ලංකාවේ මානව හිමිකම්වලට එරෙහි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට චීනය මැදිහත් වෙනවා – ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

චීන රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙනයෑම සඳහා සහයෝගය දක්වන බව ඇමෙරිකානු කොංග්‍රසයේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටු සාකච්ඡාවකදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ නිලධාරියෙකු වන ස්කොට් බස්බි ප්‍රකාශ කර ඇත.

ජුනි 09 වැනිදා විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ ආසියා-පැසිෆික් කලාපය පිළිබඳ අනුකමිටුව, කලාපයේ මානව හිමිකම් පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ චීනය කලාපයේ මානව හිමිකම්වලට එරෙහි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට මැදිහත් වෙන බවය. හොංකොං පාලනය බිඳදැමීම, මියන්මාරයේ මිලිටරි කුමන්ත්‍රණයට සහයෝගය දීම, උතුරු කොරියාවට ආර්ථික සහයෝගය දීම චීනය සිදු කළ බවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය පාලනය කඩාවැටීමට චීනය සහයෝගය දක්වන බවය. එවැනි රටවල මානව හිමිකම් වෙනුවෙන් මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වෙනවා මෙන්ම උපායමාර්ගික වශයෙන්ද ඇමෙරිකාවට වාසිදායක වන බව ඔහු කියා ඇත. එම රටවල ජනතාව තමන්ගේ රටවල රජයන්ගේ වගවීම වර්ධනය කිරීමට දිරිමත් වීම ඇමෙරිකාවට ආර්ථික සම්බන්ධතා අතින්ද වාසිදායක වන බවද, ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කරන බවද, ශ්‍රී ලංකාවට අදාල කවුන්සිල කමිටුවට නැවත සම්බන්ධ වීම ඊට උදාහරණයක් බවද ඔහු කියා ඇත.

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ නිලධාරී ඩීන් තොම්ප්සන් මෙසේ පවසා ඇත.

‘ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදය. එරට මැතිවරණ විශාල වශයෙන් සාධාරණ, නිදහස් සහ ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර මැතිවරණ. ඉතිහාසයේ යම් ගැටලු තිබුණත්. අප ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ නායකයන් සමඟ කටයුතු කිරීමට බැඳී සිටිනවා. එහෙත් එරට රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා මිලිටරිමය මැදිහත්වීම් වැඩි වීම සහ සිවිල් සමාජය සීමා කිරීම අභියෝගයක්.

චීන රජය තමන්ගේ ආර්ථික ශක්තිය සහ ලිහිල් බලයක් පාවිච්චි කරමින් කුඩා රටවල කටයුතුවලට මැදිහත්වෙනවා. කුඩා රටවල් වැඩි වශයෙන් මෙම බලපෑමට යටත්. දකුණු ආසියානු රටවල දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් සහ චීනයේ ආර්ථික වුවමනා එකිනෙකට ගැටගැහෙනවා. විශාල වශයෙන් පැතිර ගිය දේශපාලන සහ ආර්ථිකය දූෂණය මේ තත්වය ශක්තිමත් කරනවා. වෙනත් විකල්ප ආර්ථික මූලාශ්‍ර නැති නිසා ආර්ථික වශයෙන් චීන රජය මත යැපෙන දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. චීනය සමඟ දක්වන ආර්ථික සම්බන්ධතා නිසා බොහෝ රටවල ස්වාධීනත්වය සහ ආර්ථික වශයෙන් නිදහස් බව සීමා වී තිබෙනවා.

මෙයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු රජය උපක්‍රමික කටයුතු ගණනාවක් කරනවා. දකුණු ආසියාවේ කටයුතු සඳහා යූඑස්ඒඩ් සහ ඇමෙරිකානු රජය 2020 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 69ක් වැය කර තිබෙනවා.

බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු ආසියානු පරිපාලන වැඩසටහන යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් වැය කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සිවිල් සමාජයේ සහභාගීත්වය වැඩි කිරීම මෙම වැඩසටහන්වල අරමුණ. දූෂණයට මෙන්ම විදේශ රටවල අනවශ්‍ය මැදිහත්වීම්වලට එරෙහි මහජන ප්‍රතිචාර ඉහළ නැංවීම එම වැඩසටහන්වල අරමුණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *