මේ වගේ තව අවුරුදු පහක් ගියොත් අපේ රට එහෙම පිටින්ම කාන්තාරයක්

පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ

පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ

ස්වාභාවික වනාන්තර දිගින් දිගටම විනාශ කරනවා:
ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි
කොළඹ නගරය විතරක් නොවෙයි. තව ටික දවසකින් මුළු රටේම ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙලා මිනිස්සුන්ට හුස්ම ගන්න විදියක් නැතිව තැන තැන මියයාමට සිදුවනු ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ මේ බැව් සඳහන් කළේ ‘කොළඹ ඔක්සිජන් ප්‍රතිශතය පහළට’ යන හිසින් ඊයේ (05) පුවත්පත් කීපයක පළ වූ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමියෝ මෙසේද කීහ.වායු දූෂණය වගේම ශබ්ද දූෂණය අතින් කොළඹ නගරය, මහනුවර නගරය දැඩි ලෙස බලපෑම් ඇති කරන නගර හැටියට හඳුන්වන්න පුළුවන්. අද රටට බරපතළ පරිසර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ වන විනාශය බව අපි කවුරුත් දන්නවා. මේ ව්‍යසනයට මේ රටේ මේ දක්වා පාලනය කරපු දේශපාලනඥයෝ වග කියන්න ඕනෑ. ඒ වගේම පරිසරයට ආදරය නොකරන ජාවාරම්කාරයොත් මේ විනාශයට වගකිව යුතුයි. පහුගිය කාලෙ අපි දැක්ක විල්පත්තුවට කරපු විනාශය. මේ වගේ රටේ ස්වභාවික වනාන්තර කොතරම් ප්‍රමාණයක් අවුරුද්දකට විනාශ කරනවද? මෙහෙම තව අවුරුදු පහක් ගියවිට ලංකාව එහෙම පිටින්ම කාන්තාරයක් වෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමියෝ මෙසේද කීහ.

ගහක් කපන්න නම් තත්පර ගානකින් පුළුවන්. එක කියත් පාරකින් අවුරුදු සිය ගණනක් සෙවණ දුන්න ගහක් බිම දාන්න පුළුවන්. ඒත් ගහක් වැවෙන්න කෙතරම් කාලයක් ගත වෙනවද? මේ තත්ත්වය තේරුම් ගන්නේ කවුද? ගස් විතරක් නොවෙයි. කළුගල්, වැලි, මැටි ඇතුළු ස්වභාව ධර්මය දුන්න සම්පත් දවසකට කොයිතරම් අපේ මිනිස්සු විනාශ කරනවද?

කොළඹ නගරය අද එහෙම පිටින්ම කොන්ක්‍රීට් පුරයක් වෙලා. දවසකට වාහන ලක්ෂ දෙකක විතර කාබන්, ඊයම් වැනි දුම්වලින් කොළඹ වාතය දූෂණය වෙනවා. මේ අපිරිසුදු වාතය ආශ්වාස කරන මිනිස්සු ටික දවසකින් ලෙඩ වෙනවා. ස්වසන ආබාධ විතරක් නොවෙයි පිළිකා වැනි දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වෙලා අකාලයේ මිනිස්සු මැරිලා යනවා.

සෑම පුරවැසියෙක්ම මේ රටේ කොතැනක හෝ ගසක් සිටුවන්න දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සකස් කරන්න කියා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් එකවර මේ රටේ ගස් දෙකෝටියකට අධික ප්‍රමාණයක් සිටුවන්න හැකි වන බවද රාහුල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *