පාස්කු බෝම්බ ප්‍රහාරයන් සහ I.S සංවිධානය අතර සෘජු සම්බන්ධතාවක් නෑ, වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වුනා – ශානි අබේසේකර

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

2019 වසරේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සහ ඉස්ලාම් රාජ්‍ය (අයි.එස්) සංවිධානය අතර සෘජු සම්බන්ධතාවක් තිබෙන බවට තමන් විශ්වාස නොකරන බවත් එම ප්‍රහාරයන් පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බවට තමන් විශ්වාස කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (26) සාක්ෂි ලබා දුන් අවස්ථාවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සිදු කළ හරස් ප්‍රශ්න විමසීමක දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළ පරිදි, පාස්කු දින බෝම්බ ප්‍රහාරය සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය අතර සෘජු සම්බන්ධතාවක් නැති බව පිළිගන්නේ ද යන්න ජනාධිපති නීතිඥවරයා එහි දී සක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් අබේසේකර මහතා පැවැසුවේ, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ සිදු වූ බෝම්බ පිපිරීම හැර අනෙකුත් බෝම්බ පිපිරීම් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබූ නමුත් ඒවා පසුපස ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිටි බවක් නිරීක්ෂණය නොවූ බවයි.

“ප්‍රශ්න සහගත කරුණු කිහිපයක් ම තියෙනවා. ලෝකයේ කිසි ම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මිය ගිහින් නැහැ.

නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්. අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ.

ඒ නිසා අපිට ප්‍රශ්නයක් ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මිය යෑම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනවලදී මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගත්තේ සහරාන්ව. ඒ නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුණා ද, කිසියම් කෙනෙක් හෝ පාර්ශ්වයක් සහරාන්ව මෙහෙයවූවා ද කියන එක ප්‍රශ්නයක්,” යැයි අබේසේකර මහතා පැවසීය.

– mawbima

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *