පාම් ඔයිල් ගෙන්වන සමාගම් දෙකෙන් රජයට කෝටි 613ක පාඩුවක්

අලාභය 2013 සිට අය කළ යුතුයි
‘කෝපා’ වාර්තාවෙන් හෙළි වෙයි
විගණකාධිපති
මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නමැති තෙල් වර්ගය නිවැරැදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

2013 – 2016 අතර කාලසීමාවේදී මේ පාඩුව සිදුව ඇති අතර, එහි අලාභය 2013 වර්ෂයේ සිට අය කර ගත යුතු බවත් විගණකාධිපතිවරයා දැනුම් දී ඇතැයි කෝපා කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් අභියාචනා කොමිෂන් සභාවට ප්‍රමාද වී අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියක් අදාළ සමාගම්වලට නැති බවත් ආනයනකරුවන් එම මුදල වහා ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව එම යෝජනාව බදු අභියාචනා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස කමිටුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

මේ අතර ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ක්‍රියාත්මක කිරීමට නියමිත ස්වයංක්‍රීය පරිගණක සැසදුම් පද්ධතියේ කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *