”ඉදිරි සති තුන තීරණාත්මකයි; කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට අනුගත වන්න” – ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැකියා සඳහා පැමිණෙන සියලුමදෙනා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කොවිඩ් වයිරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මෙසේ ද පැවසීය.

“විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අනිත් කාලවලට සාපේක්ෂව අඩු මට්ටමක පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබුණා. එය ඉකුත් 16දා වන විට 357ක් ලෙස වාර්තා වුණා. ඉන් වැඩි පිරිසක් විදේශ රටවල සිට මෙහි ආ ශ්‍රී ලාංකිකයන්. ලෝකයේ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

විශේෂයෙන් ම පසුගිය සතිය පුරා ජනතාව ඒකරාශී වූ ස්ථානවල අපි දැක්කා බහුතරයක් දෙනා සෞඛ්‍යාරක්ෂිතව හැසිරෙනවා. නමුත් එසේ නොවන සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඔබට මතක ඇති මෙරට දෙවැනි රැල්ලක් ආවේ ලංකාවේ එක් පුද්ගලයෙකුගෙන්. එය අනූදහසකට වැඩි ආසාදිතයන් පිරිසක් දක්වා ලංකාව පුරා වර්ධනය වුණා. එවැනි අත්දැකීමක් අපට තියෙනවා. විශේෂයෙන් ම විදේශ රටවල කොවිඩ් ආසාදිතයන් ඉතා වැඩි සංඛ්‍යාවක් ගැන වාර්තා වන අවස්ථාවක තමයි අපි මේ රට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා කරගෙන වෛරසය පාලනය කරගෙන කටයුතු කරන්නේ.

සියලු ම දෙනා අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ රැකී රක්ෂාවලට ඒමට පටන් අරන්. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉදිරි සති දෙක තුන තීරණාත්මක කාලසීමාවක් නිසා අනිවාර්යයෙන් ම මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලයි. ඒ මගින් යමෙක් නොදන්නාකමින් හෝ කොරෝනා ආසාදිතයකු ආශ්‍රය කරලා තිබුණත් තවත් විශාල පිරිසකට වෛරසය පැතිරී යෑම වැළකෙනවා.

අලුත් අවුරුදු සමයේදී අපි විශාල වශයෙන් සීමාවන් පැනවීම සිදු කළේ නැහැ. යම් සීමාවන් පැනවීමක් සිදුකළේ එය අත්‍යවශ්‍ය කාරණයක් නිසා. ඒ සීමා අභිභවා ගිහින් ඇතැමුන් ඒ නිදහස භුක්ති විඳින්න උත්සාහ කළා. මංගල සාද ආදියට පනවා තිබෙන සීමාවන් තවමත් අපි ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *