ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිද? කාබනිකව කන්න දෙන්න බැරිද?

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් - කෘෂිකර්ම මහාචාර්යවරුන්

“ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභියෝගය භාර ගන්නවා. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැති වීම අරමුණට ළඟා වීමට බාධාවක් නොවේ. කතා කර කර නොසිට ගොවියා දැනුම්වත් කර වගා බිමට බැස නිරෝගිමත් පරපුරක් බිහිකිරීමට එක්වන්න”

පසුගිය 29 වෙනිදා ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් අමතමින් එම ප්‍රකාශය සිදුකරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ නිරෝගිමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු බවයි. එසේම ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය යන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමේ අඩිතාලම දමමින්, දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිද යන්න පිළිබඳ පුළුල් කතිකාවතක් සමාජය තුළ සිදුකළ යුතුව ඇත. එයට මුල්තැබීමක් ලෙස අපි මෙම තීරණය සම්බන්ධයෙන් විද්වත් මතයක් ගොඩනැගීම අරඹයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ පාංශු හා ශාක පෝෂණ විද්‍යාඥ, ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයකි.

“ගොඩක් වෙලාවට මේ වගේ තීරණ ගන්න හේතු වෙනවා ඇත්තේ පරිසරය සම්බන්ධ ප්‍රශ්න ඇති වුණ නිසා වෙන්න ඇති. කඳුකරයේ වගාබිම් වල අනවශ්‍ය පොහොර භාවිතය නිසා පසේ පොස්පරස් වැඩි වීම සම්බන්ධයෙන් මීට කලිනුත් මම කතා කරලා තියෙනවා. නමුත් ඒකට විසඳුමක් විදිහට රසායනික පොහොර තහනම් කිරීම සහ ඒ වෙනුවට කාබනික පොහොර පාවිච්චි කිරීම නෙමෙයි කියන තැනයි මම ඉන්නේ. ඒකට විසඳුමක් වෙනම හොයන්න ඕනේ. මම ඒක කලිනුත් යෝජනා කළා. ඒ සඳහා අපි කරන්න ඕනේ පස් පරික්ෂා කරලා පසට අවශ්‍ය පොහොර ටික විතරක් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන එකයි. මුලු ලෝකෙම යන්නෙ එතැනට. කරන්නේ ඒක. අපි විතරක් අමුතු දෙයක් කරන්න ගියාට ඒක කරන්න බෑ. මොකද පසේ පොහොර තියෙද්දි අපි කාබනික පොහොර දැම්මත් ඒවායින් පෝෂක පසට එකතු වෙනවා. කාබනික පොහොර දැම්මා කියලා ඒ සිද්ධ වෙන විනාශය වළක්වා ගන්න බෑ. ඒවා කාබනික පොහොර වලින්ද එකතු වෙන්නේ, රසායනික පොහොර වලින්ද එකතු වෙන්නේ කියන එක වැදගත් වෙන්නේ නෑ. පරිසරයට එකතු වීම කොහොමත් සිද්ධ වෙනවා. එකම දේ තියෙන්නේ මෙතනදි අපි රසායනික පොහොර විදිහට දානකොට පෝෂක වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් දාන්න අවශ්‍ය වෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. නමුත් ඒ පෝෂක ප්‍රමාණයම කාබනික පොහොර විදිහට දාන්න ගියොතින් අති විශාල ප්‍රමාණයක් පසට එකතු කරන්න සිද්ධ වෙනවා. ඒක ලොකු ගැටලුවක්. වාණිජමය වශයෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියෙකුට ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. උතුරු මැද, නැගෙනහිර වගේ පළාත් වල තියෙන විශාල කුඹුරු ගැන සැලකුවොතින් ගොවියා ඒ වගා ක්ෂේත්‍ර වලට කාබනික පොහොර ගෙනියන්නේ කොහොමද කියන ගැටලුවත් ඇති වේවි.

රසායනික පොහොර භාවිතයට විරුද්ධව ගේන ප්‍රබල මතයක් තමයි වස විස තියෙනවා කියන එක. නමුත් අපි භාවිත කරන හැමදෙයක්ම වස විස තමයි. හැමදෙයක්ම ප්‍රමාණයට වඩා ගත්තොත් වස වෙනවා. අපි ඇගේ අමාරුවක් හැදුණොත් වේදනානාශක පෙති දෙකක් බොනවා. නමුත් ඒ පෙති 10ක් අපි බිව්වොත් ලොකු හානියක් වෙනවා. ඒක නිසා තමයි හැමදේකටම මාත්‍රාවක් තියෙන්නේ. නියමිත ප්‍රමිතියෙන් යුක්ත පොහොර අපි ගෙනාවොත්, පසට අවශ්‍ය නිර්දේශිත පොහොර ප්‍රමාණය එකතු කළොත් වස වෙන්න විදිහක් නෑ. අපි කාබනික පොහොර කියල ගත්තත් ඒවායෙත් ඔය කියන වස විස තියෙනවා. කැඩ්මියම් කියන එක ටී.එස්.පී. වල තියෙනවා වගේම ඒ ප්‍රමාණයම ගොම පොහොර වලත් තියෙනවා. ආසනික් ගත්තත්, ක්‍රෝමියම් ගත්තත් එහෙමයි. මේ හැමදෙයක්ම පොහොර වර්ග දෙකේම තියෙනවා. එකම දේ තමයි අපි රසායනික පොහොර විදිහට දානකොට පොළොවට දාන ප්‍රමාණය අඩුයි. නමුත් කාබනික පොහොර විදිහට මහ ගොඩක් දාන්න වෙන නිසා සංඛ්‍යාත්මක වශයෙන් බැලුවොත් විශාල ප්‍රමාණයක් පසට එකතු වෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි වගා කරන භූමි ප්‍රමාණය එක්ක සැලකුවොතින් ඒ තරම් කාබනික පොහොර ප්‍රමාණයක් සපයා ගන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා. එච්චර හොයාගන්න ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එවැනි විශාල ප්‍රමාණයක් හොයා ගත්තත් වගා ක්ෂේත්‍රයට ගෙන යාමේදී ගැටලු මතු වෙනවා. එහෙම වුණොත් ලංකාවේ ආහාර නිෂ්පාදනය ලොකු කඩා වැටීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා.

අනිත් අතින් රටේ අනාගතය සම්බන්ධ දේවල් තීරණය කරන්න ඕනේ දේශපාලන කරුණු මත පදනම් වෙලා නෙමෙයි. සංඛ්‍යාත්මක දත්ත හා දත්ත මත පදනම් වූ තීරණ තමයි අපි ගන්න ඕනේ. අපි විද්‍යාවත් එක්ක කරන්නේ ඒකයි. 1960 ගණන් වල ඉඳලා මේ දක්වා අපේ වී නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් වගා කරනවා. විශාල අස්වැන්නක් ගන්නවා. ලංකාව අද වෙනකොට වී වගාවෙන් ස්වයංපෝෂිතයි. එළවළු, පලතුරු වලිනුත් එහෙමයි. අපේ කෘෂිකර්මාන්තයේ ප්‍රශ්නය තියෙන්නේ අතිරේක භෝගවල විතරයි. අතිරේක භෝග ටිකත් හදා ගත්තොත් ඒක අපි ලබන ජයග්‍රහණයක්. රජය මේ වෙනකොට ඒ සඳහා හොඳ තීරණ ගණනාවක් අරන් තියෙනවා. නමුත් පොහොර වගේ දෙයක් නැවැත්තුවොත් අපේ වී වගාව, එළවළු හා පලතුරු වගාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. කවුරුහරි කෙනෙක් රජයට උපදෙස් දෙනවා ඇති මෙහෙම කරමු, මේක තමයි නිවැරදි දේ කියලා. මම දන්නෑ ඇයි එවැනි උපදෙස් දෙන්නේ කියලා. ඒක හිතාගන්න වත් බැරි දෙයක්. නමුත් මම විශ්වාස කරන හා මම ඉගෙන ගත්ත දේ අනුව මට හිතෙනවා මේ දේ ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ කොහෙත්ම කාබනික ක්‍රමවේදය අපි කරන්න ඕනෙ නෑ කියලා. කාබනික නිෂ්පාදනය මම සලකන්නේ කෘෂිකර්මාන්තයේ අගය එකතු කළ ක්‍රියාදාමයක් හැටියටයි. මොකද අද කාබනික නිෂ්පාදන වලට විශේෂිත වෙළෙඳ පොළක් තියෙනවා. ඒ වෙළෙඳ පොළ පුළුල් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව මුළු ලංකාවම කාබනික කරලා, ලංකාවේ සියලුම මිනිස්සුන්ට කාබනිකව කන්න දෙනවා කියන එක ප්‍රායෝගික නෑ.”

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු සරු බව හා පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා තම අදහස් පළ කළේ මේ ආකාරයෙනි.

&අපි කොයි වෙලාවකවත් පරිසරය රැකෙන, මිනිස්සුන්ගේ සෞඛ්‍යය රැකෙන කෘෂිකර්මාන්තයක් ඇති වෙනවට අකමැති නෑ. ඒ මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගැනීමේ අරමුණින් තමයි මේ ප්‍රතිපත්තිමය තීන්දුව අරන් තියෙන්නේ. මේකෙ තියෙන ප්‍රධානම දේ තමයි අකාබනික රසායනක ද්‍රව්‍ය හා පොහොර කෘෂිබිම් වලට යෙදීම තහනම් කිරීම. එසේ කිරීම සඳහා ආනයනය තහනම් කිරීම. මගේ අත්දැකීම් තියෙන්නේ පොහොර සම්බන්ධයෙන්. අපි රසායනික පොහොර ගැන බැලුවොත්, ඒවායින් මේ කියන විනාශය සිද්ධ වෙනවද? සිද්ධ වෙනවා නම් ඒ කොහොමද? සිද්ධ වුණේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ කොහොමද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. රසායනික පොහොර මේවාට සම්බන්ධ කරන අය කරුණු කිපයක් ගෙනහැර දක්වනවා. ආණ්ඩුව පැත්තෙන් කියනවා මේ රසායනික පොහොර භාවිතාව, මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාලා තියෙනවා, පරිසරය විනාශ වෙලා තියෙනවා, පසේ සාරවත්භාවය අඩුවෙලා තියෙනවා වගේ කාරණා රාශියක්. හැබැයි මම දකින්නේ නෑ රසායනික පොහොර විතරක් හේතුකොට ගෙන මේවා වෙනවා කියලා. ඔය කියන පාරිසරික හා සෞඛ්‍යමය හේතුවලට බලපාලා තියෙන්නේ රසායනික පොහොර වල ඇති වැරැද්දක් නිසා නෙමෙයි, ආනයනය කරන රසායනික පොහොර වල ගුණාත්මකභාවය හා ඒවා නිවැරදි නිර්දේශ මත භාවිත නොකිරීමයි. මම උදාහරණයක් ගත්තොත් එක කාලෙක වියළි කලාපයේ ගොවීන් ආශ්‍රිතව පැතිර යන වකුගඩු රෝගය මේ රසායනික පොහොර හා සම්බන්ධ කළා. මේ රසායනික පොහොර වල තියෙන කැඩ්මියම් හා ආසනික් නිසා හින්දා වකුගඩු රෝගය හැදෙන බව ප්‍රකාශ කළා. මම සහතික කරලා කියනවා මේ වෙන තෙක් කිසිම විද්‍යාත්මක පත්‍රිකාවක් නෑ ඒ බව තහවුරු කරන්න. ලංකාවේ වෙළෙඳ පොළේ තියෙන පොහොර ගැන අපි විශ්ලේෂණයක් කළොත් සමහර ඒවායේ කැඩ්මියම් හා ආසනික් වැඩියෙන් තියෙනවා කියලා හෙළිදරව් වෙනවා. ඒ වගේම වකුගඩු රෝගයට කැඩ්මියම් හා ආසනික් හේතු වෙන්න පුළුවන් කියලත් අපි දන්නවා. නමුත් එසේ වූ පමණින් මේ දෙක සම්බන්ධ වෙන්නේ නෑ. කවුරු හරි හොයාගන්න ඕනේ පොහොර වල කැඩ්මියම් හා ආසනික් තිබුණු නිසා තමයි වකුගඩුවල කැඩ්මියම් හා ආසනික් තියෙන්නේ කියලා. මේ සම්බන්ධය තහවුරු කරපු පරික්ෂණ පත්‍රිකාවක් තාම පිටවෙලා නෑ. නවතම පරීක්ෂණ තහවුරු කරන්නේ මේ වකුගඩු රෝගයට හේතුව ජලයේ ඇති ෆ්ලෝරයිඩ්, කිවුල හෝ සයනොට්‍රොක්ෂින් කියලා. අනෙක් අතින් ඇයි කැඩ්මියම් හා ආසනික් අපේ වෙළෙඳ පොළේ තියෙන්නේ. ඒකට හේතුව තමයි හරි නියාමනයක් නැතිකම.

අනිත් නගන ප්‍රධාන තර්කය තමයි මේකෙන් පිළිකා හැදෙනවා කියන එක. ඒකට හේතුව වශයෙන් දක්වනවා නයිට්‍රේට් ගස්වලට අධි මාත්‍රාවෙන් යෙදුවම ඒවා අපේ ආහාරයට එකතු වුණාම පිළිකා හැදෙන්න පුළුවන් කියන එක. ඒක සිද්ධාත්මකව ඇත්ත. නමුත් ඇයි ගහ වැඩිපුර නයිට්‍රජන් ගන්නේ? ඒ නයිට්‍රජන් වැඩිපුර දාන නිසා. කවුද නයිට්‍රජන් වැඩිපුර දාන්න කිව්වේ? පර්යේෂණ ආයතන එහෙම කියලා නෑ. මිනිස්සුන්ට පොහොර සහනාධාරය නිකම් දෙනවා නම්, ඕනතරම් අරගෙන දාන්නත් පුළුවන් නම්, මිනිස්සු පොහොර වැඩිපුර දාන එක අරුමයක් නෙමෙයි. ඔය කියන දේවල් වෙලා තියෙන්නේ පොහොර භාවිතය නිසා නෙමෙයි. පොහොර වල තියෙන බාලතාවය හා නිවැරදි නොවන භාවිතාව නිසයි.

අනිත් කාරණය කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් අපි තීරණයක් ගත්තොත් අවශ්‍ය පෝෂක ලබාදෙන්න ලබන කන්නේ ඉඳලා විකල්පයක් තියෙන්න ඕනේ. ප්‍රධාන පෝෂක තුනක් ගැන අපි කතා කරනවා. ඒ නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම්. රජය යෝජනා කරනවා කාබනික පොහොර දෙන්න. ලංකාවේ දැනට කාබනික පොහොර හදන්නේ ටොන් මිලියන දශම තුනක (.3) විතර ප්‍රමාණයක් පමණයි. නමුත් ගණනය කරලා බලපුවාම ලංකාවේ වී වගාවේ නයිට්‍රජන් ටික දෙන්න විතරක් කොම්පෝස්ට් ටොන් මිලියන 4ක් විතර ඕනේ. සතියෙන් සතියට දළු කඩන නිසා තේ වගාවත් අධි මාත්‍රාවෙන් නයිට්‍රජන් අවශ්‍ය කරන භෝගයක්. තේ වගාවත් අර විදිහට කොම්පෝස්ට් වලින් කරනවා නම් ටොන් මිලියන 3ක් විතර ඕනේ. ඒ භෝග දෙකට විතරක් කොම්පෝස්ට් ටොන් මිලියන 7ක් පමණ අවශ්‍යයි. ලංකාවේ කොම්පෝස්ට් හදන්න තියෙන කාබනික ප්‍රමාණය ගණන් හදලා බැලුවොත් අපි දවසකට ඝන අපද්‍රව්‍ය හැටියට බැහැර කරනවා ටොන් 3500ක්. මේවා අපිට කොම්පෝස්ට් හදන්න භාවිත කරන්න පුළුවන්. මේ ඔක්කොම භාවිත කරලා අපිට අවුරුද්දකට කොම්පෝස්ට් ටොන් මිලියන 4ක් විතර හදන්න පුළුවන්. දැනට තියෙන සියලුම කාබනික ද්‍රව්‍ය භාවිත කළත් අපිට හදන්න පුළුවන් වෙන්නේ ටොන් මිලියන 5ක් විතරයි. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය ඊට වඩා බොහොම වැඩියි. අපි දැන් හදන ටොන් මිලියන දශම තුනක (.3) ප්‍රමාණය, ටොන් මිලියන 5ක් කරන්න කොච්චර විශාල වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෙද? ඒක ලොකු ගැටලුවක්.

ලංකාවේ දීර්ඝකාලීනව කාබනික පොහොර යොදාගෙන කරපු එකම එක පරීක්ෂණයයි තියෙන්නේ. ඒ බතලගොඩ වී පර්යේෂණායතනයෙන්. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව 2014දි සිරිසේන සහ අනෙකුත් පර්යේෂකයන් ප්‍රසිද්ධියට පත් කළා. ඒකේ හෙක්ටයාර් 1කට ටොන් 10ක කාබනික ද්‍රව්‍ය යොදලා කරන වී වගාවක්, රසායනික පොහොර විතරක් දාලා හදන ක්ෂේත්‍රයකට සසඳනවා. මේ යොදන ටොන් 10ට ගොම ටොන් 5ක් විතර අඩංගු වෙනවා. ඉතා හොඳ කාබනික පොහොර මිශ්‍රණයක්. එහෙම අවුරුදු 15ක් විතර පර්යේෂණ කරලා බැලුවාම කාබනික පොහොර විතරක් යොදපු එකේ අස්වැන්න කන්නයෙන් කන්නයට 15% ඉඳලා 50% දක්වා ප්‍රමාණයක අඩුවීමක් තියෙනවා. ඒක සාමාන්‍යයක් විදිහට ගත්තොත් මුළු කාලය පුරාම 24%ක විතර අගයක්. ඒක කාබනික පොහොර ටොන් 10ක් විතර දාලා තියෙද්දිත් වෙන අස්වනු හානියක්. රජය කියනවා කාබනික පොහොර යෙදවීමෙන් සිදුවෙන අස්වනු හානියට ගෙවනවා කියලා. හෙට තේ වගාවේ 50%ක විතර අස්වනු පාළුවක් වෙන්න පුළුවන්. මේ පරිවර්තනය වෙලා වී වලට සිදුවන අස්වනු හානිය ලෙස 20%ක් ගණන් බැලුවොත් ඒක මුදලින් රුපියල් බිලියන 40ක් විතර වෙන්න පුළුවන්. කන්නයකට අපිට යන පොහොර වියදමත් රුපියල් බිලියන 40ක් විතර තමයි. අස්වනු හානියට මුදල් දුන්නා කියන්නේ අඩුවෙච්ච අස්වැන්න ලංකාවේ මිනිස්සුන්ට කන්න පිටරටින් ගේන්න වෙනවා. ඒකට විදේශ විනිමය වැය වෙනවා. අපි මේක පටන් ගන්නෙම ලංකාවේ මිනිස්සු වස විස ආහාරයට ගන්න එක නවත්වන්නනේ. නමුත් අපිට හාල් අඩු වුණාම ඒවා ගෙන්නන්නේ කොහෙන්ද? අපේ අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල් වලින්. ඒ රටවල් වල හාල් හදන්න භාවිත කරන්නේ කාබනික පොහොර විතරක්ද? ඒ රටවල් ස්ටොක්හොම් සම්මුතිය අත්සන් කරලා නැති නිසා අපි මෙහෙ තහනම් කරලා තියෙන රසායන ද්‍රව්‍යත් එහේ භාවිත කරනවා. එහෙනම් ඒ රටවල් වලින් එන ආහාරවල අපි හොයන පාරිශුද්ධභාවය තියෙනවද? එහෙම වුනාම රජය කියන සෞඛ්‍ය ආරක්ෂිත ජනතාවක් බිහි කිරීමේ හැකියාව ලැබෙනවද? අනෙක් අතින් අපි හාල් ගෙන්වන්නේ නැතිනම් සිදුවෙන 20෴ අස්වනු හානිය නැති කර ගන්න තවත් අලුත් බිම්වල වී වවන්න වෙනවා. ඒකට තවත් අලුත් ඉඩම් හෙක්ටයාර් 33,000ක් වත් ඕනේ. මේ ඉඩම් කොහෙද තියෙන්නේ. එහෙම නම් කැලෑ කපලා ගන්න වෙනවා. එතකොට අපි හිතාගෙන ඉන්න පරිසරය සුරැකීමේ වැඩපිළිවෙළට මොකද වෙන්නේ. මෙවැනි විශාල පරස්පරතාවයන් ගණනාවක් මේ තීරණය පිටුපස තියෙනවා.

මැතිවරණ වේදිකා වලදි අපි රසායනික පොහොර සහනාධාරය හැමෝටම ලබාදෙනවා කියලා ඊට අවුරුදු දෙකකට පස්සේ අපි රසායන පොහොර ආනයනය නවත්වනවා කියනවා. ඒ දෙකේ පරස්පරයක් තියෙනවා. එහෙනම් මුලින්ම කියන්න තිබුණා අපි පොහොර සහනාධාරය ලබාදෙන්නේ කාබනික සඳහා පමණයි කියලා. මොනවා හරි ඒ ඒ අවස්ථාවල රටේ සිද්ධ වෙන දේවල්වලට ගන්න තීරණ හැටියට තමයි මේවා දකින්න පුළුවන් වෙන්නේ. මේවායින් වාසි හම්බ වෙන්නේ වංචාකාරයන්ට විතරයි.

සටහන හා ඡායාරූප – නුවරඑළිය සම්පත් ජයලාල්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *