රසායනික පොහොර ආනයනයට වැය කරන කෝටි 800ක මුදල ගොවි ජනතාවට ලබාදෙනවා – ජනපති

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම කාබනික පොහොර භාවිතයට යොමුවීම නිසා අඩුවීමට ඉඩ නොතබන බව කී ජනාධිපතිවරයා ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී ගොවියා ආරක්‍ෂා කරගන්නා බව ද සඳහන් කළේය.

වගා කටයුතු සඳහා අවශ්‍ය වල්නාශක, කෘමිනාශක සහ කාබනික පොහොර ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයට ඉදිරියේදීත් ගොවීන්ට ලැබීමට සලස්වන බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (1) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව අමතමිනි.

කාබනික පොහොර භාවිතයට යොමු වීමේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ගොවි නියෝජිතයන් දැනුවත් කළේය.

කාබනික පොහොර සඳහා යොමුවීම හදිසියේ ගත් තීරණයක් නොව තමා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.

මීට පෙර පැවති ආණ්ඩු කාබනික පොහොර වගාවට යොමුවීමට ගත් උත්සාහයන් අසාර්ථකවීමට හේතු අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කළත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් වන කාබනික පොහොර භාවිතයට යොමුව කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළට එරෙහි බොහෝ දෙනා වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරන බවද ජනාධිපතිවරයා කීවේය.

පසුගිය රජය සමයේ වගා කටයුතු බොහෝදුරට අඩපණ කර තිබුණත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම බව කී ජනාධිපතිවරයා රුපියල් 30ක්ව පැවති වී කිලෝවක මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීමෙන් පසු ගොවීන්ට වී කිලෝවක් රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකිවූ බව ද හෙතෙම පැවසීය.

පොහොර නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවන අතර ගොවීන්ටද පොහොර නිෂ්පාදනය කරගත හැකි නම් ඊට අවශ්‍ය මුදල් ලබාදීමට රජය සැලසුම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *