නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරද්දී, රජය නියෝජනය කරන මන්ත්‍රීවරු මත දෙකක

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත දැඩි පීඩනයක් ඉන්දියාව විසින් එල්ල කරන බවත්ය.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය මනින මිනුම් දන්ඩ නැගෙනහිර ජැටිය බවත් එහි අයිතිය හිමිවීම මත අනාගතය තීරණය වනු ඇති බවත් ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශක වැඩිදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන නවදිල්ලියේ ජින්දාල් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පන්කජ් කුමාර් චීනය විසින් දකුණු ආසියානු කලාපය තුල සිදුකරමින් යන නාවික ආධිපත්‍ය පැතිරවීම වැලැක්වීමට ඉන්දියාවට කොළඹ වරාය උපක්‍රමික ලෙස වැදගත් මර්මස්ථානයක් බව පවසයි.

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 49% ක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණිමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇති අතර එම තීරණය හකුලා ගන්නා ලෙස බලකරමින් වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් දැඩි විරෝධයක් දක්වමින් සිටි.

https://asia.nikkei.com/Politics/International-relations/India-strikes-hard-bargain-in-Sri-Lanka-for-stake-in-Colombo-port

තත්වය මෙසේ තිබියදී රජය නියෝජනය කරන මන්ත්‍රීවරු මත දෙකක සිටින බව පෙනෙන්නට තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණය සමග ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එක්වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොට්ටාව, මත්තෙගොඩ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මහා සංඝ රත්නයේ අවවාද, අනුශාසනා අනුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කරන බවය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳව මාධ්‍යවේදියෙකුයොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළේය.

”විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂය ම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා.

හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවර වෙලා දැන් විපක්ෂය ම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසි ම ඇමතිවරයෙකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ.

තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්ත ම ඒ තීන්දු උඩ හිට ගන්නයි. ”

ආණ්ඩු පක්ෂයේ මිත්‍ර පාර්ශවයක් ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය ඔස්සේ පැවසුවේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනත් රටකට ලබා දීම නොකළ යුතු බවය.

මේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *