ජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!

ජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!

ජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!

චූදිතයින් විසි දෙදෙනෙකුට අදාළ නඩු 79ක් වීසි කර එම චූදිතයින් නිදොස් කොට නිදහස් කරන ලෙසට දේශපාලන පළි ගැනීම් පිළිබඳව කරුණු සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිසම ලබා දී ඇති කැකිල්ලේ තීන්දුව ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඊළඟ මැතිවරණයට පෙර සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්‍ෂෙය් තෝරා ගත් ප්‍රමුඛ පුද්ගලයන් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඒකාධිපතිත්වයකට පාර කැපීමට රජය ක්‍රියා කරමින් සිටින බවට චෝදනා කළ කරු ජයසූරිය මහතා යුක්තිය, සාධාරණය සහ මිනිස්කම වෙනුවෙන් ඊට එරෙහිව ජනතාව පෙළ ගස්වමින් අඛණ්ඩවම සටන් කරන්නේ යැයි ද කියා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ “ජානකී” හෝටලයේ දී බදාදා (03) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව පැවැසූ දේශබන්දු කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් මෙසේද කීය.

ඕනෑම රටක අතීතය දෙස බැලීමේදී බොහෝ වැරදීම් සිදුවී තිබිය හැකියි. එහෙත් රටක අනාගතය යහපත් වීමට නම්, එම වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන එකී වැරදි නැවත සිදු නොවීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. රටක් ලෙස අප අතීතයේ දී සිදු කළ යම් වැරැද්දක ප්‍රතිවිපාක මනා සේ ඇස් පනාපිටම දැක තිබියදී එම වරද නැවත නැවත කරන්නේ නම් ඒ තරම් අභාග්‍යයක් තවත් නැහැ. එසේ වන්නේ නම්, එම ක්‍රියාව දැන දැනම චේතනාන්විතවම ජාතියට කරන බලවත් අපරාධයක් බව කිව යුතුයි.

1978 වර්ෂයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර සිරිමාවෝ බන්ඩාරණායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට 5/6 ක බලයක් තිබූ ජේ.ආර්.ජයවර්ධන රජය සූදානම් වූ අවස්ථාවේදී එදා එම ක්‍රියාදාමය පාර්ලිමේන්තුව අනුමත කළත් සමාජයේ බොහෝ කොටසක් එම ක්‍රියාව අනුමත නොකළ බව අපට මතකයි. ආණ්ඩුව අභ්‍යන්තරයේ ද ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ වුණා. ගාමිණි දිසානායක මැතිතුමා ඇතුළු කිහිප දෙනෙක් එහිදී පෙරමුණ ගත්තා.

එම සිද්ධියෙන් අවුරුදු හතළිස් ගණනකට පසු අද වැනි කාලයක එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයක් යළි දකින්නට වේයැයි අප කවුරුත් සිතුවේ නැහැ.
පිරිසිදු සහ විනිවිද භාවයෙන් යුතු පලිගැනීමෙන් තොර පාලනයක් සඳහා වරම් ලබා ගත් වර්තමාන රජය එවැනි ක්‍රියාදාමයකට යොමුවේ යැයි මේ රජය බලයට පත් කළ කිසිවෙකු හෝ සිතුවේ නැහැ. අප පවා එසේ සිතුවේ නැහැ.

නමුත්, අතිශය බරපතළ ප්‍රතිවිපාක ළඟා විය හැකි එම ශෝචනීය මොහොත උදා වන ආකාරයක් අද වන විට දකින්නට තිබෙනවා. “වියත් මඟ”, “එළිය” සහ “යුතුකම” ආදී ආණ්ඩුවට හිතවත් විවිධ සංවිධාන ජනතාවට පොරොන්දු වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශමත් පාලනයක් පිළිබඳවයි. ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයාට ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නේ ඒ නිසායි.

එහෙත්, අද වන විට එම ජනතාවගේ අපේක්ෂා බොඳවී ගොස් තිබෙනවා. ඒ නිසා එදා වර්තමාන පාලනයට පදනම දැමූ හැට නව ලක්ෂයක් වූ ජනතාව අතරින් බොහෝ දෙනෙක් අද වන විට කම්පා වෙමින් සිටිනවා. සිදු වන්නට යන මේ ව්‍යසනයෙන් රට මුදවා ගන්නට මැදිහත් වන ලෙස ඔවුන් අද අපෙන් ඉල්ලා සිටිනවා.

මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වෙන්නේ සමාජයේ විවිධ කොටස්වලින් ඉදිරිපත් වන එම ඉල්ලීම් සහ විරෝධතාවන්ද සැලකිල්ලට ගෙනයි. රජයේ අරමුණ මේ වන විට අපට පැහැදිළිව පෙනෙනවා. ඔවුනට අවශ්‍ය වන්නේ ඊළඟ මැතිවරණයට පෙර සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සේම දෙමළ ජාතික සංවිධානය ඇතුළු මුළු විපක්‍ෂෙය් තෝරා ගත් ප්‍රමුඛ පුද්ගලයන් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකාධිපතිත්වයකට පාර කැපීමටයි.

පැවැති රජය කාලයේ විපක්‍ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා එල්ලවීම සහ ඒ පිළිබඳව ඇතමුන්ට ඇති වූ සිත් වේදනා ගැනත් බොහෝ දෙනෙකුට බොහෝ දේ කිව හැකියි. නමුත්, මේ රජය මේ වන විට කරමින් සිටින්නේ එළිපිටම දේශපාලන පළි ගැනීම් වැලකට අර ඇඳීම බව පැහැදිළිවම සඳහන් සඳහන් කළ යුතු වෙනවා.

අතිගරු ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලෙස සමාජ ගත වී ඇති වාර්තාව අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවිීණයන් සහ අනෙකුත් බොහෝ වියතුන්ගේ මතය වන්නේ ද එම වාර්තාව මගින් කර ඇති නිර්දේශ අධිකරණයට අපහාසයක් බවයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ එම අවසන් වාර්තාව මගින් මේ රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ද ඇතුළු අවංකව රාජකාරී කටයුතු සිදු කළ සමහර රාජ්‍ය නිලධාරින් විනාශ කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව අපට පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා. මෙම කොමිසම ලබා දුන් නිර්දේශ සමාජයේ විහිළුවක් බවට පත්ව තිබෙනවා. ඒ බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි. එමගින් සිදු කර ඇත්තේ මේ රටේ ජනතා අවධානය දිනා ගත්, අධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබෙන නඩු ගණනාවකම චූදිතයෝ නිදොස් කොට නිදහස් කරන්නට නිර්දේශ කරමින් පැමිණිලිකරුවන්ට දඬුවම් කරන්නට යෝජනා කිරීමයි.

ජනප්‍රවාදයේ සඳහන් වන කැකිල්ලේ රජු වත් එවැන්නක් කර ඇතැයි සිතන්නට බැහැ. එහෙත් මෙම කොමිෂන් සභා වාර්තාව මගින් චූදිතයින් 22ක් නම් කර නඩු 79ක්ම ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම නඩු පැවරූ අයට දඬුවම් කරන ලෙසත් නිර්දේශ කර තිබෙනවා. මෙම කොමිෂන් සභා වාර්තාව මඟින් මේ ආකාරයට චූදිතයන් නිදහස් කරන්නටත්, පැමිණිලි කරුවන්ට දඬුවම් කරන්නටත් යෝජනා කරන බොහෝ නඩු ඒ ඒ අධිකරණ හමුවේ පවරන්නට එදා උපදෙස් දී ඇත්තේ රජයේ නීතිපති විසිනුයි.

එමෙන්ම, පසුගිය රජය සමයේ දී දූෂණ විරෝධී කටයුතු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලද්දේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව බවත් සඳහන් කළ යුතුව තිබෙනවා. මෙම කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් ආදිය ගැන අදහස් ප්‍රකාශ කිරීම අපට අයිති කාර්යයක් නොවුවත් ශ්‍රී ලංකා ජන සමාජයේ මේ ගැන විවිධ මත තිබෙන බවත් සදහන් කළ යුතුයි.

මෙම කොමිසම මගින් දඬුවම් කරන්නට, එහෙම නැත්නම් ප්‍රජා අයිතිය අහිමි කරන්නට සූදානම් වන දේශපාලන නායකයන් ගැන අප අඩු අවධානයක් යොමු කරනවා නොවේ. නමුත්, කොමිසම මගින් දඬුවම් පැමිණවීමට යෝජනා කරන දක්‍ෂ සහ කැපවුණු අවංක රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ගැන මේ මොහොතේ වැඩි අවධානයක් යොමු කරන්න අප කැමතියි.

මේ අවස්ථාවේ දී ඒ අතරින් නම් දෙකක් ගැන හෝ සඳහන් කිරීම අපගේ යුතුකමක් බව සිතනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඒ අතරින් එක් අයෙකු බව කිව යුතුයි. ඔහු ඉතා දක්‍ෂ සහ අවංක දේශපාලන ගැතිකම් නොකළ ස්වාධීන රාජ්‍ය සේවකයෙක් ලෙස හැඳින්විය හැකියි. අවාසනාවකට වගේ අද වන විට ඔහු අසාධ්‍යව සිහිසුන්ව ප්‍රතිකාර ලබනවා. ගෙවුණු වකවානුවේ දී ඔහු විශාල මානසික පීඩනයකට ලක් වුණා. මේ වන විට ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිනවා.

අනෙක් නිළධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකරයි. ඔහු විශිෂ්ඨ ගණයේ පොලිස් නිලධාරියෙක් බව රටම දන්නවා. මෑත යුගයේ දී බොහෝ අභිරහස් ඔහුගේ දක්ෂතාවය නිසා හෙළි කර ගැනීමට හැකි වුණා. මිනිස් ඝාතන සහ මංකොල්ලකෑම් රැසක් ඒ අතර තිබෙනවා. අන්තර්ජාතික පොලීසියේ (INTERPOL) අධ්‍යක්‍ෂකවරයෙකු වරක් ඔහු හැඳින් වූයේ ලෝකයේ සිටින විශිෂ්ඨ ගණයේ පොලිස් නිලධාරියකු ලෙසටයි. නමුත් ඔහු අවංකව කළ සමහර පරීක්ෂණ නිසා බලවතුන් ඔහුට එරෙහි වුණා. ඔහු ජීවත් වන කුලී නිවසේ කාමර සහ පැරණි ගෘහ භාණ්ඩවල ඡායාරූප පසුගියදා ඇතැම් මාධ්‍යන්හි පළ වුණා. ඔහු ගෙවූ සාමාන්‍ය ජීවිතය එමගින් තේරුම් ගත හැකියි. එහෙත්, ඔහුගේ ලේ ඉල්ලූ කොටසක්ද සිටියා.

මේ සියල්ලටම වඩා පළි ගැනීම උදෙසා ඇතමුන් අභ්‍යන්තරයේ තිබූ අරමුණුවල කෲරත්වය අපට තේරුම් ගියේ පොලිස් කොමිසමද නිර්දේශ කළ ඔහුට ලැබිය යුතු දීමනා ද නොදීම නිසයි. මේ ගැන වග කිව යුතු නිලධාරීන් ලැජ්ජා විය යුතුයි. නිත්‍යානුකූලව ඔහුට ලැබිය යුතු දීමනා ඔහු වෙත ලබා දෙන ලෙස මනුශ්‍යත්වයේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප මේ කරුණු සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම මේ මොහොතේ අතිශයින්ම වැදගත් වන බව අප තේරුම් ගෙන ඇති නිසයි. යුක්තිය, සාධාරණය සහ මිනිස්කම රැකදීම වෙනුවෙන් ඕනෑම මොහොතක අප පෙරට එනවා. පටු බල දේශපාලනික අරමුණක් හෝ වෙනත් සැඟ වුණු න්‍යාය පත්‍ර අප සංවිධානයට ඇත්තේ නැහැ. සත්භාවයෙන් කෙරෙන මෙම අදහස් බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මෙම කරුණු ගැන මුළු රටම අවදියෙන් සිටින බවත් සඳහන් කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *