කොරෝනා ‘සුළු උණක්’යැයි කියා පාලනයට පියවර නොගත් බ්‍රසීල ජනපතිට එරෙහිව වැසියෝ වීදි බසිති

හාර ලක්ෂ හැට එක්දහසකට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බ්‍රසීලයේ දහස් ගණනක් වැසියෝ එරට ජනාධිපති ජේර් බොල්සනාරෝට එරෙහිව වීථි බැස විරෝධතාවල නිරතව සිටිති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට චෝදනා කරමින් ජනතාව එලෙස ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් විරෝධතාවල නිරතව සිටින බවයි.

මුව ආවරණ පැළඳ 10,000කට අධික ජනතාවක් රියොද ජැනයිරෝ නුවර වීථීවල පෙළපාළියේ යමින් ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණවල නිරතව සිටින අතර ”බොල්සනාරෝ ජන සංහාරය” සහ ”බොල්සො වෛරසය ඉවත්වන්න” වැනි පාඨ කියමින් ජනතාව විරෝධතාවේ නිරත වන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මීට අමතරව අනෙකුත් ප්‍රධාන නගර ඇතුළු නගර රැසක ද ජනතාව විරෝධතාවල නිරතව සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇතැම් විරෝධතා පෙළපාළිවලට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බවයි.

වසංගතය ආරම්භයේ සිටම බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් -19 ‘සුළු උණක්’ ලෙස හඳුන්වා දෙමින් ඒ් පිළිබඳව නිසි සැලකිල්ලක් යොමු නොකළ අතර පසුව ක්‍රමයෙන් රට පුරා වෛරසය පැතිර යමින් ආසාදිතයින් මෙන්ම මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය.

නිරෝධානය කිරීම, මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම, සංචරණ සීමා පැනවීම ආදී මුළු ලෝකයක් වෛරස පාලනය සඳහා යොදා ගත් කොවිඩ් මාර්ගෝපදේශ කිසිවක් ඔහු මායිම් නොකළේ ය.

වෛරසය නිසා දිනෙන් දින එරට වැසියන් මරු තුරළට යද්දී, මිය යන ජනතාව මිහිදන් කිරීමට සොහොන් බිම්වල ඉඩ කඩ පවා ප්‍රමාණවත් නොවෙද්දී වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස් වූ පසුබිමක් තුළ බොල්සනාරෝ රජය කොවිඩ් එන්නත් ඇණවුම් කිරීමට පවා නිසි කල නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල විය.

මේ වනවිට එරට සෙනෙට් කොමිසමක් විසින් මේ වනවිට කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක ය.

ලොව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අතින් තෙවන ස්ථානයේ (16,471,600) පසුවන බ්‍රසීලය මරණ (461,142 )වාර්තාවීම අතින් පසුවන්නේ දෙවන ස්ථානයේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *