Type to search

කොරෝනා වෛරසය: කොවිඩ් එන්නත සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද?

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca)එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.

එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව ”තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති.

එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි.

CVST ලේ කැටිගැසීමක් යනු කුමක්ද?

CVST යන යෙදුම භාවිත කරනු ලබන්නේ මොළයේ රුධිරය කැටිගැසීමේ ත්‍රොම්බෝසිස් (thrombosis) තත්ත්වය හැඳින්වීම සඳහාය. එය මොළයේ විශාල නහරයක ඇති ලේ කැටි ගැසීමකි.

රුධිරය මොළයේ සිට යළිත් හෘදයවස්තුව කරා ගමන්ගැනීම මිනිස් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියයි.

ඒ අතර වාරයේ ලේ කැටියක් (CVST) මගින් මොළයෙහි රුධිර සංසරණය අවහිර කරන තත්ත්වයක් කෙනෙකු තුළ මතුවිය හැකිය. ඒ සමඟ සිදුවන්නේ සිරුරේ ඔක්සිජන් අඩුවීමය. එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මධ්‍යම ස්නායු පද්ධතිය විධිමත් මට්ටමින් ක්‍රියාත්මක නොවන අතර අවසානයේදී සිරුරට බලවත් හානියක් සිදුවීමට ද ඉඩකඩ ඇත.

මොළයේ පමණක් නොව, දුර්ලභ ලේ කැටිගැසීම් මිනිස් සිරුරක වෙනත් ස්ථානයන්හි ද සොයාගෙන ඇත. නිදසුනක් වශයෙන් උදරය ප්‍රදේශයේ විශාල නහරවල එවැන්නක් ඇතිවීමේ ඉඩක් පවතී. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කීපදෙනකුගේ සිරුරුවල හදවතේ සිට වෙනත් අවයව කරා රුධිරය ගෙනයන නාලිකාවලද ලේ කැටි සොයාගනු ලැබ තිබේ.

ලේ කැටිගැසීමට හේතු

මිනිස් සිරුරේ රුධිරය කැටිගැසීමට නියත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවකුට තවමත් සහතිකව කිව නොහැක. එහෙත් එවැනි තත්ත්වයකට බලපාන පොදු හේතූන් කීපයක් හඳුනාගෙන ඇත.

මොළයේ ලේ කැටි ගැසෙන (CVST) තත්ත්වයට පත්ව ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සියලු රෝගීන්ගේ සිරුරුවල රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවකි. රුධිර පට්ටිකා සිරුරෙහි රුධිර වහනය වීමකදී එය යථා තත්ත්වයට ගෙනඒමට උපකාරීවෙන රුධිර සෛල වෙති.

එම රෝගීන්ගේ රුධිරයෙහි අන්තර්ගත ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමට නිතරම මහෝපකාරී වන ප්‍රතිශක්තිජනක විශේෂ ප්‍රතිදේහයක් (antibody) හමුවී ඇත. ඒවා මගින් කුඩා රුධිර පට්ටිකා සක්‍රීය කෙරෙයි.

එම ප්‍රතිදේහ නිසා වැරදීමකින් රුධිර පට්ටිකා එකට කැටිව එය ලේ කැටියක් බවට පත්වීමට හේතුවිය හැකිය. එසේම එය සිරුරෙහි සෙසු ස්ථානයන්හි කැටිති රටාව තුළත් ක්‍රියාත්මක වීමට ඉඩකඩ පවතී.

කැටිගැසීම් සහ රුධිර පට්ටිකාවල අඩුව අතර පවතින සංයුක්තභාවය දැනට වෛද්‍යවරුන් විසින් විපරම් කරනු ලබන විශේෂ කරුණක්ව ඇත.

එහෙත් මෙම ක්‍රියාවලිය හඳුනාගනු ලැබීම අතින් තේරුම්ගත යුතුව ඇති තවත් බොහෝ කරුණු පවතී.


CTA ස්කෑන් මගින් ලබාගත් මොළයේ පින්තූරයක්

මෙම ගැටලුව තමාට ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?

යම්කිසි තැනැත්තකු විසින් එන්නත ලබාගැනීමෙන් පසු දවස් හතරක් හෝ ඊට වැඩි දින ගණනක් පහත දැක්වෙන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

# දිගින් දිගටම පවතින දරුණු හිසරදය
# පෙනුම බොඳවීම
# හුස්ම ගැනීමේ දුෂ්කරතා
# පපුවේ වේදනාව
# කකුල් ඉදිමීම
# නොකඩවා පවතින බඩ රිදුම සහ/හෝ උදරයේ වේදනා
# එන්නත විදින ලද ස්ථානය අවට හාත්පස අසාමාන්‍ය ආකාරයේ සමෙහි තැල්මක ලකුණු හෝ රතු හෝ දම් පැහැති කුඩා ලප තිබේනම්
# පාදවල දක්නට ලැබෙන දුර්වලවීමක් වැනි ස්නායු රෝගයක ලක්ෂණ.

කැටිගැසීමක් ඇතිවිය හැක්කේ එන්නත ලබාගැනීමෙන් දවස් කීයකට පසුවද?

පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එන්නත ලබාගැනීමෙන් දවස් හතරත් සති කීපයක් අතර කාලය තුළය.

එන්නත ලබාගත් පුද්ගලයකු තුළ ඉහත කී ලක්‍ෂණ මසක් ඇතුළත ප්‍රදර්ශනය වන්නේනම් රෝග විනිශ්චයක් ලෙස එම දුර්ලභ තත්ත්වය සැලකිල්ලට ගතයුතුව ඇතැයි එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ සෙසු වෛද්‍යවරුන්ට උපදෙස් දෙති.

ලේ කැටියක් ඇතිවීම කොතරම් දුර්ලභද?

අප්‍රියෙල් මස නව වෙනිදා (09) වනවිට දහනව දෙනකු මරණයට පත්ව ඇති අතර එවැනි රෝගීන් 79 දෙනකු හඳුනාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය පාලන අධිකාරිය (MHRA) නිවේදනය කළේය.

එක්සත් රාජධානිය තුළ ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත මිලියන විස්සකට අධික ජනකායකට මේ වනවිට ලබා දී ඇත. එම ජනතාව අතරින් දැනට වාර්තා වී ඇත්තේ ඉහත සඳහන් සිද්ධීන් සංඛ්‍යාව පමණි.

එම තොරතුරු අඛණ්ඩව විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර කාලයත් සමඟ තවත් බොහෝ තොරතුරු ලැබෙන ආකාරයක් දක්නට ලැබෙයි.

එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඉහත කී ආකාරයේ ලේ කැටිගැසීමක් සිදුවීමේ අනතුරුදායකභාවය පවතින්නේ දෙලක්ෂ පනස් දහසකට (250,000) එකක් යයි දැනට පවතින තොරතුරු අනුව තක්සේරු කරනු ලැබ ඇත.

එවැනි ලේ කැටි ගැසීමක් තරමක් දුර්ලභ දෙයක් වන නමුත් තරුණ ප්‍රජාව අතර එම අනතුර වැඩිවෙමින් ඇති හැඩක් දක්නට ලැබෙයි.

වයස අවුරුදු තිහට අඩු නිරෝගී පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමකින් ඔවුන් බරපතල ලෙස රෝගීවීමේ අවදානම අඩු බව පවසන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) පවතින ප්‍රතිලාභය සහ අනතුර යන දෙකම සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත වෙනුවට හැකියාවක් තිබේනම් වෙනත් විකල්ප එන්නතක් භාවිත කරන ලෙස නිර්දේශ කරයි.

කෙසේවුවද, එන්නත ලබාදීම මගින් අතිබහුතර ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය එහි අන්තරායකාරී තත්ත්වයට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ලේ කැටි ගැසීමකට ප්‍රතිකාර තිබේද?

එවැනි ආපදාවක දී රෝගය ඉක්මණින් හඳුනාගනු ලැබීම රෝගියා සුවපත්කර ගැනීම අතින් ඉතා වැදගත්ය.

එවැනි තත්ත්වයකට පත් රෝගියකු සඳහා ඖෂධ වර්ග කීපයක්ම භාවිත කෙරෙයි. ප්‍රතිශක්තිජනක ලෙස සිරුර තුළ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකාරක ප්‍රෝටීන සේලයින් ක්‍රමයට ශරීරගත කරනු ලැබීම අදාළ ප්‍රතිකාරයකි.

රුධිරය තුනීකරනු ලබන නවීන ඖෂධ සමඟ ඇතැම් රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට යවනු ලබන අතර ඔවුන් නිරන්තරයෙන් වෛද්‍ය අධීක්ෂණයට ලක්කෙරෙයි.

එවැනි රුධිරය කැටි ගැසීම්වලට මුහුණදෙන රෝගීන්ගෙන් 75%ක් පමණ සුවය ලබන බව දැනට ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන බව රුධිරය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ඒඩ්රියන් නිව්ලන්ඩ් (Prof Adrian Newland) පවසයි.

එක්සත් රාජධානිය ගත්විට රුධිරය පිළිබඳ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සෙසු වෛද්‍යවරුන්ට නිතර උපදෙස් සැපයීමක් සිදුකරනු ලබන අතර නිරන්තරයෙන් ඔවුන් යාවත්කාලීන කරනු ලැබෙයි.

අනෙකුත් කොවිඩ් එන්නත් සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද?

ෆයිසර් (Pfizer) එන්නත ලබාදුන් කීපදෙනකු සහ ජැන්සන් (Janssen) එන්නත සම්බන්ධයෙන් සිදු කෙරුණු සායනික පරීක්ෂණයේ දී එක් තැනැත්තකු රුධිර කැටිගැසීමේ තත්ත්වයට පත්වූ බවට වාර්තා ලැබී තිබිණැයි එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ (JCVI) නියෝජ්‍ය සභාපති මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) පැවසීය.

”එවැනි තත්ත්වයන් අතිශයින් දුර්ලභයි. එම රුධිර කැටිගැසීම්වලට හේතුව කොවිඩ් එන්නතද නැත්නම් වෙනත් කාරණයක් ද යන්න තීරණය කිරීම දුෂ්කරයි” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත රුධිරය කැටි ගැසීමට හේතුවන්නේ යයි තහවුරු වුවහොත්, ඊට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් දෙනු ලබන ‘ජැන්සන්’ (Janssen) වැනි වෙනත් එන්නතක් භාවිත කිරීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බවත් මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) සඳහන් කරයි.

– BBC

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *