අපිට වාහන ගේන්න ඉඩ දුන්නේ නෑ, දැන් සැප වාහන ආනයනය කරලා – වාහන ආනයනකරුවන්ගේ විරෝධය

ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන් රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා ණයවර ලිපි විවෘත කර තිබියදී, ඒවා නොතකමින් 2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය නැවැත්වූ රජයක් දැන් ණයවර ලිපි විවෘත කර හමාර බව කියමින් සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට උත්සාහ ගැනීම ගැන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විරෝධය දක්වයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ මීට පෙර හදිසියේ වාහන ආනයනය නතර කිරීමේ තීන්දුව ආණ්ඩුව ගත් මොහොතේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන් විශාල පිරිසක්ද ණයවර ලිපි විවෘත කර තිබුණු බවත්, ආනයන තහනම නිසා ඒ සියලුදෙනා අපහසුතාවට පත් වූ බවත්ය. ණයවර ලිපි විවෘත කර ඇති ආනයන සඳහා අවසර ලබා දෙන ලෙස තම සංගමය එම කාලසීමාවේ ඉල්ලුවද, එයට අවසර නොලැබුණු බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

එම කාලසීමාවේ තම සංගමයේ සාමාජිකයන් විවෘත කර තිබුණු රුපියල් බිලියන 5.2ක් වටිනා ණයවර ලිපි 216ක් අත්හැර දැමූ බවත්, එයින් තම සංගමයේ සාමාජිකයන්ගේ ව්‍යාපාර සම්බන්ධතාවලට හානි සිදු වූ බවත් එම සංගමය පෙන්වාදෙයි. පෞද්ගලික වාහනවලින් ගමනාගමනය අත්‍යවශ්‍ය වූ කාලසීමාවක රජය වාහන ආනයනය සීමා කළ බවත්, එලෙස ආනයනය සීමා කිරීමෙන් පසු පාවිච්චි කළ වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වූ පාරිභෝගිකයන් අපහසුතාවට පත් වූ බවත් එම නිවේදනයේ සඳහන්ය.

සුඛෝපභෝගී ටොයොටා ලෑන්ඩ් කෲසර් රථ 227ක් ඇතුළු වාහන 400ක් බදු සහන ලබාදෙමින් ආනයනය කිරීමට රජය පසුගිය කාලසීමාවේ උත්සාහ ගත් අතර ඒ සඳහා මැයි 18 වැනිදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් එම කැබිනට් පත්‍රිකාවට විරෝධය එල්ල වූ නිසා මැයි 24 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කැබිනට් පත්‍රිකාව සම්මත කර නොගැනීමට තීන්දු කළේය.

කෙසේ වෙතත් ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණේ වාහන ආනයන සඳහා අප්‍රේල් මාසයේදී ලංකා බැංකුව වාහන ආනයන සඳහා රුපියල් බිලියන 3.7ක් වටිනා ණයවර ලිපි විවෘත කර හමාර නිසා දැන් ආනයනය නතර කළ නොහැකි බවය.

එයට පුළුල් විරෝධයක් එල්ලවීමෙන් පසු ජුනි 11 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා තිබුණේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ආනයනය කිරීමට නියමිතව තිබුණු වාහන අතරින් ලෑන්ඩ් කෲසර් 227ක ප්‍රමාණය ආනයනය පමණක් අත්හිටුවීමට එකඟ වූ බවය. ඒ අනුව ටොයොටා හයිලුක්ස් ඩබල් කැබ් 17ක්, ටොයොටා ලෑන්ඩ් කෲසර් වී8 රථයක්, ටොයොටා හයිලුක්ස් ඉන්ටකූලර් රථ 51ක් සහ ටොයොටා ඇම්බියුලන්ස් රථ 50ක් ආනයනය කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *