FB සටහනකට CID විසින් සහකාර කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

FB සටහනකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

FB සටහනකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දැනුම්දී ඇත්තේ ෆේස්බුක් අවකාශය තුළ සිංහරාජ වනාන්තරය සම්බන්ධ සිදුවිමක යම් පුවතක් මීට මාස කිහිපයකට පෙර ෂෙයා (SHARE) කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගන්නා බවයි.

ඔහු මීට පෙර හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද කටයුතු කරන ලද අත්දැකීම් සහිත ප්‍රවීන පරිපාලන නිළධාරියෙකි.

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත මේවනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව, කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම හේතුවෙන් වෛද්‍ය චමල් සංජිවට එරෙහිවද හෙට දිනයේ විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් බවයි.

කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී සහ ලේකම් ලසන්තද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්‍යයට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියටද බාධා කරයි.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියටද අහිතකර බලපෑම් ඇති කරයි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය.

එහෙයින් යල් පැනගිය ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.

කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු, ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවැරැදිව ක්‍රියාත්මක නොවේ නම් ජනතාවට, රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට නිවැරැදි මඟට ගැනීම කළ යුතුය.

රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට සත්‍ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත.

එහෙයින් මාධ්‍ය වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.”

– leader

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *