Type to search

අද තියෙන්නේ මාඕ සේතුං හැදූ කොමියුනිස්ට් පක්ෂයද? :’ඩෙන්ග්වාදය’ විසින් ‘මාඕවාදය’ යටපත්කිරීම

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals


1968 සංස්කෘතික විප්ලව සමයෙහි චීන සිසුන් මාඕ චින්තනය සහ මගපෙන්වීම් ඇතුළත් ‘රතු පොත’ හදාරමින්

සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1921 ජූලි මස පළමු වෙනිදා නිල වශයෙන් දියත්කරන ලද විප්ලවීය අරගලය එයින් වසර විසි අටකට පසු මුදුන්පත්කර ගනිමින්, 1949 ඔක්තෝබර් පළමු වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත්කරනු ලැබුණි. ඓතිහාසික වාර්තා රැසකට උරුමකම් කියන චීන භූමියේ “මහා පරිවර්තනය” තීන්දු කරන ලද එම විප්ලවයට නායකත්වය දුන් චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) සිය සියවෙනි සංවත්සරය සමරයි.

චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ඓතිහාසික සමාරම්භයට පදනම සැකසූ සමාජ දේශපාලන පසුබිම විසිවෙනි සියවසේ මුල පටන්ම හැඩගැසෙමින් තිබුණි. සුන් යත්-සෙන් ගේ (Sun Yat-sen) නායකත්වයෙන් 1911 දී ‘ක්වින්’ රාජාණ්ඩුව (Qing dynasty) පෙරලා දමමින් ‘චීන ජනරජය’ පිහිටුවනු ලැබීම සහ ‘මැයි හතර’ ව්‍යාපාරය ඒවා අතර වැදගත් තැනක් හිමිකර ගනී.

‘මැයි හතර’ ව්‍යාපාරය සිය කොමියුනිස්ට් විප්ලවය මුදුන්පත්කර ගැනීම සඳහා මඟ හෙළිකරන ලද වේදිකාවක් වූ බව 1939 දී මාඕ සේතුං කියා සිටියේය.


1949 ඔක්තෝබර් පළමුවෙනිදා සභාපති මාඕ සේතුං ‘තියැනෑන්මන්’ චතුරශ්‍රයේ සිය චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය සහිත ‘මහජන චීන සමූහාණ්ඩුව’ ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාව

එදා චීනයේ පැවති භෞමික සහ සමාජ-දේශපාලන පරිසරය තේරුම් ගනිමින්, එසේම සිය ව්‍යාපාරයේ සතුරු සහ මිතුරු බලවේග හඳුනාගනිමින් තරුණ මාඕ සේතුං දිගු කාලීන අරගලයකට මුලපුරන ලද බව හිටපු කථිකාචාර්ය, දේශපාලන විශ්ලේෂක දයාපාල තිරාණගම පවසයි.

“චීන විප්ලවය දිග්ගැස්සුන අරගලයක්. එම විප්ලවීය උපාය මාර්ගයේ ප්‍රතිපලයක් වශයෙන් මාඕ විසින් 1934-35 දී ගිනිකොන චීනයේ පිහිටුවා තිබුන විප්ලවකාරී බල කඳවුරක සිට ඊශාන දිග චීනය කරා කිලෝ මීටර් 8,000කට අධික දීර්ඝ පා ගමනක් දියත් කළා. මෙය චීන විප්ලවවාදී යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක්. කඳුවැටි 18 ක් සහ ගංගා 24 ක් තරණය කරමින් විප්ලවවාදී හමුදාව අග්නිදිග චීනය දක්වා සටන් කරමින් ගමන් කිරීම නිසා චීන කොමිනිස්ට් පක්ෂයේ විවාද රහිත එකම නායකයා බවට මාඕ පත්වුණා. එපමණක් නොවෙයි, එය විප්ලවීය වීරත්වයක් ලෙස සැලකූ තරුණ කොටස් 1930 සහ 1940 දශකවල විශාල වශයෙන් කොමියුනිස්ට් පක්ෂය ආකර්ෂණය වුණා”, දයාපාල තිරාණගම සිය දීර්ඝ දේශපාලන විශ්ලේෂණය ආරම්භ කරමින් සඳහන් කළේය.

මාඕ සේතුං ප්‍රකාශයට පත්කරන ලද පරිදි 1949 දී චීනය ‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ජයග්‍රහණය කරන ලද අතර, එමගින් අනාගත කොමියුනිස්ට් පාලනයකට අවශ්‍ය පදනම සකස්කරනු ලැබුණි. 1949 පටන් චීනය නමැති මහාදේශය පාලනය කරනු ලබන එකම අසහාය දේශපාලන බලවේගය චීන කොමියුනිස්ට් පක්ෂයයි.

“1921 වසරේ දී මෙයින් සියවසකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබුවේ අර්ධ රදළ, අර්ධ විජිත රටක් වශයෙන් චීන ජනතාව දැඩි පිඩනයක ජීවත්වෙමින් සිටින අවස්ථාවක. එබඳු සමාජ නිර්මිතයක් පැවති රටක බිහිවන විමුක්තිකාමී පක්ෂයක් වෙනත් ධනපති සමාජ නිර්මිතයක් පවතින රටක බිහිවන පක්ෂයක ගමනට වඩා වෙනස් වූ ගමනක් ආරම්භ කිරීම අප බලා පොරොත්තු විය යුතුවන දේශපාලන සංසිද්ධියක්” දේශපාලන විශ්ලේෂක දයාපාල තිරාණගම පවසයි.

“චීන කොමියුනිස්ට් පක්ෂය එහි අරමුණු කරා ගමන්ගත් මාර්ගය විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ ගමන් මාර්ගයට වඩා වෙනස් එකක්. රුසියානු විප්ලවය නගර කේන්ද්‍රකර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශ කරා පැතිර ගියා. නමුත් චීන විප්ලවයේ ප්‍රධාන ගාමක බලවේගය නිර්ධන පන්තික ගොවින් ඇතුළු ග්‍රාමීය ගොවි ජනතාව. අර්ධ රදල සහ අර්ධ විජිත රටක රදල විරෝධී සහ යටත් විජිත විරෝධී බහු ජනතාව විමුක්තියේ මාවත ඔස්සේ ගමන් කළ යුතු බව මාඕ පෙන්වා දුන්නා. දෙවැනිව, චීන විප්ලවය දීර්ඝ කාලීන විමුක්ති යුද්ධයක් ලෙස දුටු මාඕ ප්‍රදේශ නිදහස් කරමින් මූල කඳවුරු ස්ථාපිත කරමින් ජනතාව සමග බද්ධ වෙමින් පක්ෂයේ ප්‍රතිපත්තීන් ජනතාව අතර ජනප්‍රිය කර වීමේ දේශපාලන යුදමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා. තෙවනුව, මේ සමස්ත ප්‍රතිපත්තිය 1949 විප්ලවය ජයගැනීමත් සමග ‘මාඕ වාදය’ ලෙස ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදයට එකතු වුණා” දයාපාල තිරාණගම බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික කාර්යභාරය විශ්ලේෂණය කරමින් සඳහන් කළේය.

චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ පළමු පූර්ණ සැසියේ ආරම්භක දේශනය පවත්වමින් 1949 සැප්තැම්බර් 21 දින චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති මාඕ සේතුං කියා සිටියේ මෙවැන්නකි.

“අපගේ විප්ලවවාදී කටයුතු අවසන් වී නැත, මහජන විමුක්ති යුද්ධය සහ මහජන විප්ලවවාදී ව්‍යාපාරය තවමත් ඉදිරියට යමින් සිටින අතර අප අපගේ උත්සාහයන් දිගටම කරගෙන යා යුතුය”


චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ඓතිහාසික පසුබැසීමක් වූ 86,000ක් පමණ රතුහමුදා සේනාංකයක් ද සමඟ කිලෝමීටර් අටදහසක ‘මහා පාගමන’ (Long March)අතරතුර මාඕ සේතුං රතු හමුදාව අමතන ලද අවස්ථාවක්

සිය විප්ලවකාරී අරමුණු මුදුන්පත්කර ගැනීමේ ව්‍යාපෘතිය තුළ මාඕ සේතුං චීන භූමියේ අසහාය සහ එකම දේශපාලන පක්ෂය ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය නීතිගත කරගත් අතර, එය එවක සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය පැරණි සෝවියට් සංගමය තුළ ක්‍රියාත්මක වූ ආකාරයට සමපාත ක්‍රියාවක් විය.

“විප්ලවය ජයග්‍රහණයෙන් පසුව මාඕ විසින් ගන්නා ලද තීන්දු තීරණයන් කෙරෙහි පක්ෂය තුළින් කෙබඳු බලපෑමක් ඇති කළා ද? යන්නත් අතිශයින් වැදගත් කාරණයක්” දයාපාල තිරාණගම පෙන්වා දෙයි.

“ඉන් එකක් වන්නේ ‘මහා පිම්මක් ඉදිරියට’ (1958-60) සැලසුම තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ළඟා කර ගත් ව්‍යසනය.’මහා පිම්ම’ මාඕගේ පස් අවුරුදු සැලැස්මේ කොටසක්. ඇත්තටම ‘මහා පිම්ම’ අසාර්ථක වුණා. එය දුර්භික්ෂයක් ගෙනාවා. මිලියන හතළිස් පහක ජනතාවක් චීනයට අහිමි වුණා. එයින් මිලියන තුනක් හෝ හතරක් වධහිංසාවලට භාජනය වී මරණයට පත්වූ බවත් වාර්තා වුණා. ඊට හේතුව සමූහ වැඩ පොලවල ඒ වධහිංසා සිදු වූ නිසා. ඇත්තටම ‘මහා පිම්ම’ චීන සමාජ සංවර්ධනය පිමි ගණනනාවක් ආපස්සට ගෙන ගිය ව්‍යාපෘතියක්.”

තනි පක්ෂ ආධිපත්‍යය සහ සංස්කෘතික විප්ලවය


චීන කොමියුනිස්ට් පක්ෂ සියවස් සැමරුම: දශක ගණනාවක සමාජීය පරිවර්තනය කැමරා ඇසින්

1949 මහජන විප්ලවයෙන් අනතුරුව චීනයේ තහවුරු කරන ලද්දේ සෝවියට් සම්ප්‍රදායේ තනිපක්ෂ ආධිපත්‍යය (One Party System) පාලන ව්‍යුහයකි. මේ දක්වාම චීනයේ අසහාය දේශපාලන බලවේගය වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි.

බලය අත්පත්කරගනු ලැබීමෙන් පසු “පැරණි වැඩවසම් සහ අර්ධ ධනේශ්වර නෂ්ටාවශේෂයන් කෙරෙන් එල්ල වූ අභියෝගයන්ට මෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ හිස එසවූ ප්‍රතිවිරෝධී මතවාදයන්ට ද එරෙහිව සටන්කිරීමට සිදුවූ” බව මාඕ සේතුං පවසා ඇත. ඔහුගේ එම දැක්ම සහ දේශපාලන උවමනාව ලෝකයට ප්‍රදර්ශනය කෙරුනේ 1966 දී ආරම්භකරන ලද ‘සංස්කෘතික විප්ලවයත්’ සමඟය.

“මධ්‍යස්ථානයට පහරදෙනු! – මගේ ලොකු අකුරු පෝස්ටරය” නම් මාඕ විසින් ඉදිරිපත්කරන ලද ලියැවිල්ලත් සමඟ 1966 දී ආරම්භ වූ චීන සංස්කෘතික විප්ලවය වැඩවසම් ආකල්ප සහ හිස ඔසවමින් තිබූ ධනේශ්වර ආකල්පවලට එරෙහි ව්‍යාපාරයක් ලෙස හඳුන්වනු ලැබුවද එහි ප්‍රචණ්ඩ මුහුණුවර දහස් සංඛ්‍යාත ජීවිත විනාශයකට මග පෑදූ බවට චෝදනා එල්ලවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂය වසර සියයක් සපුරන්නේ ලෙනින්වාදී මධ්‍යගතවාදී පක්ෂයක් මගින් සමාජවාදය ගොඩ නැගීම සඳහා ඉදිරියට යාමේ දී ලබා ගත් විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත් සංවිධානයක් ලෙස යයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පවසයි.


“අද චීනය ප්‍රාග්ධනය නිර්යාත කරන අධිරාජ්‍යවාදී රටක් බවට පත්වී තිබෙනවා” – මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර

“මෙම ගමනේ දී පක්‍ෂය සහ චීන ජනතාව ලබා ගත් අත්දැකීම් සම්භාරය අති විශාල වූවක්. මේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන්නේ දැඩි මූලධර්මවාදී දැක්මක් යොදා ගනිමින් ක්‍රියාත්මක කළ සංස්කෘතික විප්ලවය. එම ක්‍රියාමාර්ගය දැඩි මානසික සහ කායික පීඩනයක් පක්ෂ සාමාජිකයන්ටද, සමාජයටද ආර්ථිකයට ඇති කළා පමණක් නොව, එය වෙනස් කිරීම සඳහා බරපතල පරිවර්තනයක් පක්ෂය සහ රාජ්‍ය සංවිධානය තුළ ඇති කිරීමට සිදුවුණා” මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

“මාඕ සහ පක්ෂය දියත් කළ දේශපාලන ක්‍රියාවක් වුන සංස්කෘතික විප්ලවයේ අරමුණ හැටියට ඔවුන් ප්‍රකාශයට පත්කළේ ආණ්ඩුවේ සහ පක්ෂයේ සිටින ‘ධනපති පාන්තික කොටස්’ එලියට ඇද දැමීම. පක්ෂයේ සිටි විකල්ප මතධාරීන් ධනේශ්වර ඒජන්තයන් ලෙස හංවඩු ගසා එලිය දැම්මා පමණක් නොවෙයි, ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් වධහිංසා පමුණුවමින් ඝාතනය කිරීම් පවා සිදු කෙරුණා. පක්ෂයේ ඇතැම් නායකයන් පවා ඊට ඉලක්ක වුණා. සංස්කෘතික විප්ලවය 1976 මාඕ ගේ මරණයත් සමග අවසාන වන විට මිලියන ගණනක් ජනතාව ඝාතනයට ලක්ව තිබුණා” දයාපාල තිරාණගම පවසයි.

1950 දශකයේ අගභාගයේ දියත්කරන ලද ‘මහා පිම්ම’ ආර්ථික සැලැස්ම අසාර්ථකවීමෙන් අනතුරුව මුහුණදීමට සිදුවූ මහා සාගතයත් සමඟ සිය නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ අභියෝගය ජයගැනීමට මාඕ සේතුං ‘සංස්කෘතිය විප්ලවයත්’ සමඟ යළි සමත්විය.

මාඕගේ “රතුපොත”
1966-76 සංස්කෘතික විප්ලව සමය පුරා පාසල්-කම්හල්-වැඩපොළ පුරා මාඕගේ චින්තනය රැගත් රතුපොත (Red Book)ප්‍රගුණ කරවන්නට වූ අතර එමගින් ප්‍රයත්න දරන ලද්දේ මාඕගේ දර්ශනය සහ වැඩ පිළිවෙල ස්ථාවර කිරීමය.


1971: මාඕ චින්තනය ඇතුළත් “රතුපොත” සමාජ ගත කරන ලද්දේ කුඩා දරුවන් අතට පවා එහි පිටපත් බෙදා හරිමිනි

චීන විප්ලවය සහ සමාජවාදී සමාජයක් කරා යන ගමනේ දී අනුගමනය කළයුතු කාර්යභාරය සම්බන්ධයෙන් මාඕගේ මාර්ගෝපදේශ ඇතුළත් කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණය කර මහජනයා අතර බෙදාහරින ලද ‘රතුපොත’ චීන විප්ලවකාරීන්ගේ ‘බයිබලයක්’ වැනිවිය. පාසල් සිසුන් පන්තිකාමරවලත්, සරසවි සිසුන් දේශනා ශාලාවන්හිත් රැස්ව ‘රතුපොතේ’ ඇතුළත් මාඕවාදී චින්තනය ප්‍රගුණ කරන්නට පටන්ගත් අතර, සමූහ ගොවිපොළවල සහ කම්හල්වල පවා විවේක කාලයන්හි රතුපොතේ උපදෙස් පැහැදිලි කෙරෙන සැසිවාර ආරම්භ විය. බොහෝ චීන ජාතිකයන්ගේ සාක්කුවල රතුපොතේ පිටපතක් දැකිය හැකිවිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත න්‍යාය සහ දර්ශනය පදනම් වූයේ මාඕවාදී මගපෙන්වීම අනුව වූ නමුත්, 1976 සැප්තැම්බර් 09 දින ඔහුගේ මරණයෙන් අනතුරුව එම ගමන් මාර්ගයේ විශාල වෙනසක් තීන්දු වී ඇත. එම නව ප්‍රවණතාවට එරෙහිවෙමින් මාඕවාදී වැඩපිළිවෙල දිගටම පෙරට ගෙනයාමට ඉදිරිපත් වූ ‘හතරදෙනාගේ කල්ලිය’ (Gang of Four) ලෙස විග්‍රහකරන ලද, මාඕගේ බිරිඳ ෂියෑන් ක්වින් (Jiang Qing) ඇතුළු පුද්ගලයන් සිව්දෙනා නව නායකයන් විසින් සිරගතකරනු ලැබුණි. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ දිශානතියේ නව වෙනසක් ආරම්භවන්නේ මාඕගේ මරණයත් සමඟය.

චීනය කණපිට හැරවූ ඩෙන්ග් ෂිආවෝපින්ග්

මාඕගේ මරණින් අනතුරුව චීන කොමියුනිස්ට් පක්‍ෂයේ දීර්ඝ සහ උණුසුම් බල අරගලය නිමවන්නේ ‘සංස්කෘතික විප්ලවය’ විසින් ”ද්‍රෝහීන්” ගණයට හංවඩුගසන ලද ඩෙන්ග් ෂිආවෝපින්ග් (Deng Xiaoping) ප්‍රමුඛ කණ්ඩායම පක්‍ෂයේ මෙන්ම රාජ්‍යයේ බලය අත්පත්කර ගැනීමෙනි.’ඩෙන්’ බලයට පත්වීම චීනයේ මාඕවාදී ගමන්මගෙහි කණපිට හැරවීමක් විය.

“චීන සංස්කෘතික විප්ලවය විසින් කොන්කරන ලද නායකයකු වූ ඩෙන්ග් ෂිආවෝපින්ග්, සභාපති මාඕගේ මරණින් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ පෙරමුණු බලකායේ සිටි නායකයන් ඉතා සූක්‍ෂම ලෙස බලරහිත කරමින් බලය අල්ලාගත්තා. එය මාඕ නායකත්වය දුන් චීන කොමියුනිස්ට් ව්‍යාපාරය නව දිශානතියකට යොමුකිරීමේ කඩඉමක්” දේශපාලන විශ්ලේෂක දයාපාල තිරාණගම පවසයි.


යාපනය සහ කැලණිය විශ්ව විද්‍යාලයන්හි කථිකාචාර්යවරයකුව සිටි දයාපාල තිරාණගම ශිෂ්‍ය අවධියේ මාඕ චින්තනයෙහි ආභාෂය ලැබීය

‘ඩෙන්ග්වාදය ‘(Dengism) විසින් ‘මාඕවාදය’ (Maoism) යටපත්කරනු ලැබුණි.

මාඕවාදයෙන් ඩෙන්ග්වාදයට
1976 දී මාඕ සේතුංගේ මරණයෙන් පසුව චීන කොමියුනිස්ට් පක්ෂය මාඕවාදයෙන් මිදුනා පමණක් නොව,සංස්කෘතික විප්ලව සමයෙහි ප්‍රතිවිප්ලවවාදින් ලෙස හංවඩු ගසනලද පක්ෂ නායකයන් නැවත බලයට පැමිණි අතර, ඔවුන් සංස්කෘතික විප්ලවය නිසා සිදු වූ වැරදිවලින් 70% ක්ම සම්බන්ධයෙන් මාඕ පිට වරද පටවන ලද බවත් දේශපාලන විශ්ලේෂක දයාපාල තිරාණගම සඳහන් කරයි.

“එසේම ඒ සමඟ ඔවුන් චීනයේ වර්ධනය සමබන්ධයෙන් වැදගත් න්‍යායික විග්‍රහයක් කළා. එනම් චීනයේ එවිට තිබූඅර්ධ-සංවර්ධන නිෂ්පාදන බලවේගවල නොදියුණු බව සහ සමාජවාදී නිෂ්පාදන සාධක අතර පවතින ප්‍රතිවිරෝධය බව පෙන්වාදීම”

චීන කොමියුනිස්ට් පක්ෂයේ එම නව ගමන සඳහා ඉදිරියට පැමිණි පක්ෂ නායකත්වය මෙහෙවනු ලැබූයේ ඩෙන්ග් ෂිආවෝපින්ග් විසිනි. 1976 සිට ඔහුගේ මූලිකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සමාජය සහ රාජ්‍යය තුළ තහවුරු කිරීමට පියවර ගනු ලැබූයේ බරපතල ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරමිනි.


ඩෙන්ග් ෂිආවෝපින්ග් දැක්වෙන ‘ෂෙන්ෂෙන්'(Shenzhen)නගරයේ මාවතක ප්‍රදර්ශනය කෙරුන යෝධ පුවරුවක්

“එහි මූලිකාංග වූයේ ‘විවෘතභාවය’ සහ ‘පෞද්ගලිකකරණය’. විවෘතභාවය යටතේ චීනයේ ආර්ථික නිශ්පාදන ක්‍රමයේ කාර්යසාධනය බාහිර රටවල් සමග සැසඳීමේ අවස්ථාව සමාජයටද, විශේෂයෙන් පක්ෂයේ බුද්ධිමතුන්ටද ලබා දීමක් සිදුවුණා. ‘විවෘතභාවය’ යනුවෙන් හඳුන්වන ලද එම ක්‍රියාමාර්ගය මගින් ධනවාදී ක්‍රමය විසින් නිෂ්පාදනය සහ වෙළෙඳපොළ හැසිරවීමට යොදා ගන්නා ක්‍රමවේද චීනයේ පැවති ක්‍රමවේදකයන්ට වඩා කාර්යක්ෂම යයි වටහා ගන්නට චීන ජනතාවට අවස්ථාව සැලසීමක් සිදු කෙරුණා. ‘පෞද්ගලිකකරණය’ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගය වුණේ ධනේශ්වර ක්‍රමය චීනය තුළ යොදා ගැනීම සඳහා ආර්ථිකය තුළ පෞද්ගලික අංශයක් ගොඩ නැගීමට මග සලසමින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණය කිරීමයි” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පවසයි.

ඉහත සඳහන්කරන ලද ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වූයේ දේශීය සහ විදේශීය හවුල්කාරීත්වයන් සහිත ආයෝජන මෙන්ම සෘජු විදේශ ආයෝජන රට තුළට වේගයෙන් ඇතුල්වීම බවත්, එමගින් විවෘත ආර්ථිකයක් මගින් පුලුල් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට සහ පාරිභෝගිකවාදයක් භුක්තිවිඳීමට චීන සමාජයට අවස්ථාව සැලසුන බවත් මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

“මෙම නව ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලය වූයේ කාලයක් යනවිට පක්ෂ නිළධාරීන් සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අතර වංචනික සම්බන්ධතා ඇතිවීමත් රාජ්‍ය සහ පක්ෂ නිලධාරීන් අල්ලස් ගැනීම මගින් ව්‍යවසායක අවස්ථා සහ රජයේ රැකියා ලබාදීම සිදුකරන සංවිධානයක් ජාලගත ආකාරයට මුල් බැස ගැනීම. ගජමිතුරු ධනවාදයක් (Crony Capitalism) මේ අන්දමට පක්ෂ නිලධාරීන්ගේ ද බැඳීමක් ඇතිව රට පුරා ව්‍යාප්තවී පක්ෂ නායකයන් සහ රාජ්‍ය නිළධාරීන් ඉතා දූෂිත යාන්ත්‍රණයක් ගොඩ නගා ගැනීමක් සිදුවුණා”.

දේශපාලන විශ්ලේෂක දයාපාල තිරාණගම ඉදිරිපත්කරන විශ්ලේෂණය අනුව, “චීන කොමියුනිස්ට් පක්ෂය එම ආර්ථික වර්ධනය දිනාගන්නා ලද්දේ චීනයේ වර්ධනය සම්බන්ධයෙන් එනම් චීනයේ වූ අර්ධ-සංවර්ධන නිෂ්පාදන බලවේගවල නොදියුණු බව සහ සමාජවාදී නිෂ්පාදන සාධක අතර පවතින ප්‍රතිවිරෝධය සම්බන්ධයෙන් න්‍යායික විග්‍රහයක නිරතවෙමිනි”.

“අද චීනය උදාකරගෙන ඇති ආර්ථික සංවර්ධනය ඔවුන් පැවතුන ගැටලුවට දෙනලද විසදුමේ ප්‍රතිඵලය වී තිබෙනවා. නමුත් එය සමාජවාදී මාවතෙන් දුරස්ථ වූවක්”

මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර විසින් ද ඉදිරිපත්කරනු ලබන්නේ “අද චීන කොමියුනිස්ට් පක්ෂයේ ගමන්මාර්ගය සමාජවාදී මාවතෙන් දුරස්ථ වූවක්ය” යන අදහසට සමාන විග්‍රහයකි.

“ඒ වෙනුවට රාජ්‍ය ධනවාදය (State Capitalism) සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිනවා. චීනය නිදහස් වෙළඳපල ධනවාදී (Free Market Capitalist Countries) රටවලට බලගතු තරඟයක් ලබාදෙන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. මේ නිසා චීනය කොමියුනිස්ට් පක්ෂයක් මගින් සමාජවාදය ගොඩ නගන රටක් නොව, රාජ්‍යය මගින් ධනවාදී සංවර්ධනයක් අත් කර ගනිමින් එය හා සමාන රාජ්‍ය ධනවාදී රටවලට ආධාර කරමින් සිටින රටක් වශයෙන් හඳුනා ගැනීමට අපට සිදුවෙනවා.” මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

පෞද්ගලික ව්‍යවසායට දොරඇරීම
“චීනය මාක්ස්-එංගල්ස් ඉගැන්වීමට පටහැනිබවක් පෙනීයන නමුත් ඔවුන් එවැනි මාවතක ගමන් ගනිමින් සිටින්නේ ”චීනයට සුවිශේෂී වූ සමාජ ඓතිහාසික පරිසරයක් තුළය” යන්න හොරණ ශ්‍රීපාලී සරසවියේ ජනමාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහගේ විග්‍රහය වෙයි.


“ඇත්ත! චීනය ගමන්ගනිමින් සිටින්නේ සම්භාව්‍ය මාක්ස්වාදී ගමන්මාර්ගයේ නොවෙයි”- ආචාර්ය ටියුඩර් වීරසිංහ

“ඇත්ත! චීනය ගමන්ගනිමින් සිටින්නේ සම්භාව්‍ය මාක්ස්වාදී ගමන්මාර්ගයේ නොවෙයි. එය චීන ‘මානව ද්‍රව්‍යයට’ (Human Matter) අදාළ ආකෘතියක්. චීන කොමියුනිස්ට් පක්ෂය විප්ලවයට පෙර සහ පසුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් ද්‍රව්‍යමය සහ දෘෂ්ටිමය ආධාරය ලබාගත්තත් මාඕ පාලන කාලයේම ඔවුන් චීනයට ආවේණික වූ ගමන් මාර්ගයක් තෝරාගත්තා. එය අපනයනය කේන්ද්‍රකරගත් ආර්ථික රටාවක්. එම ආර්ථික ක්‍රියාවලිය තුළ පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලැබී තිබෙනවා. හැබැයි! ඒ වගේම රාජ්‍ය ව්‍යවසායත් බලවත්. මේ සියල්ලම සිද්ධවෙන්නේ කොමියුනිස්ට් පක්‍ෂයේ බල අධිකාරය යටතේ” ආචාර්ය ටියුඩර් වීරසිංහ සිය ස්ථාවරය පැහැදිළි කළේය.

“අද චීනයේ ක්‍රියාත්මකවෙමින් තියෙන්නේ ලෙනින් සඳහන් කළ ආකාරයට රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක්”

එම රාජ්‍ය ඒකාධිකාරීත්වය යටතේ “අද කොමියුනිස්ට් පක්‍ෂය සාම්ප්‍රදායික චීනයේ පැවති අධිරාජ්‍ය සංකල්පය අනුගමනය කරමින්, දේශප්‍රේමීත්වය අභිවාදනයට ලක් කරමින් එය දැන් ලෝකය පුරා මෘදු බලය (soft power) යොදා ගනිමින් නව යටත්විජිතවාදයක් පවත්වාගෙන යාම සඳහා ප්‍රාග්ධනය නිර්යාත කරන අධිරාජ්‍යවාදී රටක් බවට පත්වී තිබෙන” බව මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වාදෙයි.

“ලෙනින්වාදී පක්ෂ මාදිලිය යොදා ගෙන දේශපාලන වශයෙන් ඒකාධිපතිත්වයක් රට තුළ පවත්වා ගෙන යමින් සිටින චීනය ලෝක බලවතෙක් බවට පත්වීමට උත්සාහ දරමින්, දැනටමත් ලෝක බල දේශපාලනය තුළ තරඟයක් ඇරඹීමට සමත්ව සිටිනවා. එම තරඟයට ඇමරිකාව ප්‍රමුඛ නිදහස් වෙළඳපල ක්‍රමය පවත්වාගෙන යන රටවලුත් මැදිහත්වීමෙන් දැන් කලාපීය තරඟයකුත් ඇති කරමින් තියෙනව”

මානව හිමිකම් අහිමි ඇයි?
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ බල අධිකාරිය තුළ ක්‍රියාත්මකවෙමින් පවතින රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වය යටතේ සමාජවාදී සමාජයක පැවතිය යුතු මානව නිදහස යටපත්කරනු ලැබ ඇත යන්න චීන පාලනයට එරෙහිව එල්ලකෙරෙන චෝදනාවකි.

“කතාකිරීම,ලිවීම සහ සංවිධානයවීමේ නිදහස වැනි වැදගත් මානව හිමිකම් චීන කොමියුනිස්ට් පාලනය යටතේ පුරවැසියන්ට අහිමිව පවතිනවා. එය සෝවියට් කොමියුනිස්ට් පක්ෂය යටතේත් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් රෝසා ලක්සම්බර්ග්, ලෙනින් පවා දැඩි දෝෂදර්ශනයට ලක්කළා. ඔවුන් ඒවාට ගරුකළේ නැහැ. අද විතරක් නොවෙයි, මාවෝ අවධියේත් චීන කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කළේ එවැනි පිළිවෙතක්” හිටපු කථිකාචාර්ය දයාපාල තිරාණගම පවසයි.


මිහායිල් ගොර්බචෝෆ් විසින් ‘පෙරෙස්ත්‍රොයිකා’ හඳුන්වා දුන් අවධියේ පිබිදුන චීන තරුණයෙක් චීන කොමියුනිස්ට් පක්ෂයේ බල අධිකාරියට එරෙහිව යමින් යුද්ධ ටැංකි ඉදිරියේ සිටගත් අවස්ථාව දැක්වෙන මෙම පින්තූරය ලොව පුරා අවධානයට ලක්විය

එහෙත් එම අදහස සමඟ එකඟනොවන ආචාර්ය ටියුඩර් වීරසිංහ කියා සිටින්නේ, “ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ මානව හිමිකම් විශ්වීය දර්ශනයක් සහිත යයි කෙරෙන විශ්ලේෂණ බටහිරට ආවේණික මතවාදයක් පමණක්” වන බවය.

“චීනය කියන්නේ බටහිර සාම්ප්‍රදායික මොඩලයෙන් ගැලවුන දීර්ඝ ඓතිහාසික ඉතිහාසයක්, ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක් සහිත සමාජයක්. මෙය ආකෘතීන් දෙකක්. එම ඓතිහාසික උරුමයෙන් ලද හුරුව අනුව සමාජය යම්කිසි නායකත්වයක පාලනයක් ඉල්ලා සිටිනවා. අද චීන කොමියුනිස්ට් පක්ෂය කරන්නේ එම චීන භූ-දේශපාලනයට අදාළ පාලන ආකෘතියක් තුළ කටයුතු කිරීම”

කොමියුනිස්ට් පක්‍ෂයේ පාලනය යතේ අද සිදුවෙමින් පවතින්නේ චීනය ජාතිකවාදී රාජ්‍යයක් බවට පත්වීම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

“චීන පාලනය දැන් චීන ජාතියේ ශ්‍රේෂඨත්වය සහ චීන පීතෘභූමිය පිළිබඳ පීතෘවාදී සංකල්පය පාසැල් පෙළපොත් තුළට පවා ගෙන ගොස් තියෙනවා. එයින් පෙනෙන්නේ නව ජාතිකවාදය (Neo-Nationalism ) ඒ කියන්නේ ප්‍රධාන ජනවර්ගයේ ජාතිකත්වය මූලික කර ගත් ජාතිකවාදයක් අනුගමනය කරන රටක් බවට චීනය පත්වී තිබෙන බව. ඔවුන් සාම්ප්‍රදායික චීනයේ පැවති අධිරාජ්‍ය සංකල්පය අනුගමනය කරමින් දේශප්‍රේමීත්වය අභිවාදනයට ලක් කරමින් සිටිනවා” මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

නොදියුණු අර්ධ වැඩවසම් රාජ්‍යයක්ව පැවතුනු චීනය ලෝක බලවතකු තත්ත්වයට පත්ව සිටින්නේ විප්ලවයෙන් අනතුරුව කොමියුනිස්ට් පක්‍ෂයේ බල අධිකාරය සහ මෙහෙයුම යටතේය. චීන සමාජ-දේශපාලන සංවර්ධනයේ නව පිම්මක් තීන්දු කිරීමට මග හෙළිකරමින් මාඕ සේතුං විසින් චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භකොට සියවසක් සපිරෙන මේ වසරේ දී එම පක්ෂය මීළඟ ශතවර්ෂයෙහි ගමන් කරන්නේ කුමන දිසාවකට ද? යන්න බලා සිටීම සිත් ඇද ගන්නා මාතෘකාවක් බවට පත්වී ඇත.


1956 න් පසුව චීන-ශ්‍රීලංකා සබඳතා තරවූ අතර හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සභාපති මාඕ සේතුං හමුවූ අවස්ථාවක්

-BBC

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *