උදර්පණ නීතියෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

උදර්පණ නීතියෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

උදර්පණ නීතියෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

යහපාලන ආණ්ඩු සමයේ පළමු බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කර රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ දැනට සිංගප්පූරුවේ සැඟව සිටින බවට සඳහන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විත්තිකරු උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට ඊයේ (18) දන්වා සිටියේය.

දැනට මලයාසියාවේ සැඟව සිටින ගාර්දිය පුංචිහේවා විත්තිකරුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් එම සිතාසි නිකුත් කරන ලෙසද දන්වා සිටියේය. චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මේ නියෝගය කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීමක් අනුව මේ සිතාසිය නිකුත් කළ අතර දැනට අර්ජුන් මහේන්ද්‍රන් විත්තිකරු ගෙන්වා ගැනීමට රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිංගප්පූරුව සමඟ සාකච්ජා කරමින් සිටින බවද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ අනාවරණය කළාය.

පළමු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 10.08ක් වටිනා බැඳුම්කර බැහැර කිරීමට අදාළව රුපියල් මිලියන 688ක් වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව පවරා ඇති මේ පළමු නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් නව චෝදනාවක් ඊට එක් කරන බව පැවසූ ජයසුන්දර මහත්මිය එම චෝදනාව ඉදිරියේදී අධිකරණයට ගොනු කරන බව කීවාය. මේ වන විට විත්තිකරුවන්ට චෝදනා 23ක් ඉදිරිපත් කර ඇත.

නඩුවේ විත්තිකරුවන් වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරවීර හා ඩී. මිත්‍ර ගුණවර්ධන යන අය ඊයේ අධිකරණයේ පෙනී සිටි අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන සෙසු විත්තිකරුවන් දෙවැනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පෙරේදා (17) දින මහාධිකරණයේ නියෝගය මත රක්ෂිත බන්ධනාගාරගත කළ හෙයින් පෙනී නොසිටියේය.

මේ නඩුව නැවත මැයි මස 05 වැනිදා කැඳවීමට නියමිතය.

මහ බැංකුව 2016 මාර්තු 31 දින කළ බැඳුම්කර නිකුතුවෙන් රජයට රුපියල් බිලියන 15කට අධික පාඩුවක් කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව නීතිපතිවරයා පැවරූ තෙවැනි නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාගේ සභාපතීත්වයෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ හා මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *