පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි
පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සලකා බලා, උන්වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව ඊයේ(30) නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් වර්තමානයේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව අදාළ පාර්ශවයන්ද කැඳවා මේ පිළිබඳව කරුණු විභාග කිරීමක් සිදු කර තිබුණූ බව එම නිවේදනයෙහි සඳහන්.
ඊයේ (30) දින රැස් වූ මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේදී, පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුවේ සාමාජිකයෙකු මෙන්ම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරය දරන, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක වහන්සේව, අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද මෙම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.




