මානව හිමිකම් සම්බන්ධයෙන් අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසිලා – UN මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය
මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පැවසුවාය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමිනි.
එමගින් ඇය පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විශ්වණීයත්වයෙන් යුතු චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කොට ඔවුන්ට සංචාරක තහනම් පැනවීමට ද ක්‍රියා කළ යුතු බවය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව (27) ජිනීවා නුවරදී ඉදිරිපත් කර තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ලබන පෙබරවාරි 22වැනි දා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකය.
ඇය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවය.
රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි අනතුරුදායක ප්‍රවණතා පසුගිය වසරේ දක්නට ලැබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
නව රජයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීම ගැනත් ඇය සඳහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර එමගින් ආපසු හැරී ඇති බවය.
එමඟින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්ව තිබේ.
සන්නද්ධ යුද්ධය අවසන් වී වසර 12ක් ගත වූවද, දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධවූවන්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර, එවැනි පරීක්ෂණ හා නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටින බව ඇය පවසයි.
එමඟින් පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමක් සිදුවන බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කරයි.
ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත්කර ඇති බව සඳහන් කරන ඇය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පිළිබඳ ද සඳහන් කර තිබේ.
ඔවුන් දෙදෙනා යුද්ධයේ අවසන් අදියරේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ලෙස ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තාවල සඳහන් වී ඇති බව ඇය පැවසුවාය.
යුද්ධය අවසන් වී වසර 12 කට පසුවද දේශීය යාන්ත්‍රණයන් තුළින් ප්‍රතිඵලදායක වගවීමක් හෝ සංහිඳියාවක් ගොඩනැගීමට රජය අසමත් වී ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සමාප්ත කරමින් ප්‍රකාශ පවසයි.
මානව හිමිකම් උල්ලංඝන චෝදනා ඇති පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසයි ඇය යෝජනා කර තිබේ.
මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත්, සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් මහ කොමසාරිස්වරිය වාර්තාවෙන් දැනුම් දෙයි.
කෙසේවෙතත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් මීට දින කිහිපයකට පෙර පත්කෙරුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් මහතා එහි සභාපතිවරයාය.
අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කෙරුණු කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එම කොමිසම පත් කිරීමේ අරමුණය.