රාජ්‍ය ආයතන රැසක් වසර 6ක කාලයකින් බදු ගෙවා නැහැ

විගණන කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යන ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක් වසර 5ත් 6ත් අතර කාලයකින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවා නැති බව රජයේ ගිණුම් කාරක සභාවේදී පෙරේදා (20) අනාවරණය විය.
රජයේ ආයතන ගණනාවක් මඟින් කරන මේ අවභාවිතාවන් හේතුවෙන් රටට මෙන්ම රජයට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය. මෙයට හේතුවක් වී ඇත්තේ එම ආයතන විසින් ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසී තිබීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පෙරේදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මේ වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් බවත්, එමඟින් මෙලෙස රජයට අහිමි වන මුදල් අය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීවේය.