ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීමට ඔන්ලයින් ක්‍රමයක්

පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමතකිරීම සදහා නව මාර්ගස්ථ ක්‍රමයක් (ඔන්ලයින්) හදුන්වාදීමට මේ වන විට කටයුතු ආරම්භකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ යෝජනාවකට අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මේවන විට කෝට්ටේ මහනගර සභාව, ගම්පහ සහ කලුතර ප්‍රාදේශීය සභා සදහා මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකර ඇති බවයි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙම නියමු ව්‍යාපෘතිය සදහා සියලු තාක්ෂණික පහසුකම් ඇතුළු ප්‍රතිපාදන සැපයයීමට කටයුතු කර ඇති බවත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාකොට ඔවුන්ගේ අවශ්‍යතාද සළකා බලා සියලු පලාත් පාලන ආයතනවලට ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය හදුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතනවල එකිනෙකට වෙනස් සැලසුම් අයදුම්පත්‍ර ආකෘතින් පවතින බැවින් සියලු පළාත් පාලන ආයතන සදහා එකම ආකෘතියක් හදුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.

එසේම නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවයට පත්නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17ක් ඒකාබද්ධ කොට ඔන්ලයින් හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙන බවත් මෙහිදී අනාවරණය විය. ඒසදහා ආයෝජකයෙක් සොයා ගැනීමට මේවන විට ටෙන්ඩර් කැදවා ඇති බවත් ලබන අගෝස්තු මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භකරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසීය.

අතිගරු ජනාධිපතිවරයාගේ සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ නිරන්තර අධීක්ෂණය යටතේ මේ වසර තුළ ඇවිදින මංතීරු විස්සක් ඉදිකිරීම, ග්‍රාමීය සහ නාගරික නිවාස වැඩිප්‍රමාණයක් ඉදිරිකිරීම ඇතුළු ඉලක්කගත විශාල වැඩකොටසක් මේවන විට ශීඝ්‍රයෙන් ඉටුකරන බවත් එය රජයේ සංවර්ධන ක්‍රියාවලියෙහි විශාල කොටසක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

චන්දිම වීරක්කොඩි, මුජිබර් රහුමාන්, ජගත් කුමාර,සුදත් මංජුල, යදාමිණි ගුණවර්ධන, නසීර් අහමඩ්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *