කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමට ලැබුණු ඩොලර් මිලියන 72ක් හරියට වැයකරල නෑ

2020 දී සෞඛ්‍ය සේවයේ පහසුකම් සපයා නෑත – කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ ණය මිලියන 8,900කට මොකද වුණේ ?

2020 දී සෞඛ්‍ය සේවයේ පහසුකම් සපයා නෑත – කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ ණය මිලියන 8,900කට මොකද වුණේ ?

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 72ක (රුපියල් මිලියන 13,400ක් – එවකට ඩොලරයක අගය ලෙස සටහන් වූයේ රුපියල් 186කි.) ණය මුදලක් ඵලදායී ලෙස වැයකර නැති බව අනාවරණය වේ.

2020 වර්ෂයට අදාළ වාර්ෂික මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මේ මුදලින් රුපියල් මිලියන 4,500ක් පමණක් වැයකර ඇති බවයි. මේ ණය මුදලෙන් ඉතිරි රුපියල් 8,900 ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අදාළ වාර්තාවේ කිසිදු තැනක වෙනත් සඳහනක් නැත. අදාළ වර්ෂයේදී විදේශ ණය මගින් මූල්‍යනය කරන ලද ව්‍යාපෘති ශීර්ෂය යටතේ මේ කරුණු සඳහන් වේ. අදාළ රුපියල් මිලියන 4,500 වැයකර තිබෙන්නේ වෛද්‍ය උපකරණ බෙදාහැරීම සඳහා යනුවෙන්ද එහි සඳහන්ය.

‘කොවිඩ් 19 වසංගතයේ පළමු රැල්ල හා දෙවැනි රැල්ල කාලපරිච්ඡේදය තුළ වසංගතය මැඩලීම සඳහා වෛද්‍ය උපකරණ බෙදාහැරීම වෙනුවෙන් රජය විසින් දළ වශයෙන් රුපියල් බිලියන 4.5ක් වියදම් කරන ලදි.’(2020 මහ බැංකු වාර්තාව – පිටුව 100)
මීට අමතරව කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මුදල් වෙන්කළ හෝ වැයකළ ආකාරය සම්බන්ධයෙන් කිසිදු සටහනක් වාර්තාව පුරා නැත.

ඇඳන් – වෛද්‍යවරු – හෙද සේවය අඩු වුණේ ඇයි ?

මේ අතර අදාළ වාර්තාවේ 99 පිටුවේ සෞඛ්‍ය සේවයේ මූලික ලක්ෂණ යනුවෙන් විශේෂ සඳහනක් ඇත. එහි සඳහන් වන ආකාරයට 2019 වර්ෂයේදී රජයේ රෝහල්වල තිබී ඇති ඇඳන් සංඛ්‍යාව 77,964කි. 2020 වර්ෂයේදී එය 77,121 දක්වා අඩු වී තිබේ. එනම් රජයේ රෝහල්වල ඇඳන් 843ක් අඩු වී ඇත. කැඩී යෑම, අබලන් වීම ඇතුළු විවිධ හේතු මේ සඳහා බලපා තිබේ. කෙසේ වෙතත් මෙසේ අබලන් වන ඇඳන් වෙනුවට අලුතින් ඇඳන් විධිමත් ලෙස රජයේ රෝහල්වලට සපයා නැත.

මීට අමතරව අදාළ වාර්තාවේ සඳහන් වන ආකාරයට 2019 වසරේදී රජයේ රෝහල්වල සේවය කළ සහකාර වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 756කි. එම ප්‍රමාණය 2020 වසරේදී 658ක් දක්වා, වෛද්‍යවරුන් 98 දෙනෙකුගෙන් අඩුවී තිබේ.

2019 වසරේදී රජයේ රෝහල්වල සේවය කර ඇති හෙද සේවක සංඛ්‍යාව 38,276කි. එය 2020 වසරේදී 37,634ක් දක්වා, හෙද සේවකයන් 642 දෙනෙකුගෙන් අඩුවී තිබේ.

2019 වසරේදී රජයේ රෝහල්වල සේවය කර ඇති උපස්ථායක සංඛ්‍යාව 8,531කි. එය 2020 වසරේදී 8,384ක් දක්වා, උපස්ථායකවරුන් සහ උපස්ථායකවරියන් 147 දෙනෙකුගෙන් අඩු වී තිබේ.

2019 වසරේදී රජයේ රෝහල්වල සේවය කර ඇති සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,768කි. එය 2020 වසරේදී 1,757ක් දක්වා, 11 දෙනෙකුගෙන් අඩුවී තිබේ.

මේ තත්ත්වයට හේතුවී ඇත්තේ විශ්‍රාම යන සහ වෙනත් හේතු මත ස්ථිර හෝ තාවකාලික හෝ සෞඛ්‍ය සේවයෙන් ඉවත් වන සේවකයන් වෙනුවට විධිමත් පරිදි නව බඳවාගැනීම් සිදු නොකිරීමය.

-medialk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *