රටවල් 149ක් අතුරින් සතුටින්ම ඉන්න ජනතාව සිටින රටවල් ලැයිස්තුවේ 129 වැනි ස්ථානය ලංකාවට

වත්මන් ලෝකය කොතෙක් දියුණු වී තිබුණ ද කෙතරම් සැප සම්පත් තිබුණ ද මිනිස් ජීවිතය යනු එක්තරා ආකාරයකට දුකින් පිරුණු සිදුවීම් සම්භාරයක එකතුවකි. ජීවිතයේ කිසියම් අවස්ථාවකදී තාවකාලිකව හෝ සතුට අත්විඳින්නට, සතුටින් සිනාසී ඉන්නට මිනිස් ජීවිතවලට අවස්ථාව උදා වේ. මේ සතුට පදනම් කරගනිමින් සතුට සැමරීමට “ජාත්‍යන්තර සතුටු දිනය” ලෙස ලෝක කැලැන්ඩරයේ දිනයක් වෙන් වී තිබෙන බව ඔබ දන්නවාද? ඒ සෑම වසරකම මාර්තු මස 20 වැනි දිනයයි. සෑම වසරකදීම මේ “ජාත්‍යන්තර සතුට දිනය” වෙනුවෙන් ලොව රටවල් 149ක් අතුරින් සතුටින්ම ඉන්න ජනතාව සිටින රට තෝරනු ලැබේ. මීට අදාළව සතුටු වාර්තාවක් සෑම වසරකදීම නිකුත් කරනු ලැබේ.

මේ සතුටු වාර්තාව නිකුත් කරනු ලබන්නේ ලියෝඩ්ස් රෙජිස්ටර් (Liyod’s Register) නම් පදනම මඟිනි. මේ සතුටු වාර්තාවේ සංස්කාරක ලෙස කටයුතු කරන්නේ බ්‍රිතාන්‍ය කොලොම්බියා සරසවියේ මහාචාර්ය ජෝන් එෆ්. හෙළිවෙල් (John F. Helliwell) මහතායි.

සතුටු වාර්තාවේ ප්‍රතිඵලය දෙස බලන විට පෙනී යන්නේ, මිනිස් සිතේ සතුට රඳා පවතින්නේ අහස උසට තියෙන ගොඩනැඟිලි තුළවත් ස්වභාවධර්මය පරදන තාක්ෂණය තුළවත් දස දිග ඇදෙන අධිවේගී මාර්ග තුළවත් හෝ නිතර අප අත රැඳෙන ජංගම දුරකතන තුළවත් නොවන බවයි. සතුට මැනිය හැක්කේ රටවාසීන්ගේ සාපේක්ෂ සමෘද්ධිමත් බව හා රටවැසියන්ට සතුට දැනෙන ආකාරය හා ඊට හේතුවන කරුණු මූලික කර ගනිමිනි.

මෙවර සතුටු වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ නම වැනි වරට වන අතර වෙනත් වසරවලදී සිදු කළ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීම මෙවර නොහැකි විය. ලෝකය තුළ පවතින වසංගත තත්ත්වය මූලික කර ගනිමින් වෙනත් වසරවලදී සැලකූ නිර්ණායකවලට අමතරව මේ වසර තුළදී යහපැවැත්ම හා කොවිඩි – 19 අතර සම්බන්ධතාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබේ.

“ජාත්‍යන්තර සතුටු වාර්තාව ” සැකසීමේදී ඒකපුද්ගල ආදායම, සමාජීය සහයෝගිතාව, ජනතාවගේ සෞඛ්‍යසම්පන්න බව, ජනතාවගේ ආයු අපේක්ෂාව, සමාජයේ පවතින නිදහස, ත්‍යාගශීලී බව මෙන්ම දූෂණයෙන් තොර සමාජයක් පැවතීම වැනි මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඉහත සාධක අනුව යමින් සිව්වැනි වරටත් මෙවර සතුටින් ජීවත් වන ජනතාව සිටින රට ලෙස ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ ෆින්ලන්තයයි. ඒ ලකුණු 10න් ලකුණු 7.842ක අගයක් ගනිමිනි. දෙවන ස්ථානය ඩෙන්මාර්කය දිනාගත්තේ ලකුණු 7.620ක් ගනිමිනි. තෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තය 7.571ක් ද සිව්වැනි ස්ථානය අයිස්ලන්තය 7.554ක් හා පස්වැනි ස්ථානය නෙදර්ලන්තය 7.464ක් ද ලකුණු ගෙන තිබිණි.

විශේෂිතම කරුණක් වන්නේ මෙවර සතුටු වාර්තාව සැකසීමේදී ඒ ඒ රටවල්වල පදිංචි වී සිටින සංක්‍රමණිකයන් මඟින් තමන් දැනට ජීවත්වන රටේ සංක්‍රමණික රෙගුලාසි අනුව ඔවුන් ජීවත් වන ආකාරය පිළිබඳ අදහස් විමසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංගමය කටයුතු කර තිබේ. ඒ අනුව ලොව ප්‍රීතිමත්ම සංක්‍රමණිකයන් සිටින රට බවට පවත්වන්නේ ද ෆින්ලන්තයයි. වාර්තාවලට අනුව අඩුම සියදිවි නසා ගැනීම් මෙන්ම මානසික ආතතිය අඩුම මිනිසුන් ජීවත් වන්නේ ද මේ රට තුළයි.

ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ අග සිට 20 ස්ථානයයි. එනම් රටවල් 149ක් අතුරින් 129 වැනි ස්ථානයයි. ඉන්දියාව 139 වැනි ස්ථානය පවතින අතර සතුටු වාර්තාවේ අවසානයේ සිටින්නේ ඇෆ්ගනිස්තානයයි.

කෙසේ වෙතත් ජීවිතය යනු දුක, සතුට නමැති තරාදියේ දෝලනය වන තවත් එක් දෙයක් පමණක් වුවත් සතුට තිබෙන්නේ තම තමන්ගේ හදවත්වලයි. ලෝකය විවිධ නිර්ණායක යටතේ රටවල් වර්ගීකරණය කරනු ලබයි. නමුත් සතුටින්ම සිටින රටවල් හා අසතුටින්ම සිටින රටවල් ලෙස දෙපිළකට ලොව වර්ගීකරණය කිරීමට සිදු වීම එක්තරා අතකින් දුකට කාරණාවකි. ලොව අසතුටින්ම සිටින රට ලෙස සතුටු වාර්තාවට ඇතුළත් වී සිටින ඇෆ්ගනිස්ථානය ද ලොව සතුටින්ම සිටින රටවල් ගොන්නට ඇතුළත් කිරීමට හැකි වන දිනට මෙලොව අදට වඩා සුන්දර වනු ඇත. ෆින්ලන්ත වැසියන් මෙන්ම සියල්ලටම එදිනට සතුටු සිනා හදවතින්ම නඟන්නට හැකිවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *