ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස Eco Spindles ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලයි

දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL හෝල්ඩින්ග්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Eco Spindles මෙවර ලෝක පරිසර දිනයේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙවර ලෝක පරිසර දින තේමාව වන ‘‘පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම’’ යන්න තුළින් දැඩිව අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම මුහුණ දෙන තීරණාත්මක ගැටලූවක් වන ප‍්‍රමාණාත්මක වශයෙන් සීඝ‍්‍රයෙන් ක්ෂය වෙමින් පවතින පරිසර පද්ධතිය සඳහා විසඳුමක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවයි.

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සඳහන් කරන්නේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණක් බවයි. මෙයින් 15%කට ආසන්න ප‍්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් වේ. තවත් 10%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන අතර 75%ක් කසළ රැඳවුම් අංගනවලට දමනු ලැබේ. ‘‘අප ආයතනය දෛනිකව ප්ලාස්ටික් බෝතල් 360,000 වඩා වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබනවා. හරිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී අප ලබා දෙන දායකත්වය පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වන අතරම වගකීම් විරහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් ඇති වන අහිතකර බලපෑම පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුයි. පුදුම සහගත ලෙස පරිහානියට පත් පරිසර පද්ධතියට හැකි ඉක්මනින් ජීවයක් එක් කිරීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන ලෙස ලොව පුරා සිටින ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේය.

 

මේ වසරේ පරිසර දින තේමාව අනුව යමින් සහ සිය කාර්යභාරය මැනවින් ඉටු කරමින් සිටින වගකිව යුතු සමාගමක් ලෙස BPPL සමූහය කොවිඞ්-19 වසංගතයේ අවදානමත් සමඟ පැන නැගුනු අභියෝග හමුවේ වුවද පසුගිය වසර පහ පුරාවට කසළ කළමනාකරණ වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වී සිටී. දිවයින පුරා බැතිමතුන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇති ආගමික සිද්ධාස්ථාන වන ශ්‍රී පාදය, කතරගම හා තලවිල ඔවුන්ගේ ප‍්‍රධාන කසළ එකතු කිරීමේ ව්‍යාපෘතීන් තුනක් ලෙස පෙන්වා දිය හැකිය. කෙසේවෙතත් මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සෑම වසරකම උත්සව සමය තුළදී මිලියන ගණනක ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීම් විරහිත ලෙස බැහැර කරනු ලබයි. මෙය බරපතල පාරිසරික ගැටළුවක් ලෙස හඳුනාගත් BPPL සමූහය වගකීම් විරහිතව පරිසරයට මුදා හරිනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ශ්‍රී පාදය, කතරගම හා තලවිල කසළ කළමනාකරණ වැඩසටහන් ආරම්භ කරන ලදී.

අභයභූමියක පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය රටට ආවේණික ජෛව විවිධත්වයෙන් 8%ක් සඳහා නිවහන සපයනු ලබන අතර ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ගංගාවල ආරම්භය ද සනිටුහන් කරයි. 2019 දී මිලියන දෙකට වැඩි පිරිසක් ශ්‍රී පාදය වැදපුදා ගෙන ඇත. 2020/21 වන්දනා සමයේදී ඉකෝ ස්පින්ඞ්ල්ස් සමඟ ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව සහ නල්ලතන්නිය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය 45,000කට වඩා වැඩි ප‍්‍රමාණයක් එකතු කරගන්නා ලදී.

තවත් ස්ථානයක් වන කතරගම පිහිටා ඇත්තේ රටේ පාරිසරික වශයෙන් වැදගත් පරිසර පද්ධතියක් තුළ වන අතර ජාතික උද්‍යාන හා වන්දනාකරුවන්ගේ ගරු බුහුමනට ලක්ව ඇති පූජනීය ස්ථූපයක් ද එහි පිහිටා ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම හරියාකාරව සිදු නොකිරීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ජලමාර්ග අවහිර වීම හා සතුන්ගේ වාසභූමි ඉහළ යෑමක් දක්නට හැකිය. කොකා-කෝලා සමාගම, කතරගම සොබා මිතුරු යෞවන සමාජය, කතරගම ප‍්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) ආදී පාර්ශවයන්ගේ හවුල්කාරීත්වය සමඟ BPPL සමූහයට 2020 දී PET ප්ලාස්ටික් බෝතල් 30,000ක් එකතු කර ගැනීමට හැකි විය. මීට අමතරව 2019 දී පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ කොකාකෝලා සමාගමේ හවුල්කාරීත්වයෙන් තලවිල ශාන්ත ආනා දෙව්මැදුර පිහිටි භූමි ප‍්‍රදේශයෙන් ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගමට PET ප්ලාස්ටික් බෝතල් 111,000ක් එකතු කර ගැනීමට හැකි විය.

 

කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සංචාරක කර්මාන්තය බිඳ වැටීම හේතුවෙන් රට තුළ එකතු කරන ලද PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය 30%කින් අඩු වී ඇති බව ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගම සඳහන් කළේය. මෙය මිනිසුන් විසින් රට පුරා සංචාරය කිරීමේදී ගෙන එනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිබඳව කෙරෙන එක්තරා ඇඟවීමකි. කොවිඞ්-19 හේතුවෙන් ජනතාවට රට පුරා සංචාරය කිරීමට නොහැකි වීම නිසා බැහැර කරන PET ප්ලාස්ටික්වල පැහැදිලි අඩු වීමක් දක්නට ඇත. ‘‘පසුගිය මාස කිහිපය තිස්සේ පාර දෙපස හා ජල මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අඩුවීමක් දක්නට ලැබීම තුළින් අප කොපමණ අපද්‍රව්‍ය බැහැර කරනවාද යන්න පිළිබඳව පැහැදිලි සංඥාවක් අපට ලබා දෙනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැක්කේ ඒවා නිසි පරිදි බැහැර කිරීමෙන් පමණක් බව අප වටහා ගත යුතුයි. අපගේ හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ‍්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් විශාල ජාලයක් පිහිටුවීමට අපට හැකිව තිබෙනවා. කරුණාකර ඔබගේ ප්ලාස්ටික් මෙම බඳුන්වලට දමන්න, එය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට අපි වග බලා ගන්නෙමු.’’ යනුවෙන් ආචාර්ය අමරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

“Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම Google Play හෝ App Store වෙතින් දැන් ලබා ගත හැකි අතර නිසියාකාරව කසළ බැහැර කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකුට දිවයින පුරා ඇති කසළ බඳුන් 300කට පමණ ඒ සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමට මෙමගින් හැකියාව ලබා දෙයි. මේ තුළින් ඔවුන් බැහැර කරනු ලබන කසළ එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොමු කරනු ඇති අතර අපතේ යාමක් සිදු නොවේ.

නිවෙස්වල සිට කසළ බැහැර කිරීමේ නිසි ක‍්‍රමවේද ඉගෙන ගැනීමට හා ක‍්‍රියාත්මක කිරීමට මෙම වසංගතය අපට කදිම අවස්ථාවක් ලබා දී ඇත. වගකිව යුතු ප‍්‍රතිචක‍්‍රීයකරණය හා කසළ වෙන්කිරීමේ ක‍්‍රමෝපායන් මගින් ප්ලාස්ටික් කසළවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා උපකාරී වන කසළ එකතු කිරීමේ විශාල ජාතික ප‍්‍රයත්නයන් කරා අපව රැගෙන යනු ඇත.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *