Type to search

කොවිඩ් 19: ඉන්දියාවට වැරදුණු තැන කුම්භ මේලාව ද?

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය.

මෙය වෛරසයේ සුපිරි ව්‍යාප්තියක් ගෙන දෙන උත්සවයක් බවට පෙරළිය හැකි යැයි බොහෝ දෙනා නොසිතුවාම නොවේ.

එම බිය ජනක සිතුවිල්ල දැන් සත්‍යයක් බවට පත්වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. කුම්භ මේලා සමරා ආපසු පැමිණියවුන් අතර ආසාදිතයන් සොයා ගැනිණ. දසතින් පැමිණි පිරිස උත්සවයෙන් පසුව දසත විසිරී ගියහ. වෛරසය ද දසත විසිර ගියා විය හැකිය.

මහාන්ත් ශංකර් දාස්, කුම්භ මේලා උත්සවයට සහභාගිවීම සඳහා හරිද්වාර් නගරයට සේන්දු වූයේ මාර්තු 15 වැනිදාය. ඒ වන විටත් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල කොවිඩ් ව්‍යාප්තිය හිස ඔසවා තිබුණි.

කුම්භ මේලා පූජෝත්සවය නිල වශයෙන් ආරම්භ විය. ගතවූයේ සිව් දිනකි. අසූ හැවිරිදි හින්දු පූජකවරයාට කොරෝනා වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු විය. කුඩාරමක් තුළට වී නිරෝධායනය වීමට ඔහුට උපදෙස් ලැබිණ.

නමුත් මේ පූජකවරයා කළේ වෙනත් දෙයකි. නිරෝධායනය වනවා වෙනුවට ඔහු තම බෑගය සුදානම් කරගත්තේය. දුම්රියට ගොඩවිය. කිලෝමීටර 1000ක් දුර ගෙවා වරනාසි නගරයට පැමිණියේය.

වරනාසි දුම්රිය පොළට මේ පූජකවරයාගේ පුත්‍රයා පැමිණ සිටියේය. ඔහු නාගේන්ද්‍ර පතක් ය. නාගේන්ද්‍රගේ නිවස පිහිටියේ දුම්රියපොලින් කිලෝමීටර 20ක් පමණ ඈතින් පිහිටි මිර්සාපුර් දිස්ත්‍රික්කයේ ගම්මානයකය. පිය පුතු දෙදෙනා ගමට ගියේ තවත් කීපදෙනෙකු සමඟ එකතුවී බෙදාහදා ගත් කුලී රථයකිනි.

මහාන්ත් දාස් පූජකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. “දැන් හොඳ සනීපපෙන් ඉන්නවා” යැයි ඔහු පැවසීය. නිවෙසට පැමිණි පසු ඔහු නිරෝධායනය වී තිබේ.

ඔහුගෙන් කිසිවෙකුට වෛරසය බෝ නොවූ බව ඔහු අවධාරණය කළේය. නමුත් දින කීපයකින් සිය පුත්‍රයාට සහ ගමේ තවත් කීප දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවිය.

පූජකවරයාගේ පුත්‍රයා ද සුවය ලැබීය. නමුත් ඔහු ගමේ තත්ත්වය විස්තර කළේය. “කැස්සයි, උනයි හැදිලා ගමේ 13 දෙනෙක් මැරුණා.” නාගේන්ද්‍ර පතක් පැවසීය.

ගමේ කොවිඩ් 19 පැතිරීමට මහාන්ත් දාස් ගේ සම්බන්ධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට ඉඩ තිබේ. නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඔහුගේ ක්‍රියාකලාපය වගකීම් විරහිත බවය. මගීන්ගෙන් පිරුණු දුම්රියක පැය ගණනක් ගතකොට තවත් කීපදෙනෙකු සමඟ කුලී රථයක නැගී නිවෙස කරා පැමිණෙන අතරතුර ඔහුගෙන් බොහෝ දෙනෙකු අතර වෛරසය පැතිරෙන්නට ඉඩකඩ පවතින බව විශේෂඥයෝ පවසති.

මිලියන 9කට අධික පිරිසක් හරිද්වාර් නගරයට සේන්දු වූහ

“මුහුණු ආවරණ රහිතව අතිවිශාල කණ්ඩායම් වශයෙන් ගං ඉවුරේ වාඩිලා ගෙන ස්තෝත්‍ර ගායනයේ යෙදෙන විට” වෛරසය ඉතා වේගයෙන් පැතිරයාම සඳහා අතිශය හිතකර වාතාවරණයක් නිර්මාණය කෙරෙන බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය.

“අපි දැනගෙන හිටිය දේවස්ථාන හෝ පන්සල්වල ගීතිකා සහ යාතිකා කීම කියන්නේ වෛරසය සුපිරි මට්ටමින් ව්‍යාප්ත කරවන වැඩසටහන් කියල.”

නේපාලයේ හිටපු රජු සහ හිටපු රැජින
කුම්භ මේලා පූජෝත්සවය පැවති හරිද්වාර් නගරයේ බලධාරීන් ප්‍රකාශ කළේ වන්දනාකරුවන් 2642 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවය. ආසාදිතයන් අතර ජ්‍යෙෂ්ඨතම ආගමික නායකයෝ ද සිටියහ.

කුම්භ මේලා පූජෝත්සවයට සහභාගී වී නිවෙස් කරා පැමිණි පසු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූවන් අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අඛිලේෂ් යාදෙව් ද විය. නේපාලයේ හිටපු රජු ගයනේන්ද්‍ර ශා සහ හිටපු රැජින කෝමාල් ශා ද වුහ. බොලිවුඩ් සංගීතඥ ශ්‍රාවන් රතෝද්, මුම්බායි හි රෝහලක දී මිය ගියේ ද කුම්භ මේලා සැණකෙළියට සහභාගී වී පැමිණීමෙන් පසුවය. එකම නඩයකට අයත් හින්දු ශාස්තෘවරුන් 9 දෙනෙක් ද මිය ගියහ.

කුම්භ මේලාවට සහභාගී වූවන් රට පුරා වෛරසය පතුරවා හරිනු ඇතැයි යන බිය වර්ධනය වන්නට පටන් ගත්තේය. බියට පත් ඇතැම් ප්‍රාන්ත දින 14ක නිරෝධනය නීතියක් ඔවුනට පැනවූහ. සංචරණ තොරතුරු සඟවන්නන් හට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවූහ.

ඇතැම් ප්‍රාන්ත බලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කරනු ලැබූ නමුත් වන්දනාවේ ගිය අය පිළිබඳ විස්තර ඔවුන්ගේ දත්ත ගබඩාවේ නොවීය. බොහෝ ප්‍රන්තවලට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට හෝ ඔවුන්ගේ සංචරණ සොයා බැලීමට අවශ්‍ය පහසුකම් නොතිබිණ.

කුම්භ මේලා නිමාවී ගත වූයේ දෙසතියකි. නිවෙස් කරා පැමිණි බැතිමතුන් අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම රට පුරාම සිදු විය.

“මේක අතිශයින් අවාසනාවන්ත සිදු වීමක්. මේ වාර්තා වූ ගණන් හිලව් අල්ප මාත්‍රයක් පමණයි. ආසාදිත වන්දනාකරුවන් සෙනග පිරුණු දුම්රිය සහ බස්රථ තුළ ගමන් කිරීමේදී මේ සංඛ්‍යාව කී ගුණයකින් වැඩි වෙනවද? කිසිම පැකිලීමකින් තොරව මට කියන්න පුළුවන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය ඉහළ යාමට, මේ කුම්භ මේලා සැණකෙළිය ප්‍රධාන හේතුවක් වුණා කියල.” විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය.

නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි?
ඉන්දියාව පුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පවතිද්දී, රෝහල්වල ඇඳන් සියල්ල ම පිරී ඇති හෙයින් රෝගීන් නැවත හරවා යවද්දී, ඔක්සිජන් සහ ඖෂධ හිඟවී තිබිය දී මෙම කුම්භ මේලා පූජෝත්සවය කල්දැමීමට කටයුතු කළේනම් මීට වඩා යහපත් නොවේදැයි ප්‍රශ්න කළවිට මහාන්ත් දාස් පූජකවරයා ඊට එදිරිව තර්ක ඉදිරිපත් කළේය.

“එහෙම නම්, ආණ්ඩුව බටහිර බෙංගාලයේ මැතිවරණ රැළි පැවැත්වීම නිවැරදි වෙන්නේ කොහොමද? සැදැහැවතුන් වන අපි විතරක් එක්රැස්වීම වැරදියි කියල කියන්නේ ඇයි?” ඔහු ප්‍රශ්න කළේය.

මෙම පූජෝත්සවය අවලංගු කිරීම සඳහා පියවර ගැනීමට රටේ අගමැති නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි? විචාරකයන් පවසන්නේ මහාන්ත් දාස් වැනි හින්දු ආගමික නායකයන්ගෙන් එල්ලවිය හැකිව තිබූ විරෝධය හේතුවෙන් අගමැතිවරයා එවැනි පියවරක් ගැනීමට පසුබට වූ බවකි. හින්දු පූජකවරුන්, යෝගීවරුන්, තාපසවරුන් ඇතුළු ආගමික නායකයන් ඔහුගේ පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වෙති. මැතිවරණයක දී හින්දු ඡන්ද පදනම ඕනෑම අතකට මෙහෙයවීමේ ශක්තිය ඔවුන් සතුය.

කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය.

පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය.

නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය.

කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය “අවමානයට පාත්‍ර වූ” බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි.

කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම පිළිබඳව ආරම්භයේ පටන් ම බරපතළ ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි.

“වැඩි ව්‍යාප්තියක් පෙන්වන නව වෛරස් ප්‍රභේදයක් රට ආක්‍රමණය කරමින්” සිටින මොහොතක මුව ආවරණ පැළඳීමකින් තොරව මිලියන ගණනක් ජනතාව ඒකරාශී වන උත්සව හෝ සැණකෙළි පැවැත්වීමට ඉඩ දීම ප්‍රඥා ගෝචර නොවන බව රජයේ සෞඛ්‍ය විශේෂඥයෝ පවා මාර්තු මස මුලදී අනතුරු ඇඟවීමක් කළහ.

මහ ඇමතිට වුණු දේ
උත්තරාක්ඛාන්ද් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ත්‍රිවේන්ද්‍ර සිං රාවත් කියා සිටියේ, “වසංගතය ඉක්මනින් නිමා නොවන බව” සෞඛ්‍ය විශේෂඥයන් තමන්ට පවසා තිබුණු හෙයින් කුම්භ මේලා පූජෝත්සවය “සංකේතාත්මකව පමණක් සැමරීමට” තමන් සැලසුම් කර තිබුණු බවය.

“මේ සැණකෙළියට ඉන්දියානුවන් පමණක් නොවෙයි වෙනත් රටවලින් පවා වන්දනාකරුවන් පැමිණියා. හරිද්වාර් නගරයට පැමිණෙන නිරෝගී පුද්ගලයන් මේ වෛරසයට ගොදුරු වී එම ආසාදනය රැගෙන ආපසු ගොස් හැම තැනම පතුරයි කියල මම කනස්සල්ලෙන් හිටියේ.”

නමුත් පූජෝත්සවයට දින ගණනක් තිබියදී මහ ඇමති ධුරයට ටිරාත් සිං රාවත් පත්විය. “ගංගා නදියේ ගලා බසින ආශීර්වාදයත් සමඟ කොරෝනා පහව යනු ඇත,” යනුවෙන් ඔහු කළ ප්‍රකාශය ජනප්‍රියත්වයට පත්විය.

උත්සවයට සහභාගී වන “කිසිවෙකු නතර නොකරන” බවට අලුත් මහ ඇමතිවරයා ප්‍රතිඥා දුන්නේය. කොවිඩ් ආසාදනය වී නොමැති බව සනාථ කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවීය. සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම පමණක් ප්‍රමාණවත් විය. නමුත් මිලියන ගණනක ජන ගංගාවක් හරිද්වාර් වෙත ගලා එද්දී සාමාන්‍ය සෞඛ්‍ය නීති රීති පවා පිහිටුවාලීමට බලධාරීන්ට හැකියාවක් නොතිබිණ.

කොවිඩ්-19 රෝගයෙන් මියගියේ යැයි සැලකුණු පුද්ගලයින් රැසක සිරුරු ගංගා නදියේ

මෝදිට බටහිර බෙංගාලය අහිමි වෙයි

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය යනු කුමක් ද?

හරිද්වාර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශාම්භු කුමාර් ජා කියා සිටියේ, ජන සමූහය කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර වූ බවය. ඊට හේතු ලෙස ඔහු දැක්වූයේ කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා නොමැතිව වන්දනාකරුවන් පැමිණීමත්, “ශ්‍රද්ධාව සහ විශ්වාසය මත මෙතරම් දුර ගෙවා පැමිණි” ඔවුන් ආපසු හරවා යැවීමට නොහැකිවීමත් ය.

“ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා පෝලිමේ බලා ඉන්න මිනිස්සුන්ට දඬුවම් පමුණුවන්න පුලුවන්ද? කොහොමද එහෙම කරන්නේ?”

“මහ ආණ්ඩුවෙන් සහ මහ අධිකරණයෙන් ලබා දුන් සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයක් තිබුණා. අපිට හැකි පමණින් ඒවා ක්‍රියාවට නැංවීමට අපි උත්සාහ කළා.” වෛද්‍යවරයා පැවසීය.

උත්තරාඛාන්ද් හි පවත්වාගෙන යන බුද්ධි මණ්ඩලයක නිර්මාතෘ අනුප් නෞතියාල් බීබීසීයට කියා සිටියේ “ඒ සා විශාල ජනකායක් සමඟ සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීම කොහෙත්ම කළ නොහැක්කක්” බවය.

“ඒවා කඩදාසියක ලියවිලා තියෙනකොට පේනවා ඉතාම හොඳ දේවල් බව. නමුත් ඒවා ක්‍රියාවට නගන්න බැහැ.”

උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුප් නෞතියාල් සතුව පවතී. මාර්තු මාසයේ 14වැනිදා සිට 20 වැනිදා දක්වා සතිය තුළ උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 557ක් පමණි. වන්දනාකරුවන් පැමිණීම ආරම්භ වූයේ එම සතිය තුළ ය. පූජෝත්සවයේ අවසන් සතිය වූ අප්‍රේල් 25 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා ගතවූ සතිය තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38,581 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය.

“මේ ආසාදිතයන් සියලුදෙනාම වාර්තා වුනේ සැණකෙළිය නිසා කියල කිව්වොත් වැරදියි. නමුත් මේ සංඛ්‍යාව ඉහළ ගියේ මේ උත්සවයට සමගාමීව.” ඔහු පැවසීය.

ජන ඒකරාශී වීම් සඳහා ඉඩකඩ ලබා දීම මගින් සිදු වූ හානිය මැඩපවත්වා ගැනීම සඳහා ඉන්දියාවට දැන් කළ හැකි යමක් තිබේද? විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් ඊට පිළිතුරු සැපයුවේ මෙසේය.

“මේ සැදැහැවතුන් කොරෝනා වෛරසය යහපත් ආශීර්වාදයක් ලෙස රැගෙන ගොස් ව්‍යාප්ත කරනු ඇතැයි කවුදෝ කියල තිබුණා. වන්දනාකරුවන් විසින් ආසාදනයක් රැගෙන යාම ඛේදවාචකයක්.”

“මේ තත්ත්වය නිවැරදි කළ හැකි කිසිම දෙයක් ගැන මටනම් හිතා ගන්න බැහැ. දැන් අපේ නෞකාව සාගරයේ බොහෝ දුරක් ගිහින් ඉවරයි. අපිට ඒ නැව නැංගුරම් දාන්න ආරක්‍ෂිත වරායක් කරා ආපසු හරවන්නවත් බැහැ. ඒක ඉතාම ඛේදනීයයි. මේ ආසාදනයන් තුනීවෙලා මිනිස්සුන්ට ඉන් මිදෙන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි මට කරන්න පුළුවන්.”

(බීබීසී පුවත් වෙනුවෙන් දිල්ලි නුවර සිට ගීතා පාන්ඩේ විසින් සපයන ලද ලිපියක් ඇසුරෙනි.)

– BBC

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *