‘හැමෝට ම එක හැන්දෙන් බෙදන්න’: අධිකරණය අල්ලස් කොමිසමට කියයි

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා ම අත්සන් කර නොමැතිව පවරා ඇති නඩු ඉවත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් එය සැමට සාධාරණ වන ලෙස කළ යුතු බවත් විරෝධතා ගොනු කළ නඩු පමණක් සලකා බලා කටයුතු නොකර විරෝධතා ගොනු නොකළ නඩු පිළිබඳව ද සාධාරණ ලෙස කටයුතු කළ යුතු බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (මාර්තු 30) අල්ලස් කොමිසම වෙත දැනුම් දුන්නේ ය.

ඒ අනුව, අල්ලස් කොමිසමට මේ පිළිබඳව දැනුම් දී අධිකරණය හමුවේ ඉදිරියේදී කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත දැනුම් දුන්නේ ය.

මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම වෙත මේ බව දැනුම් දුන්නේ, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන අයට එරෙහිව ගොනු කර තිබූ අල්ලස් නඩුවක් අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මෙම නඩුව විභාගයට කැඳවා තිබූ අතර එහිදී විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා අත්සන් කර අනුමත නොකළ නඩු ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බව මීට පෙර අධිකරණයට දන්වා ඇති බව ය.

තව ද මෙම නඩුව ගොනු කිරිමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා ම අත්සන් කර නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා, මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ අල්ලස් කොමිසමේ තිරණය කුමක් දැයි විමසා සිටියේ ය.

එහිදී අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව සහ විත්තිකරුවන්ට මේ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර නොමැති බවත් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ පවසා සිටියා ය.

එහිදී නීතිය සැමට එකක් විය යුතු බව ප්‍රකාශ කළ මහේස්‌ත්‍රාත්වරයා මේ පිළිබඳව කොමිසමට දැනුම් දී නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසට අල්ලස් කොමිසමට නියම කළේ ය.

ඒ අනුව, නඩුව නැවත ලබන මැයි මස 11 වන දින කැඳවීමට නියමිත ය.

2011 සහ 2012 කාලසීමාව තුළ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබූ රුපියල් මිලියන 19.5ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත අල්ලස් කොමිසම අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *