පොල්තෙල් බවුසර් රේගුවට දුන්නැයි මහෙස්ත්‍රාත් පොලිසියට දෙහි කපයි

පසුගිය 29 වැනි දින රාත්‍රියේ දංකොටුව පොලිසිය මඟින් පොල්තෙල් සහිත මේ බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ සම්බන්ධයෙන් 30 වැනිදා මාරවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ බවුසර් අධිකරණ භාරයේ රඳවා තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි. පොලිසිය එම නියෝග නොතකමින් පොලිස් ආරක්ෂාව මැද මේ බවුසර් දෙක රේගුවට බාර දීමට පියවර ගෙන තිබිණි.

පෙරේදා (31) පස්වරුවේ මේ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා මෙසේ පොලිසියට අවවාද කළේය. මේ බවුසර් දෙකේ රස පරීක්ෂණ වාර්තා ගැනීමට කටයුතු කළේද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අතර “නැත ස්වාමිනි. පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පරිදි බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකා රේගුවට භාර දුන්නා“ යැයි ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“පොලිසිය කරන්නේ අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමද නැත්නම් පොලිස් නීති කොට්ඨාසයේ නියෝග ක්‍රියාත්මක කිරීමද“ යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම නිහඬව සිටියේය. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්තේ දැයි මහේස්ත්‍රාත්වරයා අසා සිටි විට නැත ස්වාමීනි. යනුවෙන් පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයා, “රේගුවට ආරක්ෂා කර ගන්න බැරි වුණ දේ ආයේ රේගුවට දීලා වැඩක් තියනවද. මේක තීරණයක් ගන්න තිබුණේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවලා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දිය යුතුයි “මහේස්ත්‍රාත්වරයා කියා සිටි අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *