Type to search

ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ගැන බ්‍රිතාන්‍යයයේ විශේෂඥය වෛද්‍යවරයෙක් පැහැදිලි කරයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව වැනි ප්‍රදේශවලින් ලබා ගත් සාම්පල යොදා ගනිමින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනාවෛරස ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හමුවුණු ප්‍රභේදයක් බව තහවුරු විය.

වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කළේ, මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වනසුලු එකක් බවත් එය රට තුළ මේ දක්වා සොයා ගනු ලැබූ තුන් වන කොරෝනාවෛරස් ප්‍රභේදය බවත්ය. මෙම ප්‍රභේදය සොයා ගැනීමත් සමග රට තුළ දිනකට කොවිඩ්-19 රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.

කෙසේ වෙතත්, ජනතාව තුළ මෙම ප්‍රභේදය පිළිබඳව තවමත් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති අතර එම නිසා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් විමසීම සඳහා අපි එක්සත් රාජධානියේ, රාජකීය නිදහස් රෝහලේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යා‍යතනයේ සායනික ප්‍රතිශක්තිකරණ හා අසාත්මිකතා පිළිබඳ උපදේශක මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.

එක්සත් රාජධානියෙන් සොයා ගන්නා ලද SARS-CoV-2 හි ප්‍රභේදය යනු කුමක්ද?

SARS- CoV-2 හි එක්සත් රාජධානියේ ප්‍රභේදය B.1.1.7 ලෙස හැඳින්වෙනවා. මෙම ප්‍රභේදය සොයාගත් බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ ලේකම්වරයා 2020 දෙසැම්බර් 14 වන දින පළමු වරට ප්‍රකාශයට පත් කළා. මෙම ප්‍රභේදයට අයත් ධනාත්මක නියැදිය 2020 සැප්තැම්බර් මස කෙන්ට් ප්‍රදේශයෙන් සොයාගත් බව තොරතුරුවලින් අනාවරණය වෙනවා වගේ ම මෙම ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානියට අමතරව තවත් රටවල් 60කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රභේදය ඇති වූයේ කෙසේ ද යන්න මේ වන තෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී තිබුණ ද දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් දැකිය හැකි රෝගීන් තුළ මීට සමාන රටාවන් නිරීක්ෂණය වෙලා තිබෙනවා. ඒ අනුව, විද්‍යාඥයින්ගේ මතය වන්නේ ප්‍රතිශක්තිකරණය දුර්වල, නිධන්ගත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයෙකු හරහා මෙම වෛරස ප්‍රභේදය ආරම්භ වන්නට ඇති බවයි.

මෙම වෛරස ප්‍රභේදය වඩා වේගයෙන් සම්ප්‍රේෂණය වන එකක් ද?

ඔව්. එක්සත් රාජධානියෙන් සොයා ගන්නා ලද මෙම ප්‍රභේදය වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකියි. උදාහරණයක් ලෙස 2020 නොවැම්බරයේදී ලන්ඩනයේ සහ ගිනිකොණදිග එංගලන්තයේ මෙම ප්‍රභේදය සම්ප්‍රේෂණය වීම විශාල වශයෙන් වැඩි වුණා.

එමෙන් ම අධ්‍යයනවලින් පෙනී යන්නේ නව ප්‍රභේදය මෙම වෛරසයේ R අංකය 0.4 ත් 0.7 ත් අතර ප්‍රමාණයකින් වැඩි කළ බවයි. (R අංකය යනු ආසාදිත පුද්ගලයෙකු විසින් ආසාදනය කරනු ලබන පුද්ගලයින්ගේ සාමාන්‍ය සංඛ්‍යාවයි). එය එකකට වඩා වැඩි නම් ඉන් අදහස් වන්නේ වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම ප්‍රභේදයේ දැකිය හැකි රෝග ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 ආසාදනය වන බොහෝ රෝගීන් රෝග ලක්ෂණ රහිත අය ලෙස හඳුනාගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ SARS- CoV-2 ප්‍රභේදය ආසාදනය වූ අය අනෙක් ප්‍රභේද ආසාදිත රෝගීන්ට සමාන රෝග ලක්ෂණ පෙන්වනවා. එක්සත් රාජධානිය තුළ කරන ලද අධ්‍යයනයකදී මෙම ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයගෙන් සියයට 35කට පමණ කැස්ස ඇති බව වාර්තා වුණා.

ඊට අමතරව මෙම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන්ගෙන් 32%කට පමණ තෙහෙට්ටුව තිබෙන බව ද මාංශ පේශි වේදනාව (25%), උණ (21%) සහ උගුරේ අමාරුව (21%) වැනි තවත් පොදු රෝග ලක්ෂණ දැකිය හැකි බව ද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. කෙසේ නමුත් රසය හෝ සුවඳ පිළිබඳ සංවේදීතාව නැතිවීමේ රෝග ලක්ෂණය එක්සත් රාජධානියේ ප්‍රභේදය ආසාදනය වූවන්ට තරමක් අඩුයි.

මෙම ප්‍රභේදය වඩාත් දරුණු සංකූලතා ඇති කරයි ද?

තරමක් දුරට දරුණු සංකූලතා ඇති කරනවා. මෑතකාලීන අධ්‍යයනයන් හරහා අනාවරණය වෙලා තිබෙනවා අනෙකුත් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් රෝහල්ගත කරන්නට සිදුවෙන බව. ඒ වගේම මෙම ප්‍රභේදය ආසාදනය වූවන් වැඩි වශයෙන් මරණයට පත්වීමට සම්භාවිතාවක් තිබෙන බවත් අනාවරණය වෙනවා. විශේෂයෙන් ම එක්සත් රාජධානියේ ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 54,906 දෙනෙකු යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් හෙළි වුණා ඉන් 227 දෙනෙකු මරණයට පත් වී ඇති බව. නමුත් අදාළ සංඛ්‍යාවෙන් කොරෝනාවෛරසයේ මූලිකව හඳුනාගත් ප්‍රභේදය නිසා මරණයට පත්ව තිබුණේ රෝගීන් 141ක් පමණයි.

ඒ වගේම මෙම ප්‍රභේදය ආසාදනය වන රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමට සිදු වන බව නිරීක්ෂණය වනවා. එය තරමක් බරපතළ තත්ත්වයක්. ඒ, රෝගීන් වැඩි වශයෙන් රෝහල්ගත කිරීමට සිදු වීම තුළින් රෝහල්වල ධාරිතාව ඉක්මවා යාම හරහා ගැටලු ඇති විය හැකි නිසා.

ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙම ප්‍රභේදයට එරෙහිව ඵලදායී ද?

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කරමින් සිදු කරන ලද අධ්‍යයනයකින් එක්සත් රාජධානියේ SARS-CoV-2 ප්‍රභේදයට එරෙහිව එම එන්නත ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බව සොයා ගත්තා. වෛරසයේ මුල් ප්‍රභේදයට එරෙහිව එය 84% ක පමණ ආරක්ෂාවක් සපයන අතර මෙම ප්‍රභේදය සඳහා 75%ක පමණ ආරක්ෂාවක් සපයනවා. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙන 50% මට්ටමට වඩා එය ගොඩක් ඉදිරියෙන් සිටින බව පැහැදිලියි.

ෆයිසර් සහ මොඩර්නා එන්නත් එයට එරෙහිව ඵලදායීව ක්‍රියා කරනවා ද?

මුල් රසායනාගාර ප්‍රතිඵල මගින් එක්සත් රාජධානියේ ප්‍රභේදයට එරෙහිව හොඳ ආරක්ෂාවක් සැපයීම සඳහා ෆයිසර් එන්නත හඳුන්වා දුන්නා. මොඩර්නා එන්නතත් ඊට සමාන ප්‍රතිඵල පෙන්වා තිබෙනවා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන්.

පොදුවේ ගත් විට මෙම ප්‍රභේදයට එරෙහිව එන්නත්වල ක්‍රියාකාරීත්වය කෙබඳු ද?

සෑම එන්නතක් ම මෙම ප්‍රභේදයට විරුද්ධව සාර්ථකව ක්‍රියා කරන බවක් පෙන්වනවා. විශේෂයෙන් ම මෙම ප්‍රභේදය තරමක් දරුණු සංකූලතා ඇති කරන නිසා එන්නත් ලබා දීම/ගැනීම හරහා මෙය පාලනය කිරීම පහසු විය හැකියි.

ඒ වගේ ම සාමාන්‍යයෙන් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර සාම්පල වෛරසය සමග මිශ්‍ර කර සිදු කරන විද්‍යාගාර පරීක්ෂණයක් මගින් අදාළ එන්නත වෛරසයට විරුද්ධව ක්‍රියා කර එය අකර්මණ්‍ය කරනව ද කියලා පරීක්ෂා කරනවා.

නමුත් විද්‍යාගාර පරීක්ෂණවලට වඩා වැදගත් වන්නේ සැබෑ ලෝකයේ උදාහරණ. එනම් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය නොවෙනවා නම් එය තමයි ඉතාමත් ම වැදගත් කරුණ. එවැනි උදාහරණත් රැසක් තියෙනවා මෙම ප්‍රභේදයට එරෙහිව එන්නත්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. ඒ නිසා සමස්තයක් ලෙස සියලු ම එන්නත් මෙම ප්‍රභේදයට එරෙහිව සතුටුදායක මට්ටමකින් ක්‍රියා කරනවා.

ලංකාව තුළ බොහෝ දෙනෙකුට මේ වන තෙක් ලැබී ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක් පමණයි. එහි බලපෑම කුමක් විය හැකි ද?

ඕනෑ ම එන්නතක මාත්‍රා දෙක ම ලබා ගැනීම හරහා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. නමුත් යම් යම් හේතු මත දෙවැනි මාත්‍රාව ලබා දීම ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල ප්‍රමාද වී තිබෙනවා. එසේ වුවත් එන්නතක් ලබා නොගෙන ඉන්නවට වඩා එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීම ගොඩක් ප්‍රතිඵලදායකයි.

විශේෂයෙන් ම එන්නතක පළමු මාත්‍රාව ලබා ගැනීම හරහා 60%ක පමණ ආරක්ෂාවක් ලැබෙනවා. මාත්‍රා දෙක ම ලබා ගැනීම තුළින් 80%ක පමණ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා එක් මාත්‍රාවක් ලබා ගැනීම තුළින් වුවත් සැලකිය යුතු මට්ටමේ ආරක්ෂාවක් අපට ලැබෙනවා. ඒ නිසා සියලු දෙනා එන්නත් පිළිබඳව විශ්වාසය තබා ගැනීම සහ ඒවා ලබා ගැනීම ඉතාමත් වැදගත්.

එන්නත් කිරීමේ ක්‍රියාවලිය සමස්තයක් ලෙස සාර්ථක බව පර්යේෂණ ගණනාවකින් අනතුරුව පෙන්වා දී ඇති අතර රෝහල්ගත කිරීමට සිදුවන ආසාදිත රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම ඉතාමත් වැදගත්. අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව වසංගතය හොඳින් පාලනය කළා පසුගිය කාලයේදී. කෙසේ වෙතත්, එන්නත් කිරීමේ ක්‍රියාවලිය ධනවත් රටවල පමණක් සිදු කර යම් ප්‍රදේශයක් හෝ ප්‍රජාවක් එන්නත්කරණයට ලක් නොවන්නේ නම් ඒ හේතුවෙන් මුළු ලෝකයට ම අහිතකර ප්‍රතිඵල ලැබිය හැකියි.

ඒ වගේ ම මෙම එක්සත් රාජධානියේ ප්‍රභේදය පමණක් නොව තවත් බොහෝ කොරෝනාවෛරස් ප්‍රභේද දැන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ සියලුම ප්‍රජාවන් එන්නත්කරණයට ලක් කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. උදාහරණයක් වශයෙන්, එක්සත් රාජධානියේ කණ්ඩායම් නවයක් පමණ කඩිනමින් එන්නත්කරණයට ලක්කළ යුතු යැයි හඳුනාගෙන ඔවුන් සියල්ලන්ට ම මේ වන විට එන්නත් ලබා දී තිබෙනවා.

වෛරසය හේතුවෙන් බරපතළ සංකූලතා ඇති වීම වැළැක්වීම සඳහා එන්නත ලබා ගැනීම ද වැදගත් වන අතර මේ දක්වා ලබා දී ඇති සියලු ම එන්නත් පාහේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. මා කලින් කී පරිදි සමහර එන්නත්වල එක් මාත්‍රාවක් පවා විශාල ආරක්ෂාවක් ලබා දිය හැකියි.

මුඛ ආවරණ පැළඳීම සහ අත් සේදීම වැනි පියවර අනුගමනය කිරීම මෙම ප්‍රභේදයට අදාළව වැදගත් වන්නේ කෙසේ ද?

දැනට හඳුනාගෙන ඇති පරිදි මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් බෝවිය හැකියි. එම තත්ත්වය තුළ මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්තභාවය තබා ගැනීම වැනි කරුණු ඉතා වැදගත්. ඕනෑ ම කොරෝනාවෛරස් ප්‍රභේදයක් සම්බන්ධයෙන් මෙම පියවර ඉතා වැදගත්. ඒ වගේ ම මෙවැනි ඉහළ බෝවීමේ ප්‍රවණතාවකින් යුතු වෛරස් ප්‍රභේදයක් සම්බන්ධයෙන් එම පියවර අනුගමනය කිරීම වඩාත් වැදගත්.

විශේෂයෙන් මුඛ ආවරණ පැළඳීම වැනි දේවල් හරහා “වයිරල් ලෝඩ්” එක අඩු වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෛරසය නිරාවරණය වුවත් එය ඉතා සුළු ප්‍රමාණයක් වීමයි. එයත් ඉතා වැදගත් කරුණක් වෛරසය පැතිරීම පාලනය කිරීමේදී. වෛරසය පැතිරීම හැකි තරම් පාලනය කළ යුතුයි වගේ ම යම් හෙයකින් හෝ එය පැතිරෙනවා නම් එම ප්‍රමාණය හැකි තරම් අඩු කළ යුතුයි.

සැලකිය යුතු පිරිසකට එන්නත් ලබා දෙන තෙක් මුහුණු ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීම ඉතා වැදගත්. ඒ වගේ ම මෙම උපදෙස් පිළිපැදීමෙන් සහ වසංගතය පාලනය කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගත යුතුයි. විශේෂයෙන් සාමාන්‍ය ජීවන රටාවට නැවත පැමිණීමට ඇති හැකියාව, අන් අය අතර සුරක්ෂිත හැඟීමක් ඇති වීම සහ පාසල් යාමට සහ රැකියාවට සුපුරුදු පරිදි යාමට හැකි වීම වැනි ප්‍රතිලාභ පිළිබඳව මහජනයාට සන්නිවේදනය කළ යුතුයි.

පවතින තත්ත්වය තුළ අපට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?

ඇත්තෙන් ම මේ වන විට බොහෝ රටවල්වලට මුහුණ දෙන්න වෙලා තියෙන විශාලතම අභියෝගය තමයි කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල ධාරිතාව ඉක්මවා යාම වළක්වා ගැනීම. ඊට අමතරව ඉක්මවා නොගියත්, සම්පූර්ණ ධාරිතාවයට ළඟා වීම හරහාත් ගැටලු රැසක් උද්ගත විය හැකියි.

විශේෂයෙන් රෝහල්වල රෝගීන් සංඛ්‍යාව පමණට වඩා වැඩි වීම හරහා රෝහල්වල සේවය කරන කාර්‍ය මණ්ඩලය දරාගත නොහැකි තරම් පීඩනයකට ලක් විය හැකියි. ඒ හරහා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකියි.

ඊට අමතරව සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවලට විශේෂයෙන් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. මේ වන විට ඉන්දියාවේ දකින්න පුළුවන් ඒ තත්ත්වය. ඔක්සිජන් සැපයුම අඩාල වීම වැනි කරුණු හරහා තිබෙන ඔක්සිජන් ප්‍රමාණය හෝ දෙන්නෙ කාට ද කියන තීරණය ගන්න සිදුවෙනවා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට. එය ඉතාමත් අසීරු තත්ත්වයක්. එවැනි කරුණු හරහාත් ඔවුන් අනවශ්‍ය පීඩනයකට ලක්වෙනවා.

ඒ වගේම අපි දැක්කා ඉන්දියාවේ සමහර රෝහල් පහසුකම් හිඟය හේතුවෙන් රෝගීන් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළ යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් පවා ඇති වුණා. එම නිසා එවැනි තත්ත්වයන් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු වෙනවා.

පවතින තත්ත්වය තුළ රට වසා තැබීමක් හෝ ඇඳිරි නීතියක් පැනවීම සිදු කළ යුතු ද?

සමාජ දූරස්ථභාවය නිසි පරිදි පවත්වා ගැනීම සහ වේගවත්ව එන්නත්කරණය ක්‍රියාවට නැංවීම මෙම වසංගතය පාලනය කිරීමේ පදනම වේ. මෙම පියවර ක්‍රියාත්මක කිරීම හරහා දිගුකාලීන වසා තැබීම් අවම කිරීමට හැකියාව ලැබේ.

මුල් දිනවල ශ්‍රී ලංකාව එවැනි පියවර ඉතා හොඳින් ගෙන වෛරසය පැතිරීම පාලනය කළා. සෑම විට ම සුදුසු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි.

– MB

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *