කොවිඩ් එන්නත්කරණ ක්‍රමවේදයට පටහැනිව චක්‍රලේඛයක් ගහලා – GMOA

එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි අයට, ගර්භණී මාතාවන්ට, වයස අවුරුදු 60ට අඩු බෝ නොවන රෝගවලින් පෙළෙන අයට, රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට උපකාරවන අයට සහ අවුරුදු 30-60ත් අතර අයට ප්‍රමුඛතා ලේඛනය අනුව එන්නත ලබාදීම සඳහා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබියදීත් ඊට පටහැනිව ක්‍රියාකරමින් වසංගත රෝග විද්‍යා ඒකකය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හා ජාතික උපදේශන කමිටුව මගින් ද එන්නත්කරණය සම්බන්ධයෙන් අනුමත කර ඇති ක්‍රමවේදය හා සමාන ක්‍රමවේදයක්, වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්ගේ ද අදහස් අනුව සකසා, වසංගත රෝග විද්‍යා ඒකකය වෙත මෙන්ම ජනාධිපතිවරයා වෙත ද තම සංගමය මගින් ඉදිරිපත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

ජාතික උපදේශන කාරක සභාව විසින් අනුමත කරන ලද එන්නත්කරණ වැඩපිළිවෙළට සමගාමීව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසංගත රෝග විශේෂඥයන්ගේ ද සහාය ඇතිව විද්‍යාත්මක පදනමින් පිළියෙල කරන ලද ක්‍රමවේදය නොසලකාහරිමින්, වසංගත රෝග විද්‍යා ඒකකය විද්‍යාත්මක නොවන වැඩ කරමින් මෙසේ චක්‍රලේඛයක් නිකුත් කිරීමෙන්, එන්නත්කරණයේදී දේශපාලනඥයන්ට ඒවා බෙදන ක්‍රමවේදයකට මාර්ගය විවරකර ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ඇතුළු තවත් දෙදෙනෙකු විසින් විද්‍යාත්මක නොවන අන්දමින් මේ අයුරින් දිගින් දිගට ම කටයුතු කිරීම හරහා, කොවිඩ් පාලනය කරගත නොහැකිව මුළු රට ම භයානක අනතුරකට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකය තුළ, එම ඒකකයේ ප්‍රධානියා ඇතුළු අනෙක් දෙදෙනා තවදුරටත් තබාගැනීමෙන් කොවිඩ් පාලනය කර ගැනීමේදී ඔවුන් හරහා සිදුවන අනිටු විපාක තම සංගමය විසින් දිගින් දිටග ම පෙන්වා දෙමින් සිටියදී, ඔවුන් ආරක්ෂා කරන අදිසි හස්තයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හෝ ඉන් පිටත ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කරන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, සෞඛ්‍ය බලධාරීන්ට ඉහළින් ක්‍රියාත්මක වන එම අදිසි හස්තයට තවදුරටත් මොවුන් රැකීමට ඉඩදුනහොත්, කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහීයෑම අනිවාර්යයෙන්ම සිදුවන බවට අනතුරු අඟවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *