ඉරණතිව් දූපතේ ආසාදිත මෘත දේහ භූමදානය!

ඉරණතිව් දූපතේ ආසාදිත මෘත දේහ භූමදානය!

ඉරණතිව් දූපතේ ආසාදිත මෘත දේහ භූමදානය!

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ ද කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ බැහැරකිරීමේ ගැටලුව තවමත් අවසන් වී නැති බවට මුස්ලිම් ප්‍රජාව මැසිවිලි නගති. ඔවුන් පවසන්නේ රජය මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු සාධනීය පියවරක් නොගෙන දිනෙන් දින කල්මරණ බවය.

ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවක

රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් (මාර්තු 3) විරෝධතාවක් ඇරඹීමත් සමඟම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී.

කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට ඉරණතිව් දූපතේ හාරන ලද බවට සැක සහිත වළවල් කිහිපයක් එහි ප්‍රදේශ වාසීන් පිරිසක් විසින් වසා දමනු ලැබ ඇත.

තව ද කොරෝනා මරණ එම දූපතේ භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් ප්‍රදේශ වාසීන් යාපනයේ පහිටි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

රජයේ ස්තාවරය

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාර්තු (02) පැවසුවේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසුවේ ඉරණතිව් දුපතේ ද ජනතාව ජීවත් වන අතර ඔවුන් භූගත ජලය භාවිත කරන බැවින් මෙම තීරණය එම ජනතාවට කෙසේ බලපාන්නේද යන්නයි. එසේම භූමදානය වෙනත් ස්ථානවල කළ නොහැක්කේ මන්ද යනුවෙන් ඔවුහු තවදුරටත් ප්‍රශ්න කළහ.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඔහු ඒ පිළිබඳව අදාළ විශේෂඥ කමිටුවට දැනුම්දෙන බවකි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවක් පමණක් නොව ශ්‍රී ලංකා ජාතියේ ද අවශ්‍යතාවක් ලෙස සළකා බුද්ධිමත් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ස්තූතිය ප්‍රකාශ කරමින් ට්විටර් සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් වැඩිදුරටත් සඳහන් කළේ “ජෛව අපද්‍රව්‍ය සඳහා සුසාන භූමියක් ලෙස” ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය.

වර්ග කිලෝමීටර හයක් පමණ වන දුපත් දෙකකින් සමන්විත මන්නාරමට එපිටින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපතේ මේ වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 108ට අයත් පුද්ගලයින් 335 දෙනෙකු පමණ වාසය කරන බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, පෙන්වා දෙන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවය. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු එම දූපතේ භූමදානය කිරීමට එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් දක්වන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ අදහස

රවුෆ් හකීම්
රවුෆ් හකීම්

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවය. එය කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි.

“දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අවසානයේ, රජයේ වෙන් කිරීමේ ක්‍රියාමාර්ග නිසා එකතුවෙලා .එය හොදටම පේනවා පසුගියදා පැවති පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ විරෝධතාවයෙන්. මෙම ප්‍රජාවන් දෙක එකට එකතු වී ඇති බව ඔවුන් දැක්ක නිසා ඔවුන් එයට භීතියට පත්වෙලා දැන්. මෙය ඔවුන්ගේම නාට්‍යයක්,”යනුවෙන් රවුෆ් හකීම් බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් හා ද්‍රවිඩ ජාතින් භේද කිරීමට දරන උත්සාහයක් “සාමාන්‍ය රාජ්‍ය බුද්ධි මෙහෙයුමක්” ලෙස ද ඔහු හැඳින්වීය.”අපි දන්නවා ඔවුන් අපි එකිනෙකාට එරෙහිව ජනතාව ධ්‍රැවීකරණය කිරීමට උත්සාහ කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පවා සමත් වූයේ කොහොමද කියලා. අපි දන්නවා මධ්‍යස්ථ සිංහලයන් සිටින බව, මම හිතන්නේ මේ රටේ දෙමළ හා මුස්ලිම් නායකත්වයේ පරිණතභාවය නිසා හා දුරදක්නා නුවණ නිසා අපි මෙන්ම සිංහල ප්‍රජාවේ බහුතරයක් ද මෙම ලාභ දේශපාලනයට වැටෙන්නේ නැති බව.””මෙය ඔවුන්ගේ ලාභ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ. ඔවුන් සිතන්නේ එවැනි දේ කිරීමෙන් ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඔවුන්ට හැකි බවයි,” යනුවෙන් ද රවුෆ් හකීම් පැවසීය.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා විකල්පයක් ඉල්ලයි

කොරෝනා වයිරසය හේතුවෙන් මියයන අයගේ මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේද සලකා බැලීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අවධානයට ලක් කළ බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

මේ තීන්දුව හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවක් මතුව ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු වෙත දැනුම්දී තිබේ.

මෑතක සිට ඉරණතිව් දූපතේ වාසය කරන ජන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර නාවික හමුදාවද එම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටින බව පෙන්වා දී ඇති දේවානන්දා මහතා එහෙයින් ඉරණතිව් ප්‍රදේශය මෙවැනි කටයුත්තකට යොදා ගැනීම නුසුදුසු බව පෙන්වා දී ඇත.

මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඉරණතිව් ප්‍රදේශයේ මෑතකදී ආරම්භ කර ඇති බවත් එමඟින් අමෙරිකානු ඩොලර් මිලියන 25ක විදේශ විනිමයක් අපේක්ෂා කරන බවත් පවසා ඇති දේවානන්ද මහතා මේ සියලු ව්‍යාපෘති අඩපණ වීමේ ඉඩක් මෙවැනි තීන්දු හේතුවෙන් මතු විය හැකි බවත් පවසා තිබේ.

කෙසේවෙතත්, ඇතැම් සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචනය වී ඇත්තේ, ජිනීවා හි මතුවන තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ලිඛිතව ප්‍රකාශ කළ ද ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොකෙරෙන තැනට පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ඉදිරි පැය 48 තුළ දී ලැබෙතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *