Type to search

ආහාරවල හානිකර ද්‍රව්‍ය ගැන පරීක්ෂාවට බලය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට – COPA

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩි දියුණු කළ යුතු අතර ආහාර සුරක්ෂිතතාවට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බව ද රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දුන්නේ, ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍රවී ඇති බව ය.

රටේ අහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් උද්ගතව පවතින බව 2017/2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.

මෙරටට ආනයනය කරන රූපලාවණ්‍ය ද්‍රව්‍යවල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිරීති බැවින් ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කළේ ය.

මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *