නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳව තොරතුරු පළකරන ‘අදානි වොච්’ (Adani Watch) වෙබ් අඩවිය වාර්තා කර ඇති බව මෙරට මාධ්‍යය අනාවරණය කර තිබේ.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් 2020 ජනවාරි 06වැනිදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මිට අදාළ එකඟතාවට පැමිණ ඇතැයිද එහි සඳහන්වේ. දැනට ඇනහිට ඇති පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ව්‍යවසායක් හරහා සංවර්ධනය කිරීම මෙම එකඟතාවේ අරමුණ බවද එහි වාර්තා කර ඇත .කෙසේවෙතත් කොළඹ වරාය වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව එම උත්සාහයට විරෝධය පළකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

“2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.කෙසේවෙතත් 2019 නොවැම්බරයේ නව රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව, විදේශීය රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

කෙසේවෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදානි සමූහයට නැගෙනහිර පර්යන්තය පිරිනැමීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශවී ඇත. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මිට අදාළව අත්සන් කරන ලද කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.”යැයි ‘අදානි වොච්’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන තීරණයට එරෙහිව මතයන් දැඩ් වෙමින් පවති:

විජයදාස ආණ්ඩුවට එරෙහිව
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහිව මත පල කර තිබේ.
“විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අයට ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදන් වන බව” ඔහු සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බවද ඒ මහතා කියා සිටියි. නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බවද ඔහු කියා සිටියේය.

නාලක ගොඩහේවාට දැඩි විරෝධය
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව මේ වනවිට වරාය පරිශ්‍රයේ පැවැත්වෙන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින වරයා සේවකයන් හමුවීමට (29) දහවල් කෑම පැයේදී ගිය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට සහ අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතාට එම සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මෙම විරෝධය හේතුකොටගෙන ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු වික්‍රම මහතා ආපසු හැරී පැමිණ ඇති බවද වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට වර්ජකයන් මැදට ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු මහතා ගොස් ඇත්තේ ආණ්ඩුවේ පණිවුඩයක් රැගෙනය.

ඒ අනුව එම පණිවුඩය වර්ජකයන්ට දැනුම් දීමට ප්‍රථම ගොඩහේවා මහතා වර්ජකයන් හමුවේ වරාය ඉන්දියාවට පැවරීමට ඉකුත් ආණ්ඩුව සමයේ ගත් තීන්දුව සම්බන්ධයෙන් දීර්ඝ කතාවක් කිරීම ආරම්භ කොට තිබේ. නමුත් මෙහිදී කලබලයට පත්ව ඇති උද්ඝෝෂකයන් දිගින් දිගටම ගොඩහේවා මහතාට විරෝධය පළකොට කෑ කෝ ගැසීමත් සමග ආරක්ෂක අංශ විසින් ඔවුන් දෙදෙනා ආරක්ෂා සහිතව වරාය පරිශ්‍රයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව දැනගන්නට ඇත.

මේ තත්ත්වය උඩ ආණ්ඩුවෙන් රැගෙන ආ පණිවුඩයද වර්ජකයන්ට ලබා දීමේ අවස්ථාව පවා මග හැරී ගොස් ඇති බව පැවසේ. කෙසේවෙතත් ගොඩහේවා මහතා රැගෙන විත් තිබූ පණිවුඩය වී ඇත්තේ වර්ජකයන්ට ආණ්ඩුව සමග තවත් සාකච්ජා වටයක් ලබා දීමට හැකියාව පවතින බවකි.

විමල්ගෙන් දැඩි තීන්දුවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන කැබිනට් පත්‍රිකාව සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඒසම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට පියවර ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා (31) දිනයේදී විශේෂ රැස්වීමක් විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න යන මහත්වරුන්ට ආරාධනා කර ඇති බවද දැනගන්නට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *