) ප්‍රමාණයේ මහා මී වදයක් තමන්ගේ හිස අද්දරින් තබාගෙන,

43. ශෝභාසම්පන්න යහනක වම් ඇලයෙන් සැතපී දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලාට පූජා කොට ඉතිරි වූ,

44. මී පැණි අනුභව කරන්ට සිතුණා. ඒ වගේ ම එළාර රජ්ජුරුවන්ගේ යෝධයන් අතුරෙන් ප්‍රධාන යෝධයාගේ හිස සින්ද කඩුව සෝදලා ගත් ජලය,

45. ඒ යෝධයාගේ හිස මත වාඩිවෙලා බොන්ටත් සිතුණා. අනුරාධපුරයේ මහනෙල් විලෙන්,

46. ගෙනාපු මහනෙල් මල් මැලවෙන්ට කලින් පළඳින්ටත් සිතුණා. තමන්ගේ මේ දොළ දුක විහාරදේවිය කාවන්තිස්ස රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවෝ නිමිති කියන අය ගෙන්වලා එහි තේරුම ඇසුවා.

(මහාවංශය විසි දෙවන පරිච්ඡේදය)

මෙහි එන එළාර රජුගේ යෝධයා යනු චේතිය සෙනවි ය. ඇගේ එම දොළ සංසිඳවීමේ වගකීම පවරන්නේ වේළුසුමනන යෝධයාට ය. ඔහු එය නිසියාකාරයෙන් ම ඉටු කරන්නට මොහොතකට පෙර චේතිය සෙනවි කිසියම් රහසක් හෙළි කරයි.

‘‘එතුමිය මුහුදට බිලි වුණාම බේරගත්තෙ මමයි’’ චේතිය සෙනවි මෙතෙක් කිසිවකුට හෙළි නොකළ රහසක් හෙළි කළේ ය.

‘‘උඹයි එතුමිය බේරගත්තෙ… උඹ මේ දොඩවන්නෙ මරු විකාරෙන්.’’

‘‘නැත. එතුමිය රජවාසල සිදුවූ මහා විනාසයෙන් පස්සේ මුහුදට බිලිවෙන හැටි මමත් අභයනාග කුමාරයත් බලං හිටියා. ඈ මෙහෙම කරන බව අප දැනං හිටියා. ඒ වාගේ ළාබාල වයසක සිටි අයෙකුට සිදු වූ දෙවල් දරාගන්න බැරි නිසා අප දෙදෙනාත් පැන යාමේ අදහසින් ඔරුවක් සුදානම් කරගෙනයි හිටියේ. එහි යාමට හැක්කේ දෙදෙනෙකුට පමණක් නිසා කුමරියව ඔරුවේ ගොඩ කරලා අප දෙදෙනා මාරුවෙන් මාරුවට මුහුදේ පීනුවා. ඈ කිරින්දට එනකම් ආරක්ෂිතව රැගෙන ආවේ එහෙමයි. මාව මැරුවට කමක් නැහැ. ඔය ටික මං කිව්ව කියල දේවියට කියපං.’’

චේතිය සෙනවි අපහාසාත්මකව කීවේ ය.’’

මහේසාක්කිය: 73, 74 පිටු

මෙම සිද්ධිය යනු කියවා අමතක කර දැමිය හැකි සිද්ධියක් නොවේ. එහි ගැබ්ව තිබෙන්නේ කිසිවෙකු බලය අත්පත් කරගැනීමෙන් ඉක්බිති පළමුව විනාශ කරන්නේ තමාට අභියෝගයක් වේ යැයි තමා වඩාත් සැක කරන පුද්ගලයා හෝ කණ්ඩායම ය යන යථාරථය යි.

මෙරට ද තිස් වසරක් පුරා පැවති යුද්ධය දිනුවා යැයි උදම් ඇනීමෙන් ඉක්බිති එතෙක් මහ මග ප්‍රදර්ශනය කළ දැන්වීම් පුවරුවල තිබූ: ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ එවකට යුදහමුදාපතිගේ ඡායාරුප අතුරෙන් හමුදාපතිගේ ඡායාරුපය ඉවත් කෙරෙන්නේ ද, ජනාධිපතිවරණයෙන් ඉක්බිති ඔහු අත්අඩංගුවට ගෙන, අභූත චෝදනා ගොනු කර සිපිරි ගෙදරට පිටමං කරන්නේ ද විහාර මහා දේවියගේ ක්‍රමයම අනුගමනය කරමිනි.

එදා යුද හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණි යුද නිලධාරින් මෙන් ම යුද සෙබළුන් අතර සහ වේළුසුමන අතර ඇත්තේ සමපාතිත්වයකි. මන් ද මේ දෙකොට්ඨාසය ම නිල ලත් රාජ්‍ය මර්දකයෝ ය. අද රාජ පාර්ශවයට වන්දිභට්ටකම් කරන්නන් වෙත වරදාන වරප්‍රසාද පිරිනමන ආකාරයට ම එදා වේළු සුමනට ද වරදාන වරප්‍රසාද ප්‍රදානය කළ බව ද නොරහසකි. ‘‘මහේසාක්කිය’’ කෘතියේ ද එකී යථාර්ථය මෙලෙස සටහන් කෙරේ.

“වේළුසුමන ශ්‍රේෂ්ඨ යුද සෙනෙවියෙක්. ඔහු මා වෙනුවෙන් හැම දෙයක්ම කළා. ඔහුට ගම් වරයක්ද, ඇතෙක් බරට වස්තුවද දිය යුතුයි.”

පිටුව 75

ඒ මහා දේවියගේ ඒකමතික තීරණයයි. ඇගේ ක්රූරත්වය හොඳින් ම අවබෝධ කරගන්නා කාවන්තිස්ස රජු වුවද ඒ මොහොතේ පසුබා සිටින්නේ මහා දේවිය යනු රජුටද අවනත නොවූ කාන්තාවක් වූ බැවිනි.

මහාචාර්ය රාජ් සෝමදේවගේ කියවීමට අනුව කාවන්තිස්ස රජු වෙත ස්ත්‍රී ඇඳුම් සහ පලඳනා එවන්නේ ගැමුණු කුමරු නොව දිඝාභය කුමාරයා ය. ඒ කාවන්තිස්ස රජු විහාර මහා දේවිය ඉදිරියේ හැසිරුණු ආකාරය දීඝාභය කුමරු හොඳින් දැන සිටි බැවින් යැයි මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

එය ගැමුණු කුමරු කර මත පැටවීම තුළින් ඉතිහාස ප්‍රබන්ධකරුවා උත්සාහ කරන්නේ කුමක් ද…? එනම් ගැමුණු කුමරු යනු සිය පියාටද අභියෝග කළ, නිර්භීත පුද්ගලයෙකු ලෙස හුවා දැක්වීමටය.

වැඩි විස්තර අධ්‍යයනය සඳහා මෙම ලින්කුවට පිවිසෙන්න.

https://lankadaily.com/latestnews/art/item/5001-2015-02-14-04-38-25

දුටු ගැමුණු කුමරා මෙහෙයවන්නේ සංඝ පරපුර සහ මහා දේවියයි. මහා දේවියට ද අවැසිව තිබුණේ එළාර ඝාතනය මුවාවෙන් තම පුතු අභිෂේක කරවීම ය. ඒ හැරුණු විට ඉතිහාස ප්‍රබන්ධකරුවෝ එළාර දුෂ්ට රජෙකු ලෙස හැඳින්වුව ද මහාවංශයේ වුවද එසේ සඳහන් නොවේ. මහාවංශයේ එළාර පිළිබඳ සඳහන් වෙන්නේ මතු දැක්වෙන ආකාරයටය.

13. සොළී රටේ ඉඳන් රාජ්‍යය අල්ලාගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළෙක් අසේල රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා.

14. ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේ දී සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා.

15. රජ්ජුරුවෝ තමන් සැතපෙන ඇඳට ඉහළින් ඉතා දිග ලණුවක් ඇතිව ඝණ්ඨාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමති අයට නාද කරනු පිණිසය.

16. එළාර රජ්ජුරුවන්ට එක පුත්‍රයෙකුයි දුවකුයි සිටියා. රජ්ජුරුවන්ගේ පුත්‍රයා රථයෙන් තිසා වැවට යද්දී,

17. අලුත උපන් වහු පැටියෙක් තමන්ගේ මව් දෙනත් සමග පාරේ ලැගලා හිටියා. පුත් කුමාරයාගේ නොදැනුවත්කමින් රථයෙන් යද්දී රෝදයට බෙල්ල හසුවෙලා වහුපැටියා මැරුණා.

18. ගවදෙන පුත්‍ර ශෝකයෙන් හඬාගෙන ගිහින් ලණුවෙන් ඇද ඝණ්ඨාරය නාද කෙරෙව්වා. රජ්ජුරුවෝ ඒ රථ රෝදෙන්ම සිය පුත්‍රයාගේ හිස සින්දෙව්වා.

19. එක්තරා සර්පයෙක් තල් ගසක සිටි කුරුලු පැටියෙකුව ගිල දැම්මා. මව් කිරිල්ලි ඇවිත් ඒ ඝණ්ඨාරය නාද කළා.

20. රජ්ජුරුවෝ සර්පයා අල්ලාගෙන කුස පලවා කුරුලු පැටියව ඉවත් කළා. යකඩ උලකින් පෙණය විද තල් ගසේ එල්ලුවා.

21. රත්නයන් අතර අග්‍ර වූ තුනුරුවන්ගේ ගුණ සාගරය පිළිබඳ ඒ රජ්ජුරුවෝ නොදැන සිටියත් පරම්පරාගත චාරිත්‍ර අනුව රාජ්‍යය පාලනය කළා.

22. මිහින්තලේ සෑගිරියට ගිහින් භික්ෂු සංඝයාට දන් පිළිගන්වලා ආපසු රථයෙන් එද්දී රථයේ වියගසේ කොණක්

23. භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයේ වැදීමෙන් ඒ ස්ථූපයේ කොටසක් කැඩී ගියා. එවිට අමාත්‍යවරයා ‘දේවයන් වහන්ස, ඔබවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සෑය බින්දා නොවැ’ කිව්වා.

24. එවිට එළාර රජ්ජුරුවෝ තමන් නොදැන කළ දෙයටත් රථයෙන් බැස ‘ඔය රථ රෝදෙන් මගේ හිස සිඳිව්’ කියා මහපාරේ දිගා වුණා.

25. ‘මහරජ්ජුරුවෙනි, අනුන්ට හිංසා කිරීමට අපගේ ශාස්තෘන් වහන්සේ කිසිසේත් නොකැමති සේක. ඒ නිසා ස්ථූපය ප්‍රකෘතිමත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත මැනව.’

26. ඒ චෛත්‍යයේ කඩා වැටුණු ගල් පෙළි පහළොවක් නියමාකාරයෙන් තැන්පත් කරවලා කහවණු පහළොස් දහසක් වැය කරලා පිළිසකර කෙරෙව්වා.

27. එක් මැහැල්ලියක් වී වේළාගන්ට අව්වේ වී දැම්මා. එතකොට අකල් වැස්සක් වැහැලා ඇගේ වී ගොඩ තෙමුණා.

28. ඒ මහලු අම්මා තෙමුණ වී අරගෙන ගිහින් ඝණ්ඨාරය නාද කළා. අකලට වැස්ස ඇද හැලීමෙන් වී තෙමී ගිය බව අසා ඒ ස්ත්‍රිය පිටත් කර යවපු,

29. රජ්ජුරුවෝ ‘ධර්මයෙහි පිහිටා ඉන්නවා නම් කලට වැසි ලැබෙනවා නොවැ’ කියලා ඒ ස්ත්‍රියගේ වචනයට තීරණයක් ගනු පිණිස ලුණු නැති බත් අනුභව කර කොළ අතු අතුරා බිම සැතපී වාසය කිරීමේ උපවාසයක් ආරම්භ කළා.

30. රජ්ජුරුවන්ගෙන් බලිපූජා ලබන දේවපුත්‍රයෙක් රජ්ජුරුවන්ගේ තේජසින් තැති අරගෙන සතරවරම් දෙව් මහ රජුන් ළඟට ගොස් මේ කාරණය දැනුම් දුන්නා.

31. සතර වරම් දෙව් මහරජවරු ඒ දේවපුත්‍රයා කැඳවාගෙන ගොස් ශක්‍ර දේවේන්ද්‍රයාට දක්වා සිටියා. සක් දෙවිඳු පර්ජන්‍ය නමැති වැස්ස වළාහක දෙවියන් කැඳවා කලට වැසි වස්සවන්ට කියා අණ කළා.

32. බලි පූජා ගන්න දිව්‍ය පුත්‍රයා රජ්ජුරුවන්ට ඒ කාරණය දැනුම් දුන්නා. එදායින් පසු ඒ රාජ්‍යයේ දහවල් කාලේ වැස්සේ නෑ.

33. සතියක් සතියක් පාසා මධ්‍යම රාත්‍රියේ වැසි ඇදහැලුණා. හැමතැනම කුඩා වළවල් පවා වැසි දියෙන් පිරී ගියා.

34. මේ රජ්ජුරුවෝ මිථ්‍යා දෘෂ්ටිය අත් නොහැර ඉඳගෙනත් සතර අගතිගමන දෝෂයෙන් මිදී වාසය කළ පමණින් මෙබඳු වූ ඍධියකට පැමිණිලා සිටියා. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත බුද්ධිමත් මනුෂ්‍යයන් කෙසේ නම් සතර අගතිය දෝෂය අත් නොහැර සිටීවි ද! අත්හරිනවාමයි!

(මහාවංශය විසි එක්වන පරිච්චේදය)

එළාර මෙතරම් දැහැමි පාලකයෙක් වී නම් ඔහු ඝාතනය කර රජ රට පාලනය අත්පත් කරගන්නට දුටුගැමුණු කුමරු පෙලඹෙන්නේ ඇයිද යන්න දැන් කිසිවකු විමසිය හැකිය. පිළිතුර සරලය. ඔහු ද කුඩා කාලයේ සිටම දඩබ්බරයෙකි. භාවිත භාෂාවෙන් පවසන්නේ නම් ‘‘නාහෙට නාහන‘‘ පුද්ගලයෙකි.

ඔහු පිළිබඳ ඉතිහාස කතන්දර අභිභවන කෘති පරිශිලනය කිරීමේ දී මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

මගේ පුද්ගලික කියවීමට අනුව නම් ඔහු දෙවන වන්නේ විජයට පමණි. ඔහුද මැරයෙකි; සල්ලාලයෙකි; ස්ත්‍රී ලෝලියෙකි. “මහේසාක්කිය” කාතිය තුළ ඊට නිදසුන් සපයන්නේ මෙලෙසිනි.

“ඒ වෙනකොට ගාමිණී අභය කුමාරයා එතුමාගේ සමීප සහචර පිරිසක් එක්ක හිටියේ සීත මාලිගාවේ. සීත මාලිගාවේ කෙතරම් සැප සම්පත් තිබුණද කිව්වොත් මේ පිරිසට නාන පොකුණු, උයන්, ධාන්‍යාගාර විතරක් නෙමෙයි ස්ත්‍රී පුරයක්ද තිබුණා.

ස්ත්‍රී පුරයේ නිත්‍ය සාමාජිකාවන් සිවුසියයක් පමණකුත්, තාවකාලික සාමාජිකාවන් එක් සියයකුත් ලෙසින් පන්සියයක් පමණ තරුණ’ඟනුන් සිටියා. මේ හැමෝම මුළු රුහුණු පුරවරයෙන්ම සොයා පෙරාගත් රූමත් අය. කිහිප දෙනෙක් දඹදිව ඉඳන් ගෙනා සැරිසරන්නියන්. මේ අඟනුන්ට ආරක්ෂාව රැකවරණය සැලසීම තමයි රාජ්‍යයේ ආරක්ෂාව ලෙස දැක්කේ.”

පිටුව 110

එහෙත් මහා දේවිය ප්‍රමුඛ කිසිවකු ඔහුගේ ගුණ මිස නුගුණ නොදුටුවේය. මහා දේවිය විසින් දුටුගැමුණු යුද්ධයට සඳහා පොලඹවනු ලබන්නේම ඔහු සතුව තිබූ දඩබ්බර සහ හිතුවක්කාරිත්වයමය.

“මහේසාක්කිය” කෘතිය රචනා කිරීමේ දී කතුවරයා ඉතා බරපතළ දේශපාලන ඉඟි සපයන්නට ද පසුබට වී නොමැත. මෙහි එන “ගොළු භාෂීය මහා යතිවරු” එයට කදිම නිදසුනකි. එකී භික්ෂූහු මේ යුගයේ ද අනන්තවත් දක්නට හැකිය. “මහේසාක්කිය” කතුවරයා එකී පසුබිම මේ ආකාරයට සඳහන් කරයි.

“මහා යතිවරුන් සදාකාලික ගොළු බවට පත්ව මුනිවත රකිද්දී වදන් ආඪ්‍ය සංඝයාගේ අදහස් මේ වන විටත් ගිනියම් පරිසරය අවුළුවාලන ලැව් ගින්නක් බවට පත්වෙන හැටි චාරුනාගට දැනේ.”

පිටුව 92

වර්තමානයේ ද මෙම තත්ත්වය පවතින අතර අනාගතයේ ද පවතින්නේය. අනෙක් පසින් භික්ෂූහු බෞද්ධත්වය අමතක කර මිනිසුන් ඝාතනය කිරීම නිවන් මගට පිවිසීමේ පහසු මාර්ගයක් සලසා දෙන ආකාරය ද මෙදා මෙන්ම එදාද පැවති බව ඉතා මැනවින් ඉදිරිපත් කරයි.

“නායක සංඝයා වයෝවෘද්ධ බව හෝ තපෝවෘද්ධ බව හෝ නොසැලකූහ. ඔවුහු සලකන ලද්දේ දේශ ප්‍රේමයයි. රට වෙනුවෙන් දිවි පුදන උන් ස්වර්ගයේ උපදින බවට කවි ගීතිකා පබඳින ලද්දේ උතුමන්ගේ සිතුවිල්ලෙනි.”

පිටුව 209

ඉඳින් එදා මෙදා තුර යුද්ධය සහ යුද පසුබිම අතර පවත්නේ කෙබදු වෙනසක් ද…?

යුද උම්මාදයෙන් හෙබි මිනිසුන්ගේ මනස ක්‍රියා කරන්නේ තිරිසන් සතුන්ගේ මෙනි. ඔවුන් පියවි සිහියට එළඹුණේ නම් ඒ, දස දහස් ගණන් ඉක්ම වූ මිනිස් ජීවිත අමු අමුවේ බිලි ගැනීමෙන් ඉකිබිති ය. පර්සියාවේ මහා අලෙක්සැන්ඩර් රජුද, ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා ද ඊට කදිම නිදසුන් සපයති. යුද්ධය යනු කෙබඳු සුවරුපයේ ව්‍යසනයක් ද යන්න මතු කොටසෙන් වඩාත් තීව්‍රර කෙරේ.

“යුද්ධයට පිටුපාන්න බැහැ. ඒකට අභිමුඛ විය යුතුය. යුද්ධය කියන්නේ ගගක් වගේ. ගලන්න ගත්තම කොහෙන් හරි බැහැලා යනවා. අපිත් එක්ක සේනා සංවිධානය කළ දීඝාභය කුමාරයා සතුරාට එකතු වුණා. ඒ වගේම එළාර රජතුමා එක්ක සිටිය නන්දිමිත්‍ර සෙනවියා අපිට එකතු වුණා. යුද්ධය දිනන්නේ බර වැඩි පැත්ත මිසක් බර අඩු පැත්ත නෙමෙයි. ඒකයි අප තේරුම් ගත යුත්තේ.”

පිටුව 208

කුමන අන්දමකින් හෝ යුද්ධය ජය ගත යුතුය යන දුෂ්ට චේතනාවෙන් යුද වැද, මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගෙන ජයපැන් බොන අවස්ථාවේ දී යුද්ධයේ ප්‍රමුඛ නියමුවෙකු වූ චාරුනාගගේ සිතුවිලි ඊට කදිම සාක්ෂියකි. එළාර ඝාතනයෙන් ඉක්බිති ඔහුගේ හෘද සාක්ෂිය අවදි වන්නේ මෙලෙසිනි.

“මේ නම් උතුරු තැනිතලා භූමියේ ගෙන්දගම් පොළොව මත සාමයට ඇලුම් කළ මිනිසෙකු වෙනුවෙන් හදවත කඩාගත් එකම තැනැත්තා තමා පමණක් බව ඔහුට නැගුණු වේලාවයි. නන් වැදෑරුම් කරුණු කාරණා මෙහි සිටින ප්‍රමුදිත ජනයා දනී නම් තමා හලු කරනු නිසැකය. මෙසේ අතාර්කික වූද හෘදයාංගම වූද දෘඪ සංවේදී වූද හැඟීම් තමා පවසන්නේ කාටදැයි තේරුම්ගත නොහැකි වීමෙන් ඔහුගේ අසරණබව වැඩිණි.

කිසියම් තැනක ජීවත් වන මිනිසුන්ට තම සිතේ නැගෙන අදහස් විවෘතවත්, නොබියවත් පැවසිය හැකි දිනය කවදානම් කෙසේ උදාවේදැයි නොදැන ඔහුගේ සිත මැඬිණි.”

පිටුව 11

උතුරේ මහා ජනඝාතනයෙන් ඉක්බිතිව වුවද මෙවන් සිතුවිලිවලින් සිය හදවත බර කරගත් යුද නිලධාරියෙකු හෝ සෙබළෙකු නොසිටින්නට ඇතියි අපට විශ්වාස කළ හැකි ද…?

අපි එතරම් ශ්‍රෙෂ්ඨ ජාතියක් නම් දුටු ගැමුණු එළාරට ගරු කළ ආකාරයෙන් ම ප්‍රභාකරන්ගේ සිරුරට අවසන් බුහුන් දක්වනවා වෙනුවට මග දිගට කිරිබත් පිස ආහාරයට ගත හැකි ද…? උතුරේ දී මිය ගිය මිනිසුන් සිහි කිරීමේ අනුස්මරණ උත්සව තහනම් කළ හැකි ද…?

යට සඳහන් කොටසේ චාරුනාග ළතැවෙන්නේ ඔහු සමග එකට රහස් ඔත්තු සේවයේ නියැළී සිටි, උසස් චරපුරු සෙබළෙකු වන දාඨාසේන සෙනවියා පිළිබඳවය. “මහේසාක්කිය” කෘතියේ එන මෙම සෙනවිවරයාට ද අවසන අත්වන්නේ ජයග්‍රහණය කළා යැයි උදම් ඇණූ, තවමත් උදම් අනන යුද්ධයේ නියමුවකු වූ එකල සිටි යුද හමුදාපතිවරයාට අත් වූ ඉරණමය. එය කෙතරම් දේශපාලනික ද යන්නවටහා ගැනීමට මෙම කෘතියේ ගැඹුරුම තැනින් අල්ලා ගත යුතුය.

බුදුන් වහන්සේ දෙසා වදාළේ “සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා” යනුවෙනි. කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරද්ධ කිරීම යනු පවක් ලෙස උන්වහන්සේ දෙසා වදාළහ. එහෙත් යුද උම්මාදයෙන් පෙළන බුද්ධ පුත්‍ර යෝ කෙතරම් තිරශ්චින ලෙස යුද්ධය උත්කර්ෂයට නැංවුවා ද යන වග “මහේසාක්කිය” කෘතියේ ඉතා උපහාසාත්මක ලෙස පිළිබිඹු කෙරෙන්නේ මෙලෙසිනි.

“කුඹකන්ද වෙහෙරේ අභය තෙරුන් විසින් අපායද දිව්‍ය ලෝකයද නිර්මාණය කර තිබෙන අයුරු හේ දුටුවේය. යුද්ධ කළවුන් සියලු දෙනා දිව්‍ය ලෝකයේ සුරූපී අඟනන් සමග කම් සැප විඳි අතර වෙල් කොටමින් වල් නෙළමින් සිටි බොහෝ දෙනෙක් අපායේ බරපතළ දලඩුවම් විඳින අයුරු සිතුවම් කර තිබිණ.”

පිටුව 107

ඉස්ලාම් ආගමෙහි එන මරාගෙන මැරෙන යුදකාමීන් හට ස්වර්ගයේ දි කන්‍යාවන් හත් දෙනෙකු ලැබෙතැයි විශ්වාස කිරීම සහ මෙම සිතුවම් මගින් පිළිබිඹු කෙරන අදහසෙහි ඇත්තේ කිනම් වෙනසක් ද?

දේශපාලනයෙන් අනාතභාවයට පත්වන්නෝ අවසන සිය ආයුදය ලෙස භාවිත කරන්නේ දේශප්‍රේමයයි; දේශානුරගයයි. එය කෙතරම් නින්දිත ක්‍රියාවක් ද යන්න “මහේසාක්කිය” සාක්ෂි දරන්නේ මෙලෙසිනි.

“මං අහලා තියෙනවා කපුටන්ට කවදාවත් බඩ පිරෙන්නේ නෑ කියලා”

“ඔවු, ඒක ඇත්ත, හරියට ව්‍යාජ දේශප්‍රේමින්ට වගේ”

පිටුව 124

යුද සමයක මතු නොව පාලකයෝ දුර්වල වන විට රටේ ජනතාව ඊට එරෙහි වෙති. එවිට එය මැඬපැවැත්වීම පිණිස පාලකයෝ විවිධ උපක්‍රම යොදති. ඒ උපක්‍රම අතර ‘මිනිසුන් නිහඩ කිරීම’ යනු බරපතළම තත්ත්වයකි. එවන් වාතාවරණයක් තුළ ඇතැම්හු ස්ව කැමැත්තෙන් ම නිහඬ ව්‍රතය රකිති. මෙකී යථාර්ථය ඉතාමැනවින් ව්‍යංගාර්ථයෙන් පවසන්නට කතුවරයා සමත්ව ඇත.

“ඔබවහන්සේ කියන දේ මට දැනුයි තේරුණේ. එක් පිරිසකගේ අංගජාත සිඳලා. තවත් පිරිසක් අංගජාත සිඳගෙන ඔබවහන්සේ කියන්නෙ ඇත්ත. මේවා මහා අපරාධ…”

පිටුව 161

වර්තමානයේ ද යට කී ආකාරයෙන් අංග ජාත සිඳ දැමූ අය මෙන්ම සියතින්ම අංගජාත සිඳගත් පිරිස් කොතෙක් නම් සිටිත් ද…!

මගේ කියවීමට අනුව නම් “මහේසාක්කිය” යනු හුදු ඉතිහාස ප්‍රබන්ධයක් පමණක්ම නොවේ. එතුළ ගැබ්ව ඇත්තේ: බලය අත්පත් කරගැනීම වෙනුවෙන් සියලු මිනිසත්කම් අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත ලෑම, ඒ වෙනුවෙන් එක කුස හොත් දරුවා, සොයුරා වුවද බිල්ලට දීම, යහපත් නායකයන් පවා අයහපත් නායකයන් ලෙස රටේ ජනතාවට ඒත්තු ගැන්වීම, එතෙක් රටතුළ නොපැවති ව්‍යසන ඇති කිරීම, බලය අත්පත් කරගත් පසු එම බලය රඳාපවත්වා ගැනීම සඳහා ද පෙර සේම විවිධ ව්‍යසන මවාපෑම යනාදි දේශපාලන ව්‍යසන අන්තර්ගත, දුටු ගැමුණු යුගයෙන් නූතන යුගය කියවාගත හැකි ප්‍රබන්ධමය කතිකාවකි.

එබැවින් හුදු ඉතිහාස කතන්දරයක් අභිභවන දේශපාලන වටපිටාවකින් හෙබි, යුද්ධයේ බියකරු බව, ආත්මාරථකාමි බව සහ යුද ජයග්‍රහණයෙන් ඉක්බිති රජ්‍ය පාලකයන්ට යුද සෙබළා යනු හපා ඉවතලන උක් දණ්ඩක් තරම් හෝ නොවටිනා මිනිස් ප්‍රජාවක් බව ප්‍රකට කරන්නට මෙම කෘතිය සමත්ව ඇති බවද කිව මනාය; ඉදින් එවන් කෘතියක් කියවීම යුද්ධය යනු කුමක් ද යන්න දුරාවබෝධය ලබාගත හැකි කදිම මගකි.


Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

– leader

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *