ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් මිලියන 43ක මුදලක් වංචා කළ 4ක් CID අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක සිවුදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙ‍ළේ වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමකට අයත් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් මේ මුදල වංචාකර තිබෙන අතර පසුගිය අප්‍රේල් 12 දා මේ අපරාධය සිදුකර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ වානේ කම්බි නිෂ්පාදන සමාගමට අයත් බැංකු ගිණුමේ රුපියල් කෝටි ගණනක මුදල් තිබෙන බවට වාර්තා වන අතර එම මුදලින් රුපියල් ලක්ෂ 430ක මුදලක් එම සමාගමේ චෙක්පත්වල ආකාරයට ව්‍යාජ චෙක්පත් යොදාගෙන මේ මුදල වංචාකර තිබේ.

එම පුද්ගලික බැංකුවේ බොරැල්ල, රාජගිරිය, කොටුව, පිටකොටුව, කිරිබත්ගොඩ සහ දළුගම පිහිටි ශාඛාවලට එම වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමේ සේවකයන් අඳින ආකාරයේ ඇඳුම් අන්ඳවා විවෘත චෙක්පත් සහිතව යවා එකම දිනක දී මුදල් ලබාගෙන තිබෙන බවද එම ව්‍යාජ චෙක්පත් හංවැල්ල ප්‍රදේශයේ දී මුද්‍රණය කර තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව අදාළ මුද්‍රණ ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ සඳහා සහාය දුන් රණාල ප්‍රදේශයේ පදිංචි අයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව මේ සඳහා සහාය ලබාදුන් අදාළ බැංකුවේ සේවකයකු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ චෙක්පත් මාරු කිරීම සඳහා කටයුතු කළ 27 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව මේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් සිවුදෙනකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවද තම ආයතන වෙත නිකුත්කර තිබෙන බැංකු පොත්වල හා චෙක්පත්වල අංක ව්‍යාජ ලෙස යොදා ගනිමින් මෙවැනි වංචාවන් සිදුකළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *