කොළඹ වරායේ බටහිර 85%ක්ම ඉන්දියාවේ අදානි සමාගමට, නැගෙනහිර අයිතිය 100%ක්ම වරාය අධිකාරියට

තොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරියට, බටහිර පර්යන්තයේ 85%ක්ම ඉන්දියාවේ අදානි සමාගමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දුව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පූර්ණ හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි. ඒ, පෙබරවාරි 01 වන දින දහවල් අරලිය ගහ මන්දිරයේදි වරාය වෘත්තිය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය පෙබරවාරි 02 වන දිනයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව එහිදී මාධ්‍යයට අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවා.

“අග්‍රාමාත්‍යවරයා අපිට දුන්න පොරොන්දුව හෙට දිනයේ ඉෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ. අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙන දෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ. “ යනුවෙන් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

මේ අතර, විෂයභාර අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන පැවසුවේ මෙම තීරණයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් මෙලෙස අදහස් දැක්වීය.

“මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ සාකච්ඡා ඇති කිරීම සඳහා කමිටුවක් පත්කළා. ඉන්දියානුවන් විසින් නම් කරන සමාගම සමග සාකච්ඡාවලින් අනතුරුව. ඒ අනුව එම සාකච්ඡා කමිටුව විසින් ඊයේ දවසේ දී මට ඒ වාර්තාව ලබා දුන්නා. පැහැදිලිව පේනවා ඒ ඉදිරිපත් කරන කරුණුවලට ඉන්දියාව එකඟ නොවන බව. ඒ වාර්තාව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග මම සාකච්ඡා කළා. ඒ වෙලාවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි සියයට සියයක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා.”

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් එයට එරෙහිව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇති අතර එය මේ වන විට අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එවැනි පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනවාරි 31 වන දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය අනුවයි පෙබරවාරි 01 වන දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණේ.

වරාය නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිතව ලියවිල්ලක් ලබා දෙන ලෙස මෙම සාකච්ජාවේදී වෘත්තීය සමිති නායකයින් අගමැතිවරයා වෙත කියා සිටිය ද එහිදී අගමැතිවරයා කියා සිටියේ සිය 50 වසරක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනක තමන් ඒවා ලිඛිතව ලබාදී නොමැති බවයි. තමන් යමක් ප්‍රකාශ කලොත් එය ඒ අයුරින්ම ඉටුකරන බවට ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළා.

අගමැතිවරයා ලෙස තමන් රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් තමන් ගන්නා තීරණ සාකච්ජාවලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවන බවද මෙහිදී ප්‍රකාශ කර සිටියා.

එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවයි. එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා.

‘ද හින්දු’ පුවත්පතේ වාර්තාව

ලංකාවේ ආණ්ඩුව වෘත්තීය සමිතිවල බලපෑමට යටවී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය වෙත පැවරීමට තීන්දු කර ඇති බව ඉන්දියාවේ පළවන ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත්පත පෙන්වා දෙන්නේ මේ හරහා ඉන්දියාව හා ලංකාව අතර පැවැති ගිවිසුම්ගත එකගතා පවා කඩවී ඇති බවකි.

කෙසේවෙතත් මෙම තත්ත්වය යටතේ ඉන්දියාව හා ලංකාව අතර නව අර්බූදයක් නිර්මාණය වීමේ පසුබිමක් මතුවීම නොවැළැක්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

කැබිනට් පත්‍රිකාව සම්මතයි
තොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතුව තබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගත්තද බටහිර පර්යන්තයේ 85%ක්ම ඉන්දියාවේ අදානි සමාගම වෙත පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාවද සම්මත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව බටහිර පර්යන්තයෙන් වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටස් ප්‍රමාණයකි.

කෙසේවෙතත් ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබුණේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත පැවරීමටය.
නමුත් ජනතාවගෙන් සහ වෘත්තීය සමිතිවලින් එල්ල වූ දැඩි විරෝධය හේතුකොටගෙන එම තීන්දුව හකුලා ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *