හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් නිදහස් කරන්න – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීම එහිදී තීරණාත්මක කරුණක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක් අවධාරණය කර සිටිනවා.
මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු පීඩාකාරී නීති වහාම අවලංගු කරන ලෙසත් මෙම පිරිස ආණ්ඩුවට දැන්ව තියෙනවා. ජනතාව මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒ සඳහා සාමූහිකත්වය අතිශය වැදගත් බවද මේ අය පෙන්වා දෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව නියෝජනය කරන 96දෙනෙකු විසින් මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් සිරබාරයේ රඳවා තබා ගැනීම, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව පියවර ගැනීමට කැඳවීමක්
දශක ගණනාවක් තිස්සේ පවතින්නා වූ බහුතරවාදී දේශපාලනය මඟින් මෙන්ම, මෑත කාලීනව සමාජය ඒකාධිපතිවාදය සහ මිලිටරීකරණය වෙත වඩාත් පල්ලම් බැසීම තුළින්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම විඛාදනය කර තිබේ. මේවා මඟින් අපගේ එදිනෙදා ජීවිතය තුළ අත්දකින්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අපේ සංවේදනය නැතිකර දමා ඇති අතර, අප සමාජය තුළ සමහර පුරවැසි කණ්ඩායම් ඉලක්ක කරනා ආකාරය පිළිබඳව අපගේ සංවේදීතාවයද අක්‍රීය කොට ඇත. හිජාස් ඕමාර් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගෙන වසරකට වඩා ගත වී ඇති අතර, ඔවුහු ඉතා අමානුෂික තත්වයන් යටතේ තවමත් සිරබාරයේ පසුවෙති.
2020 අප්‍රේල් 14 වන දින මානව හිමිකම් සහ ව්‍යවස්ථාමය නීතිඥයකු වන හිස්බුල්ලා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(ය) වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්නා ලදුව මාස 10 ක් ගතව ඇතත් තවමත් රැඳවුම් භාරයේ පසුවෙයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුට එල්ල වූ චෝදනාව වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකුට “ආධාර සහ අනුබල දීම” යි (පසුව අනාවරණය වූයේ පෙර අවස්ථාවක ඔහුගේ පවුලේ ඉඩම් නඩු දෙකකදී හිස්බුල්ලා විසින් ඔවුන් නියෝජනය කොට ඇති බවයි). නමුත් දැන් වන විට එම චෝදනා පුළුල් කොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (3)(1) වගන්තිය යටතේ ආවරණය කරන්නා වූ භාෂණය සම්බන්ධ දෝෂ දෙකකට ඔහුව වැරදිකරු කොට ඇත. නමුත් මෙම දෙවන චෝදනා සමූහය ගොනුකර ඇත්තේ බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙකුගේ කට උත්තරය මත බවත්, එම කට උත්තරය ලබාදීම සඳහා තමන්ට බලපෑම් හා තර්ජන එල්ල වූ බව එම දරුවන් දැන් පවසන බවත් සිහිතබා ගත යුතුය.
2020 මැයි 16 වන දින පොලිස් ප්‍රති ත්‍රස්ත විමර්ශන අංශය විසින් මන්නාරම් ප්‍රදේශයේ කවියෙකු හා ගුරුවරයෙකු වන ජසීම්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නවරාසම් පොතේ “අන්තවාදී අදහස්” අඩංගු බවත් ඔහු එම “අන්තවාදී අදහස්” දරුවන්ට උගන්වන බවටත් චෝදනා කරමිනි. මනෝ චිකිත්සකයන්ගෙන් සමන්විත “විශේෂඥ මණ්ඩලයක්” (ඔවුන්ගෙන් සමහරෙක් විශ්ව විද්‍යාල වලටද අනුබද්ධිතය) විසින් මෙම කවි ප්‍රතිනිරීක්ෂණය කිරීම සිදු කළ අතර ප්‍රචණ්ඩත්වය, වෛරය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි උසිගැන්වීමට මෙම පොතේ ඇති හැකියාව පිළිබඳව නොපැහැදිලි අදහස් සමූහයක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත. මෙම විනිශ්චයන් සඳහා වූ පදනම හෝ එකී විනිශ්චයන් සම්බන්ධ සාධාරණීකරණයන් සැපයීමට ඔවුන්ගේ මෙම වාර්තාව අසමත් වී ඇති අතර, දෙමළ භාෂාවෙන් රචිත මුල් පිටපතෙහි සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තන අතර යම් යම් පරස්පරතා පවතින බවද එහි සඳහන් වේ. හරියාකාරව නම් මෙවැනි අවස්ථාවක මෙම විශේෂඥ මණ්ඩලයේ සමස්ත ව්‍යායාමය පිළිබඳවම ප්‍රශ්නකාරී බවක් මේ නිසා මතුවිය යුතුව තිබුණි. එම චෝදනා වලට පටහැනිව, මෑත කාලීන පරිවර්තන වලින් හෙළි වන්නේ එකී රචනාවන් ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස විවේචනය කරන බවයි.
නීතීඥයින්ගේ අයිතීන්ට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මරු පහරකි හිස්බුල්ලා අත්අඩංගුවට ගත් ආකාරය සහ අද දක්වා රඳවා තබාගෙන සිටීම. මේ කරුණු වලට අමතරව, ජසීම්ගේ අත්අඩංගුව විසින් නියෝජනය කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ බහුත්වවාදයට පහර දීමක් සහ අදහස් මත දියත් කරන ලද වඩා පුළුල් යුද්ධයකි. හිස්බුල්ලා සහ ජසීම්ගේ නඩු විභාග වල ප්‍රගතිය දෙස බලන විට ඔවුන්ගේ අයිතීන් පැහැදිලි ලෙස උල්ලංඝණය වී ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩුව ගොඩ නැඟීම සඳහා සැක සහිත උපක්‍රම භාවිතා කොට ඇති බවත් පෙනී යයි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි අත්අඩංගුවේ පසුවන කාලය තුළ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපිරීමවත් සිදුව නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඉහළ නිලයන් දරන නිලධාරීන් සහ දේශපාලනඥයින් පිළිබඳ විමර්ෂණය කිරීමට උත්සහ ගැනීම නිසාත්, කතුවර ශක්තික සත්කුමාර බෞද්ධ විරෝධී යැයි සම්මත දෑ ලීවාය යන මුවාවෙනුත්, තවත් එවැනි බොහෝ දෙනෙකුත් රැඳවුම් භාරයට පත් වූ අයුරු අපි දුටුවෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලනීකරණය සහ අත්තනෝමතිකත්වය වෙනුවෙන් යොදා ගැනෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි සහ ICCPR පනත සමඟ සංකලනය කරමිනි. බහුතරවාදී ව්‍යාපාර තුළ සුළුතරයට එරෙහිවත්, බලයේ සිටින්නන්ට එරෙහිව කතා කරන්නන්ට පහර දීමටත්, විසම්මතිය හා දේශපාලන ප්‍රතිරෝධය මර්දනය කිරීමටත්ය මේවා යොදා ගැනෙන්නේ. මෙම ක්‍රියාවන් තුළින් රාජ්‍ය ආයතන සහ අධිකරණ පද්ධතිය පිළිබඳව සැකයක් හා අවිශ්වාසයක් ජනිත කර ඇත.
නිදහස් කථනය භාවිතය සහ ආරක්ෂා කිරීම සඳහා තමන්ට ඇති විශේෂ වූ වරම භාවිතා කොට ශාස්ත්‍රීය ප්‍රජාව විසින් මේ අවස්ථාවේ බලයේ සිටින්නන්ගේ අවභාවිතයන් පිළිබඳ ප්‍රශ්න කිරීමට සහ ඒවා පිළිබඳව ඍජු ප්‍රශ්න නැඟීමට කටයුතු කිරීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම මහජන අරමුදල් මත ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින්නන් වශයෙන් ආන්තීකරණයට ලක් වූවන්ගේ හඬට සහය වීමට සහ එය වැඩි වර්ධනය කිරීමට දායක වීමට අපට යුතුකමක් ඇත. යුක්තියේ අසමානතාව, බහුතරවාදී දේශපාලනය සහ ජාතිවාදී අලංකාරෝක්ති හේතුවෙන් ඇති වූ විනාශයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති, අපේ සමහර පුරවැසියන්ට දිනපතා ජීවත් වීමේ ඇති අනාරක්‍ෂිත බව සහ භීතිය දැනගෙන සිටින අපි, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙවැනි ප්‍රහාරයන්ට එරෙහි විය යුතුය. කිසිදු ප්‍රතිවිපාකයකින් තොරව මෙම ක්‍රියාවන්ට ඉදිරියට යාමට ඉඩ දීමෙන් අපි සියල්ලන්ම යම් ආකාරයකින් එයට වගකිවයුත්තන් බවට පත්වන බව අපි විශ්වාස කරමු.”යනුවෙන් ඔවුන්ගේ දීර්ඝ නිවේදනයේ සඳහන් වෙනවා.
“සැමට ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ළඟා කරදීම වෙනුවෙන් අපට හිමිව ඇති වරම සහ අපගේ ශාස්ත්‍රීය නිදහස භාවිතා කොට මෙම අරගලය පුළුල් කරන ලෙස අපි ශාස්ත්‍රීය ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නෙමු.” යනුවෙන් ඔවුන් සිය නිවේදනය අවසන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *