සරත් වීරසේකරගේ තවත් බොරුවක්? පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් බව එෆ්බීඅයි කියා නෑ

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු භූමිකාව ඉටු කර ඇත්තේ මොහොමඩ් නවුෆර් නම් මවුලවිවරයා බව ඇමෙරිකාවේ විමර්ශනවලිනුත් තහවුරු වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය බව වාර්තා වේ.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් අනුව මොහොමඩ් නවුෆර් මවුලවිවරයා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ දෙවැනි එමීර්වරයෙකු ලෙස කටයුතු කර ඇති බව එෆ්බීඅයි ආයතනය හඳුනාගෙන තිබේ.

බි්‍රටෑනිකා විශ්වකෝෂයේ සඳහන්වන ආකාරයට අරාබි සංස්කෘතියේ නිල මට්ටම් අනුව ඔහු දෙවැනි එමීර් යන යෙදුම දෙවැනි මට්ටමේ අණ දෙන නිලධාරියෙකු හෝ දෙවැනි පෙළ කුමාරයෙකු හැඳින්වීමට යොදා ගනී. අණ දෙන නිලධාරියෙකු හෝ කුමාරයෙකු හැඳින්වීමට යොදා ගන්නේ එමීර් යන යෙදුමය. මෙම කණ්ඩායමේ එමීර්වරයෙකු බව එෆ්බීඅයි ආයතනය සඳහන් කර නොමැත.

ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය, කැලිෆෝනියාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් එක්ව පවත්වාගෙන යන ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කාර්යසාධක බලකාය මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහම්ඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් අධිකරණය ඉදිරියේ පසුගිය දෙසැම්බර් 11 වැනිදා නඩු පවරා තිබුණි.

මැයි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ උක්ත විශේෂ ප්‍රකාශය අතරතුර ‘නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව එෆ්බීඅයි එකෙනුත් සනාථ කොට තිබෙනවා.’ යනුවෙන් අමාත්‍ය සරත් වීරසේකර කියා තිබුණි.

එසේ වුවද ලොස් ඇන්ජලීස් අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති නඩුව අනුව ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ මතවාදය ප්‍රචාරය කිරීමට නායකත්වය දීම, පුද්ගලයන් බඳවාගැනීම, මිලිටරි පන්නයේ පුහුණුවීම් ලබාදීම යන චෝදනා මොහොමඩ් නවුෆර්ට එරෙහිව ගොනු කර තිබුණි. ප්‍රහාරයට පසුබිම් වූ මතවාදය පැතිරවීම සහ පුහුණුවීම් ලබාදීම මිස ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීමට නායකත්වය දුන්නේ ඔහු බව එම චෝදනා අතර සඳහන්ව තිබුණේ නැත.

මීට පෙර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාද ප්‍රකාශ කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවක් මොහොමඩ් නවුෆර් මවුලවිවරයා ඉටු කර තිබුණත් ඔහු ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගත නොහැකි බවය.

-anidda

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *