රුපියල් 5,000 දීමනාව ජූනි මස 2 වැනිදා සිට නැවතත්

සමෘද්ධිලාභීන් – රජයේ දීමනා ලබන්නන් – ආදායම් අහිමි වූවන් – අඩු ආදායම්ලාභීන් කාණ්ඩ 4කට ප්‍රතිලාභ

පවතින කොරෝනා තත්ත්වය සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට එළැඹෙන ජූනි මස 2 වැනිදා සිට රුපියල් 5,000 දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටී නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත්, පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වූවන් සිටී නම් එම පුද්ගලයන්ටද මේ දීමනාව දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 28වන දින පැවති මාධ්‍ය හමුවේදී සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙවර රුපියල් 5,000සේ දීමනාව දීම සඳහා රජය රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බවත් සමෘද්ධිලාභීන්ට, කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට, මේ වන විටත් කුමන හෝ රජයේ දීමනාවක් හිමි වන පුද්ගලයන්ට සහ හඳුනා ගත් අඩු ආදායම්ලාභීන් යන කාණ්ඩ හතර යටතේ මේ දීමනාව දෙන බවද හෙතෙම කීවේය.

මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට දීමට සිදු වන බවත් මේ දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගල‍න්ට දීම කරනු ලබන බවත් සේමසිංහ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා හේතුවෙන් විවෘතව තැබීමට අවසර හිමි වන්නේ ඖෂධ අලෙවිසල්වලට පමණක් බවත් යම් අයකුට නිවෙසට ළඟම ඇති ඖෂධ අලෙවිසල් වෙත යෑමට අවසර හිමි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා එහිදී කියා සිටියේය.

එහෙත් යම් පුද්ගලයකු අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඔහු හෝ ඇය රෝහල් ගත කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඒ සඳහා තමන්ගේ වාහනයක් හෝ කුලී රථයක් යොදා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *