විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අත්තනෝමතික ක්‍රියා නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් – පාසල් සුරැකීමේ ව්‍යාපාරය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයේ ගැටළු රැසක් මතුව ඇති බවත් ඊට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මාධ්‍ය නිවේදයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදය නිකුත් කර ඇත්තේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු උසස් අධ්‍යාපනයට අදාලව තීන්දු තීරණ ගන්නා බලධාරීණගේ අවධානය යොමු කරවමිනි.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමිගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පලවේ.

අප රටේ සරසවි අධ්‍යාපනයට අදාලව තීරණ ගන්නා ප්‍රධානතම ආයතනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි. වර්තමානය වන විට එම ආයතනය විසින් ගෙන තිබෙන අත්තනෝමතික තීන්දු නිසා සරසවි ප්‍රවේශයට අදාලව ගැටලු ගණනාවක් මතුව ඇත. ඒ අතර 2019/2020 අධ්‍යයන වර්ෂ හා 2020/2021 අධ්‍යයන වර්ෂයන්හි විභාගය සමත් සිසුන් හට අසාධාරණකම් රැසක් සිදු වී ඇත.

2019/2020 අධ්‍යයන වර්ෂයන්ට අදාලව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වූයේ නව හා පැරණි විෂය නිර්දේශයන් දෙක යටතේය. ඒ අනුව Z අගය නිකුත් කිරීම, සරසවි සඳහා බඳවාගැනීම ආදිය සිදු වූයේ ද කොටස් දෙකක් ලෙසය. මෙවැනි විශේෂ අවස්ථාවන්හි අනුගමනය කළ යුත්තේ කිනම් ක්‍රියාමාර්ග ද කියා ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම කිසිදු උදාහරණයක් සැලකිල්ලට නොගෙන අත්තනෝමතික ලෙස සංයුක්ත මධ්‍යන අගය නම් වැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම නිසා ඉහළ සුදුසුකම් ඇති විශාල සිසුන් ප්‍රමාණයකට සරසවි ප්‍රවේශය අහිමි විය.

එපමණක් නොව සරසවි ප්‍රවේශය ලැබූ සිසුන්ට ද හැදෑරීමට සිදුව ඇත්තේ අගයෙන් අඩු පාඨමාලාවන්ය. තවද ඉහත වැරදි ක්‍රමවේදය මත සරසවි බඳවාගැනීම් සිදු කළ නිසා තාක්ෂණවේදය යටතේ පෙනී සිටි සිසුන්ට මේ වන විට තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගැනීමට සිදුව ඇත. තවමත් 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාලව සිසුන් සරසවි බඳවාගැනීම් සිදු කර අවසන් නොමැති අතර සිසුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ පැලැස්තර විසඳුම් සෙවීමට බලධාරීන් උත්සාහ කළා විනා අසාධාරණයට පත් සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට සමත් වී නොමැත.

පෙර වසරවල සිදුවීම් අත්දැකීමක් කරගෙන ඉදිරියට එවැනි ගැටලු ඇති වීම වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබුන ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තවදුරටත් ක්‍රියා කරමින් සිටින්නේ අත්තනෝමතික ලෙස‍ය. ඒ කෙසේද යත් 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ද උසස් පෙළ විභාගය පැවැත්වූයේ නිර්දේශ දෙකක් යටතේය. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම Z අගය ගණනය කිරීම හා සරසවි බඳවාගැනීම ද සිදු වන්නේ වෙන වෙනම ය. මෙම වසරේ ද එම කටයුතු සිදුවන්නේ සංයුක්ත මධ්‍යන අගය නම් වැරදි ක්‍රමවේදයට අනුව ය. එම නිසා මෙම වර්ෂයේ සිසුන්ට ද පෙර වර්ෂයේ මෙන් අසාධාරණකම් රැසකට මුහුණදීමට සිදුවේ. මන්ද ඔවුන් තවමත් තමන්ට ලැබුණ ප්‍රතිඵලයට අනුව කිනම් විශ්වවිද්‍යාලයක් සඳහා සුදුසුකම් ලැබුවේ ද යන්න නොදනී. පෙර වසරේ අත්දැකීම් අනුව ඔවුන්ට තීරණය කිරීමට ද යම් අපහසුවක් ඇත.

බලධාරීන්ගේ පරිපාලන ගැටලු නිසා මේ වන විට සරසවිය ප්‍රවේශය ලැබූ සිසුන්ට මතුව ඇති තවත් ගැටලුවක් වන්නේ 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාලව උසස් පෙළ විභාගය ඉහළින් සමත් වුවද තමන් අභිමත විශ්වවිද්‍යාලයේ අභිමත පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට නොහැකි වීමය. ඒ මොහොතේ තිබුණු තත්ත්වය අනුව යම් විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වුවත්, ඇතැම් විශ්වවිද්‍යාලයන්හි තවමත් නිසියාකාරයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ වී නොමැත. එවැනි පසුබිමක එම සිසුන් 2020/2021 අධ්‍යයන වර්ෂයට අදාලව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළ ප්‍රතිඵලයන් ලබාගෙන ඇත. දැන් එම සිසුන්ගේ ඉල්ලීම වන්නේ තමන් පෙර ලියාපදිංචි වූ පාඨමාලාව අවලංගු කර, මෙවර ලබාගත් ප්‍රතිඵලයට අනුව නැවත විශ්වවිද්‍යාලයක සුදුසු පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට අවසර ලබා දෙන ලෙසයි. සිසුන්ගේ පාර්ශ්වයෙන් බලන විට එය ඉතා සාධාරණ ඉල්ලීමකි.

සිසුන්ගේ තවත් සාධාරණ ඉල්ලීමක් වන්නේ 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළින් සමත් වුවද සාමාන්‍ය පොදු පරීක්ෂණයට යම් ලකුණු ප්‍රමාණයක් අඩු වීම නිසා එම වසරේ සරසවි ප්‍රවේශය ලබාගත නොහැකි වී තිබේ. එම සිසුන් 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කර ඇත. දැන් එම සිසුන්ගේ ඉල්ලීම වන්නේ 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාලව තමන්ව ද සරසවි සඳහා බඳවාගන්නා ලෙසයි. එම ඉල්ලීම සාධාරණ වන්නේ තවමත් 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාලව අධ්‍යයන කටයුතු බොහෝ සරසවිවල නියමාකාරයෙන් ආරම්භ කර නොමැති වීමත්, අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති සරසවිවල පාඨමාලාවන් ද ආරම්භ වී වැඩි කාලයක් ගත වී නොමැති වීමත්, 2019/2020 අධ්‍යයන වර්ෂයට අදාලව අතිරේක ප්‍රවේශය යටතේ සරසවි බඳවාගැනීම් සිදුකර අවසන් නොමැති වීමත්ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා උසස් අධ්‍යාපනයට අදාලව තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා සිසුන්ට සිදුවන්නා වූ අසාධාරණය කිසිසේත් යුක්ති සහගත නොවේ. කොරෝනා වෛරස ව්‍යාප්තියට මුවා වී සිසුන්ට සිදුකරන්නා වූ අසාධාරණකම් අනියමින් නීතිගත කිරීමට බලධාරීන් දරන්නා වූ උත්සාහය ද අපි ප්‍රතික්ෂේප කරමු. රටක සංවර්ධනයේ ප්‍රධානතම කොඳු නාරටිය වන්නේ එරටෙහි මානව සම්පතයි. එම මානව සම්පත සංවර්ධනයට කිසියම් පාර්ශවයක් බාධා කරන්නේ නම් එය සාධාරණ නොවේ.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ලෙස අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඇතුළු උසස් අධ්‍යාපනයට අදාලව තීන්දු තීරණ ගන්නා බලධාරීන්ට අවධාරණය කර සිටින්නේ මේ මොහොතේ ඇති වී තිබෙන්නා වූ ගැටලු විසඳීම සඳහා කඩිනමින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

2019/2020 අධ්‍යයන වර්ෂයේ සිසුන්ට සිදු වී තිබෙන අසාධාරණයට සාධාරණය ඉටු කර එම සිසුන්ගේ සරසවි ප්‍රවේශය කඩිනම් කරන ලෙසත්, 2020/2021 අධ්‍යයන වර්ෂයේ සිසුන් සරසවි බඳවාගැනීමේදී සංයුත්ත මධ්‍යන අගය නම් වැරදි ක්‍රමවේදය වෙනුවට උපරිම අගය මත හෝ වෙනත් සාධාරණ ක්‍රමවේදයකට සරසවි බඳවාගැනීම් සිදු කරන ලෙසත්. 2020/2021 සරසවි බඳවාගැනීමට අදාලව ඒ ඒ පාඨමාලාවන් සඳහා පැරණි හා නව නිර්දේශය යටතේ සිසුන් කොපමණ ප්‍රමානයක් බඳවාගන්නේ ද යන්න ප්‍රසිද්ධ කිරීමත්, සිසුන්ගේ ඉහත සඳහන් සාධාරණ ඉල්ලීම් සලකා බලා එම සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත් වන ලෙසත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

ස්තූතීයි
මෙයට,
ලේකම්,
පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමි.
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
0711313902

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *