ඉන්දියාව “ලක්ෂ ද්වීපය”ට ගිනි තියයි

ඉන්දියාව "ලක්ෂ ද්වීපය"ට ගිනි තියයි

ඉන්දියාව "ලක්ෂ ද්වීපය"ට ගිනි තියයි

ලක්ෂ දීවීපය ඉන්දියාවට අයිති යූනියන් ප්‍රාන්තයක්. ප්‍රාන්තයේ නම ලක්ෂ ද්වීපය වුවත් සත්‍යය දූපත් ගාන 32කි. මෙයින් ජනතාව ජීවත් වන්නේ දූපත් 10 ක පමණි. ජනගහනය 65,000 වන අතර, ඉන්දියානු යූනියන් රජය මඟින් පත්කරන පරිපාලන නිලධාරියෙකු විසින් පාලනය කරනු ලබයි. 2020 වන තෙක් පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිලධාරීන් මෙම පරිපාලන නිලධාරී තනතුරට පත්කරනු ලැබ කිසිම ප්‍රශ්නයකින් තොරව මෙම යූනියන් ප්‍රාන්තය පාලනය කර ඇත. ඉන්දියාවේ අපරාධ අඩුම ප්‍රාන්තය මෙය වන අතර 80% පමණ ජනතාව ධීවර කර්මාන්තයේ යෙදෙයි. මෙහි කතා කරන භාෂාව කේරළ ප්‍රාන්තයේ මලයාලම් භාෂාව වන අතර චීනය සමග දීර්ඝ කාලීනව සබඳතා පවත්වාගෙන යයි.

2020 දෙසැම්බර් මාසයේදී පළමු වතාවට පරිපාලන නිලධාරියෙක් වෙනුවට ආණ්ඩු පක්ෂ දේශපලනඥයෙකු වන ප්‍රෆුල් ගෝඩා පටිල් පරිපාලන නිලධාරියා ලෙස පත් කරනු ලැබීය. පරිපාලන නිලධාරීන් පත් කිරීමේ සම්ප්‍රදායට විරුද්ධව පටිල් මීට සමාන තනතුරකට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙර පරිපාලන නිලධාරියා ලෙස ඔහු පත් වූ සියලු තැන් වල මතභේදාත්මක ක්‍රියාවලියන් සහ ගැටලු රාශියක් ඇති කර තිබිණි.

ලක්ෂද්වීපයට පටිල් පැමිණීමට ප්‍රථම එහි කිසිදු කොරෝනා රෝගීන් වාර්තා වී තිබුණේ නැත. නමුත් පටිල් පත්වූ වහාම ඇතිකළ නිරෝධායන නීති සංශෝධන නිසා දැනටමත් 7,000 කට වැඩි පිරිසක් එනම් ජනගහනයෙන් 10% ට වැඩි පිරිසක් කොරෝනා රෝගය වැළඳී පීඩාවට පත්ව සිටී. පෙබරවාරි මාසයේදී දැඩි මතධාරී හින්දු ආහාර රටාවන් පාසල්වල අනිවාර්ය කරන ලදී. නමුත් ලක්ෂ ද්වීප හින්දු ජනතා ප්‍රතිශතය 3% ටත් අඩු අගයක් ගනී. ඊට අමතරව ලක්ෂ ද්වීපයේ ප්‍රධාන ආහාරයක් වූ ගවමස් තහනම් කළ අතර, ලක්ෂද්වීපයේ තිබෙන එකම ඡන්දය වන පංචායත් ඡන්දයට දරුවන් දෙදෙනෙකුට වඩා ඇති පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් විය නොහැකි බවට නීති පනවන ලදී. කේරළ ප්‍රාන්තය සමග නැව් ගමනාගමනය තහනම් කර සියලු නැව් ගමනාගමන කටයතු කර්නාටක ප්‍රාන්තය සමඟ පැවැත්විය යුතු බවට තීරණය කරන ලදී. පඩි වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ සෞඛ්‍ය සේවිකාවන් සේවයෙන් පහ කර අත්අඩංගුවට ගැනු ලැබීය. ඔහු ඉදිරිපත් කළ ලක්ෂ ද්වීප සංවර්ධන අධිකාරි රෙගුලාසිය (Lakshadweep Development Authority Regulation – LDRA) ඉතා බරපතළ ලෙස ජනතා කැළඹීමක් ඇති කිරීමට සමත් වුණි.

LDRA රෙගුලාසි ඉදිරිපත් කරන්නේ ජනතාව නිරෝධායන ඇඳිරි නීතිය යටතේ තබා ගෙනයි. මෙම රෙගුලාසිය අනුව පිටස්තර පුද්ගලයින්ට ලක්ෂද්වීපයේ ඉඩම් මිලදී ගැනීමට තිබුණු තහනම ඉවත් කෙරුණි. අත්අඩංගුවට පත්වී ඇති සෞඛ්‍ය සේවිකාවන් පෙන්වා, අපරාධකරුවන් වැඩි ප්‍රදේශයක් බව හුවා දක්වමින්, ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන හේතු නොදක්වා අවුරුද්දක් රඳවා තබා ගැනීමට හැකිවන පරිදි රෙගුලාසි මෙය තුල අඩංගු කර ඇත. රජයේ සංචාරක ව්‍යාපාර යටතේ රැකියා කරමින් සිටි සියලු දෙනා රැකියාවෙන් පහ කර දමා ඇත. වෙරළ ආරක්ෂණ නීති යටතේ වෙරළේ ධීවර ආම්පන්න තැබීම තහනම් කර ඇති අතර, මෙම නීතිය නිසා ජනගහනයෙන් සියයට අසූවක් වූ ධීවරයා දැඩි බලපෑමට පත් වී සිටී.

වැල්ලේ තබා තිබූ බෝට්ටු සහ ධීවර ආම්පන්න විනාශයට පත් කිරීම නිසා හඬා වැළපෙන ධීවරයෙකුගේ වීඩියෝවක් පළවීමත් සමග ලක්ෂ ද්වීපයට අමතරව ඉන්දියාවේ සහ ලොව නන්දෙසින් ජීවත් වන ප්‍රජාතන්ත්‍රවාදයට ගැති පුද්ගලයින් සහ ක්‍රියාකාරිකයන් මෙම සංවාදයට ඇතුළු වී සිටී.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *