අලි මිනිස් ගැටුම වැළැක්වීමට තියෙන ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් විය යුතුයි – කෝපා කමිටු වාර්තාව

අලි මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතුයි – කෝපා කමිටු වාර්තාව නිරිදේශ කරයි.

වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත.
පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට අදාළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ මීට අදාළ නිර්දේශයන් ඉදිරිපත් කොට ඇත.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය 2020 දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

මේ අනුව මෙතෙක් කාලයක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්තිය අතහැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව තම වාර්තාව මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.

විදුලි වැටක් ඉදිකොට අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටු කිරීමට ලක්වන්නේ අහිංසක ගැහැණු සතුන් හා අලි පැටවුන් පමණක් බවත් වාර්තාවේ සදහන්වේ. එසේම මිනිසුන්ට හා ගම්බිම්වලට හානි කිරීමට වග කිව යුතු වන්නේ විශාල පිරිමි සතුන් බව අනාවරණය වී ඇති බවද මෙහි වැඩිදුරටත් සදහන් වේ.

ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු වසර 7 කට වැඩි කාලයක් මුළුල්ලේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් මෙතෙක් පැවති ගැටුම් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදම ඉතා අඩු මට්ටමක පවතින බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට මෙම වාර්තාව ඉදිරිපත් කරමින් පවසා සිටියේ රජය විශාල වශයෙන් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කොට අලි මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද මෙම ගැටුම වැඩිවීමක් මිස අඩුවීමක් සිදුව නැති බවයි. එබැවින් රජයට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වන මෙම පැරණි ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවත් කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බවත් අලි රක්ෂිත ඉදිකිරීම සදහා එම ඉඩම් ලබා ගැනීමේදී මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතවල එකගතාව නිසි පරිදි ලබා ගැනීම ද වැදගත් බවත් වාර්තාවේ පෙන්වා දී තිබේ.

තවද අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා යොදා ගන්නා අලි වැට, අලි අගල් වැනි උපක්‍රම ඉදි කිරීමේදී හා පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධානවල සහ ගම්වාසීන්ගේ ඒකාබද්ධ සහය අවශ්‍ය බැවින් මෙම සියලු ආයතන සහ පුද්ගලයන්ගේ මනා සම්බන්ධීකරණ ද අතිශය වැදගත් බව මෙම වාර්තාව මගින් කාරක සභාව අවධාරණය කොට ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *