ශ්‍රී ලංකාව: ‘ඔන්ලයින්’ වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව: 'ඔන්ලයින්' වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව: 'ඔන්ලයින්' වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?


වම්පස: ඔන්ලයින් විකිණීමට තිබුණු ගවුමේ ඡායාරූපය, දකුණුපස: පාරිභෝගිකයාට නිවසට ලැබුණු ගවුම

“මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවහම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ,” තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

විටින් විට විවිධ නම්වලින් පෙනී සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන ආයතනයකින් තරින්ද්‍රි භාණ්ඩ ඇණවුම් කර ඇති අතර, ඇයට ලැබී ඇත්තේ හාත්පසින් වෙනස් භාණ්ඩය.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ඇතුළු තවත් විවිධ ‘ඔන්ලියින්’ වංචාවලට එරෙහිව බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬ නගා තිබුණ ද, තවමත් දිනපතා මෙවැනි වංචා සිදුවන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

“මගේ මහත්තයා ලංකාවේ ඔන්ලයින් ෂොප් එකකින් ඇඳුමක් ඕඩර් කරලා මට තෑග්ගක් දෙන්න බලාගෙන. ඒ අය ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තියෙන්නේ සෑහෙන ලස්සන ඇඳුම්වල පිංතූර. ඒවාට අහු නොවෙන කෙනෙක් නැහැ. ඒ වගේම ලස්සන වචන භාවිත කරලා තියෙනවා හැඳින්වීම්වල,” සිය වාසගම හෙළි නොකරන්න යැයි ඉල්ලීමක් ද කරමින් අමාලි සිය අත්දැකීම් පැවසුවාය.

“ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා. නිකම් බාල කපු රෙදිවලින් අපිළිවෙලට මහලා කුණු ගොඩක් වගේ ඇඳුමක් එතන තිබුණේ. ඒ ඇඳුම රුපියල් 2,000ක්.”

“මේ ගැන වහාම අදාළ ආයතනයට දැන්වූවා. ඒ අයගේ පිළිතුරු තමයි මගේ ඇඟ කැත නිසා ඇඳුම් හරියන්නේ නැහැ, ඒකට ඒ අයට කරන්න දෙයක් නැහැ කියලා. මට කඳුළු ආවා ඒක දැකලා,” ඇය පැවසුවාය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා වර්තමානයේ දී අප ජීවිතයේ අනිවාර්ය කොටස්කරුවන් බවට පත්ව තිබේ. නමුත් මීට දශක කීපයකට පෙර අන්තර්ජාලය භාවිත කිරීම නගරබදව විසූ අතළොස්සකට පමණක් සීමා විය.

ලොව සිදුවන ඕනෑම සිද්ධියක් තත්පරයකට අඩු කාලයක දී ගූගල් ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලින් සිය අදහස් දැක්වීම, දේශපාලනය, ව්‍යාපාර ප්‍රවර්ධනය, ගණුදෙනු, විවිධ සමාජ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම, මිතුරන් සමග සම්බන්ධතා පැවැත්වීම මෙන්ම එක බොත්තමක් එබීමෙන් එම සම්බන්ධතා නතර කිරීමට ද ඉඩ ලැබී ඇත.

මිනිස් වර්ගයාගේ ප්‍රමුඛ මෙවලමක් බවට පත්ව ඇති අන්තර්ජාලයෙන් ප්‍රයෝජන බොහොමයක් ඇති නමුත්, එය අවභාවිත කරන විශාල පිරිසක් ද සිටීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කොටසක් විවිධ වංචාවලට හසු වීමේ ඉඩකඩ විවර වී තිබේ.

“අන්තර්ජාලය සම්බන්ධ ගැටලු වංචා නඩු සෑහෙන ප්‍රමාණයක් දැන් උසාවිවලට එනවා. ඇත්තටම ව්‍යාපාර ගණුදෙනුවලට විතරක් නෙමෙයි, දික්කසාද, ඉඩම් නඩු, අපරාධ නඩු යන සියල්ලටම සාක්ෂි ලෙස හෝ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ වෙන බොහෝ අවස්ථා තියෙනවා,” නීතිඥ ෆාතිමා නුස්රත් පැවසුවාය.

“කොහොම වුණත් භාණ්ඩ හා සේවා වංචාවක් සිදුවුණොත් මුලින්ම ඉතා ඉක්මණින් පාරිභෝගික සේවා පැමිණිලි අංශයට දන්වන්න ඕනේ. දැන් එයත් අන්තර්ජාලය හරහාම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වෙනත් වංචා සහ අපරාධයක් සිදු වුණා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුයි.”

“යම් වංචාවක්, අපරාධයක් සිදු වුණාම මූලික වශයෙන් සිදු කරන්න ඕනේ මේ දේවල්. නමුත් මිනිස්සු නොකරන්නෙත් ඒකමයි. රටේ ශක්තිමත් පැහැදිලි නීතියක් සහ ආයතන සැකසිලා තියෙද්දී, ඒවා ප්‍රයෝජනයට නොගැනීම කණගාටුවට කරුණක් සහ වංචාකාරයින් තවත් ශක්තිමත් කිරීමක්,” ඇය තවදුරටත් පැවසීය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් ගැන පසුගියදා විමර්ෂණයක් සිදු කෙරිණි.

එම ආයතනය රුපියල් 100 කට මිල නියම කර තිබෙන සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150ක් වන බී ලූනූ කිලෝවක් රුපියල් 500කටත්, රුපියල් 65ක් වන පරිප්පු කිලෝව රුපියල් 180කටත්, රුපියල් 92ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350කටත් අලෙවි කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් විය.

මෙම අධික මිල ගණන් යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමට එම වෙළෙඳ සමාගම පොරොන්දු වී තිබේ.

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවා ද?
මේ වන විට නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ගෘහ භාණ්ඩවල සිට අල්පෙනිති පෙට්ටිය දක්වා සියල්ල අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමේ පහසුකම තිබේ.

කොරෝනාවෛරස වසංගතය මැද ලොව පුරා සීමා පැනවීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම් පවා නිවසට සීමා වූ අතර, එම කාලය තුළ ‘ඇමසන්’ වැනි භාණ්ඩ විකුණන වෙබ් අඩවිවල ලාභය 40%කින් වැඩි වී තිබේ.

අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු ගැන පරිගණක ඉංජිනේරු රංගන කළුතන්ත්‍රි පැහැදිලි කළේය.

විශ්වසනීය වෙබ් අඩවියක් තෝරාගැනීම

භාණ්ඩ මිලදී ගැනීමේදී රට තුළ ජනප්‍රිය වෙබ් අඩවි කීපයක් ඇති අතර, eBay, Alibaba, Aliexpress වැනි විදේශීය සමාගම් හරහා ද තොග සහ සිල්ලර වශයෙන් භාණ්ඩ ඇණවුම් කළ හැකිය.

විශ්වසනීය වෙබ් අඩවියකට පිවිස තමන්ට කැමති භාණ්ඩයේ නම සෙවුම් කොටුවට ඇතුළු කළ යුතුය. එසේ නොහැකි නම් අදාළ භාණ්ඩයේ නම සහ එය ශ්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට අවශ්‍ය යයි ගූගල්හි ටයිප් කිරීමෙන් එම භාණ්ඩය ඇතුළත් වෙබ් අඩවි සියල්ලම පාහේ විවෘත වෙනු ඇත. ඒ අතරින් වඩාත් විශ්වාසදායක වෙබ් අඩවිය තෝරා ගැනීම ඔබ සතු වගකීමකි. ඒ සඳහා අදාළ වෙබ්අඩවිය පිළිබඳ ගූගල් ‘රිවීව්’ කියවීම වඩාත් උපකාරී වේ.

ගූගල් සෙවීම් උදාහරණ:

Buy dinner plates in Sri Lanka

Dinner plates to sell in Sri Lanka

Dinner plates prices in Sri Lanka

භාණ්ඩයේ මිල වෙනත් වෙබ්අඩවි සමග සංසන්දනය කිරීම
අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී යමෙකුට හිමිවන වැදගත්ම වාසිය නම් ඉතා කෙටි කාලයක් ඇතුළත එකම භාණ්ඩය විවිධ ආයතනවල විකුණන මිල ගණන් සංසන්දනය කිරීමට ඇති හැකියාවය. ඒ අතරින් මිල අඩුම හෝ වෙනත් වාසියක් ලබා දෙන විශ්වාසවන්ත ආයතනයකින් ඔබට අදාළ භාණ්ඩය ඇණවුම් කළ හැකිය.


වම්පස: වෙබ්අඩවියේ පළවූ ඡායාරූපය, දකුණු පස: පාරිභෝගිකයාට ලැබුණු ගවුම

ඇණවුමට පෙර විස්තර කියවන්න
භාණ්ඩයේ විස්තර මෙන්ම, වගකීම් සහතික, තැපැල් හෝ ප්‍රවාහන ගාස්තු, එයට ගතවන කාලය, ඔබ භාණ්ඩයට අකමැතිනම් එය ආපසු යැවීමේ ක්‍රියාවලිය ගැන සියලු විස්තර කියවා දැනගැනීම අත්‍යවශය කරුණකි.

මුහුණට මුහුණ හමු වී භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙළෙන්දා භාණ්ඩය සහ ඊට අදාළ සේවා විස්තර කළ ද, අන්තර්ජාලයෙන් මිල දී ගැනීමේ දී භාණ්ඩය ගැන දැනගැනීමේ සියලු වගකීම ඇත්තේ ඔබ සතුවය.

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක ඇතුළත් කිරීම අවධානයෙන්සිදු කරන්න

ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක සහ පෞද්ගලික දත්ත ඇතුළත් කළ පසු බොහෝ විට ස්වයංක්‍රීයව ඔබව වෙනත් වෙබ් අඩවියකට ඇතුළු කරනු ඇත. අදාළ ආයතන ගෙවීම් ලබා ගන්නේ මේ වෙබ්අඩවිය හරහාය. නමුත්, එම වෙබ්අඩවිය ආරක්‍ෂිත දැයි සොයා බැලිය යුතුය. එම වෙබ්අඩවි සබැඳියේ මුල https:// හෝ ‘ලොක්’ එකක ලකුණක් ඇත්නම් එය ආරක්‍ෂිත වෙබ් අඩවියක් ලෙස සැලකේ.

ගෙවීම් සම්පූර්ණ කර භාණ්ඩ ඇණවුම් කළ පසු ඔබට විද්‍යුත් පණිවිඩයක් ලැබෙන අතර, මිලදීගැනීමට අදාළ පරිග්‍රහණ අංකයක් (Reference number) එහි සඳහන් වේ. ප්‍රවාහනය ගැන තොරතුරු හෝ භාණ්ඩ නැවත යැවීමට අවශ්‍ය නම් මෙම පරිග්‍රහණ අංකය බොහෝ විට ඉදිරිපත් කළ යුතුය.

බදු සහ වෙනත් ගාස්තු ගැන දැනුවත් වීම
භාණ්ඩ මිලට ගැනීමේ දී යම් අතිරේක බදු මුදලක්, ගාස්තුවක් ගෙවීමට සිදුවේද යන්න පිළිබඳව ද සැළකිලිමත් විය යුතුය.

භාණ්ඩ ඇණවුම් සඳහා ඉන්ටර්නෙට් කැෆේ හෝ නොමිලේ ලබා දෙන WiFi භාවිත කිරීමෙන් වළකින්න

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේ දී තම සංවේදී පෞද්ගලික දත්ත බොහොමයක් ඇතුළත් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් හැකි සෑම විටම පෞද්ගලික උපකරණ ඔස්සේ පමණක් ගනුදෙනු සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස ඔබේ තොරතුරු පිටතට යෑම වළක්වා ගත හැකිය.

අවන්හල් වැනි ස්ථානවල මුරපදය (password) නොමැතිව ලබා දෙන WiFi හරහා මුදල් ගෙවීම් සිදු කිරීමෙන් වැළකිය සිටිය යුතුය.

වෙබ්අඩවියේ නියමයන් සහ කොන්දේසි ගැන අවධානයයොමු කරන්න
භාණ්ඩ මිල දී ගන්නා වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි (Terms & Conditions) සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය (Privacy Policy) කියවා අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට භාණ්ඩ, සේවා සහ පෞද්ගලික දත්ත සම්බන්ධ බොහෝ ගැටලු මඟ හැර ගත හැකිය.

වෙනත් වංචා ද බොහොමයි!

භාණ්ඩ හා සේවා පමණක් නොව තව බොහෝ වංචා ගැන ෆේස්බුක් සමාගම අනතුරු අඟවා ඇති අතර, එවැනි වංචනික දේ හඳුනාගන්නා ආකාරය ගැන ද උපදෙස් ලබා දී තිබේ.

ෆේස්බුක් සමාගමට අනුව:

ෆේස්බුක්හි වංචාවන් සිදුවන්නේ පරිශීලකයන් ව්‍යාජ ගිණුම් නිර්මාණය කළ විට හෝ පවතින ෆේස්බුක් ගිණුම් හෝ ඔබ ‘ලයික්’ කර ඇති පිටුවලට අනවසරයෙන් යම් පුද්ගලයෙක් ඇතුළු වූ විටය.

වංචාකරුවන් මෙම ව්‍යාජ හෝ හැක් කළ ගිණුම් භාවිත කර මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබා දීමට ඔබව පොළඹවයි.

ෆේස්බුක් ආයතනය දක්වන පරිදි පොදුවේ දැකිය හැකිය හැකි වංචා:

ආදරය සොයා පැමිණීම
‘රොමෑන්ටික්’ වංචාකරුවන් සාමාන්‍යයෙන් තමන් නොදන්නා අයට ආදරය හෝ ඒ හා සමාන දේ ඇතුළත් පණිවිඩ යවන්නේ බොහෝ විට දික්කසාද වූ, වැන්දඹුවක හෝ දුක්ඛිත විවාහයක සිටින බව මවාපාමිනි.

ගුවන් ගමන්, වීසා බලපත්‍ර හෝ පෞද්ගලික දේ සඳහා මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් මෙම වංචාකාරයන් අදාළ සබඳතා ගොඩනගා ගනු ඇත. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ඔබේ විශ්වාසය දිනා ගැනීම වන අතර, එබැවින් ඔවුන් මුදල් ඉල්ලීමට පෙර සති ගණනක් දිගටම සංවාද පවත්වනු ඇත.

“මට එක මනුස්සයෙක් දිගටම මැසේජ් එවන්න ගත්තා. මම මුලින් රිප්ලයි කළා. නමුත් පස්සේ එයාට මොලයේ ගෙඩියක් තියෙනවා ඒකට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියලා රුපියල් 5,000ක් ඉල්ලුවා. මම පළවෙනි පාර දුන්නා, නමුත් ආයෙත් ඉල්ලුවා. එතකොට මට තේරුණා මෙතන වංචාවක් තියෙන බව, මම ඉක්මණට එයාව බ්ලොක් කළා,” නම හෙළි කිරීමට අකමැති කාන්තාවක සිය අත්දැකීම් පැවසුවාය.

ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න

දිනුම් ඇදීමේ වංචා
දිනුම් ඇදීමේ වංචා බොහෝ විට සිදු කරනුයේ ඔබ දන්නා කෙනෙකු හෝ සංවිධානයක් (රජයේ ආයතනයක් හෝ ෆේස්බුක් වැනි) ලෙස පෙනී සිටින ගිණුම් හෝ පිටුවලින්ය.

ඔබ දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති අතර කුඩා අත්තිකාරම් ගාස්තුවකට ඔබේ මුදල් ලබා ගත හැකි බව මෙම පණිවිඩවලින් කියැවේ. පෞද්ගලික ලිපිනය හෝ බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස වංචාකරු ඔබෙන් ඉල්ලා සිටිය හැකිය.

ණය වංචා
කුඩා අත්තිකාරම් ගාස්තුවකට අඩු පොලී අනුපාතයකට ක්ෂණික ණය ලබා දෙන බව පවසමින් පණිවිඩ යැවීමට ණය වංචාකරුවෝ ක්‍රියා කරති.

රහසේ ගිණුමට ඇතුළුවීම:
ඔබගේ ෆේස්බුක් ගිණුමට හෝ පිටුවට ප්‍රවේශය ඉල්ලා සිටින සබැඳියක් (link) ඔබට ලැබීමට ඉඩ ඇත. මෙය නීත්‍යානුකූල යෙදුමකින් ආවා සේ පෙනෙන නමුත්, ඒ හරහා ඔබගේ ගිණුමට ප්‍රවේශය ලබා ගැනීමට සහ ගිණුම හරහා වංචනික දේ ව්‍යාප්ත කිරීමට හැකිය.

රැකියා වංචා
රැකියා වංචාකරුවන් ඔබේ පෞද්ගලික තොරතුරු හෝ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා නොමඟ යවන හෝ ව්‍යාජ රැකියා පළ කිරීම් භාවිත කරයි.

ඕනෑවට වඩා හොඳ යැයි හැඟෙන ඇබෑර්තු දැන්වීම් හෝ රැකියාව ලැබීමට පෙර මුදල් ගෙවීමක් සිදු කළ යුතු යැයි සඳහන් දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. රැකියා දැන්වීම් සබැඳියක් ක්ලික් කරන විට, ඉන් පෙර පළ කර ඇති දැන්වීම් හා සම්බන්ධ නැති, නැත්නම් සංවේදී පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවි ගැන විමසිල්ලෙන් සිටින්න.

අවධානයෙන් සිටිය යුතු දේවල්

# ඔබ පෞද්ගලිකව නොහඳුනන පුද්ගලයන්.

# ණයක්, ත්‍යාගයක් හෝ වෙනත් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා මුදල් එවන්නැයි ඔබෙන් ඉල්ලා සිටින පුද්ගලයින්.

# රැකියාවකට ඉල්ලුම් කිරීම සඳහා ගාස්තුවක් ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින ඕනෑම අයෙක්.

# විශාල සමාගම්, සංවිධාන හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් නියෝජනය කරන ව්‍යාජ පිටු.

# ෆේස්බුක් ඔස්සේ ආරම්භ කෙරුණු සංවාදය වෙනත් පණිවිඩ හුවමාරු ක්‍රමයට මාරු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටින පුද්ගලයන්.

# හදිසි අවස්ථාවකදී මිතුරෙකු හෝ ඥාතියෙකු යැයි කියා ගන්නා පුද්ගලයන්.

# තමන් සිටින තැන නිවැරදි ලෙස නිරූපණය නොකරන පුද්ගලයින්. යමෙකු ඔවුන්ගේ ජංගම දුරකථන අංකය භාවිත කරමින් මැසෙන්ජර් සඳහා
ලියාපදිංචි වුවහොත්, ඔවුන්ගේ දුරකථන අංකය කුමන රටකට අයත් දැයි ඔබට පරීක්ෂා කළ හැකිය.

# එමෙන්ම, ව්‍යාජ පිටුවක් යැයි ඔබට සැක සිතන්නේ නම්, එම පිටුවේ ද ස්ථානය පරීක්ෂා කළ හැකිය.

# දුර්වල අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ වැරදි සහිත පණිවිඩ හෝ සටහන්.

පොලිසියට පැමිණිලි
සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මුදල් වංචා කිරීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය 2020 සැප්තැම්බර් මස නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට මෙම පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

තායිලන්තයේ රැකියා පුරප්පාඩු ගැන ප්‍රචාරය කර මුදල් වංචා කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ගැනත්, පුද්ගලයෙකු මෝටර් රථයක් දිනාගෙන ඇති බවට පවසමින් ව්‍යාජ පණිවිඩ යවා යම් බැංකු ගිණුමකට මුදල් මාරු කරන ලෙස ඉල්ලා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

මීට අමතරව, වංචනික විවාහ යෝජනා, පිටරට සිට එවූ තෑගි රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙසටත් ඉල්ලමින් පණිවිඩ ලැබී ඇති බවට ද පැමිණිලි ලැබී තිබේ.

සංවිධානාත්මක කණ්ඩායම් සිදු කරන මෙවැනි මුදල් වංචාවන්ට ගොදුරු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය

මහ බැංකු නිවේදනය
සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සහ වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තිබේ. වර්තමානයේ දී, මෙවැනි ආකාරයේ වංචාවන්හි වැඩි වීමක් නිරීක්ෂණය වී තිබෙන බව 2019 නොවැම්බර් 21 වෙනිදා නිකුත් කළ මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.

මෙම වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව එහි සඳහන් වේ.

එවැනි ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය අතරතුර, වංචාකරුවන් බැංකු ගිණුම් අංක සහ පෞද්ගලික හැඳුනුම්පත් අංක වැනි රහස්‍ය තොරතුරු බෙදා ගැනීමට මහජනයා පොළඹවයි. පුද්ගලයන්ගේ ගිණුම් වෙත පිවිස මුදල් සොරකම් කිරීමට වංචාකරුවෝ මෙම රහස්‍ය තොරතුරු යොදා ගනිති.

මෙම වංචා පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු රහස්‍ය තොරතුරක්, විශේෂයෙන් ගිණුම් පරිශීලක නාම, මුරපද, PIN, OTP (One-Time-Passwords) හෝ ගිණුමට පිවිසීම සඳහා අවශ්‍ය වෙනත් තොරතුරු කිසිවෙකු සමඟ බෙදා නොගන්නා ලෙස මහ බැංකුව තරයේ අවවාද කරයි.

ගිණුමේ ක්‍රියාකාරකම් කෙටි පණිවුඩ ඔස්සේ ලබා ගත හැකි සේවාවන් සිය බැංකුව හෝ මූල්‍ය ආයතනය ඔස්සේ ලබා ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වේ. මෙමගින් ගිණුමේ යම් සැකසහිත ක්‍රියාකාරකමක් ගැන ක්ෂණිකව දැන ගැනීමට හැකිය.

2021 ජනවාරි 21 දින නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූලම්‍ය වංචා ගැන වඩාත් සැළකිලිමත් වන ලෙසය.

ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න:

අධ්‍යක්ෂ ජනරාල්,

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,

අංක 27,

වොක්ෂෝල් වීදිය,

කොළඹ 02.

ක්ෂණික ඇමතුම් 1977

පැමිණිලි අංශය 011-7755481-2-3

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/CAASriLanka

පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුළතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුළතදීය.

පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?

පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ) අත්සන තැබිය යුතුය.

පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කවර ස්ථානයටද?

පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද?

පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කළ යුතුය.

– BBC

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *