ජාතික යොවුන් සේනාංකය – ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක්

ජාතික යොවුන් සේනාංකය - ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක්

ජාතික යොවුන් සේනාංකය - ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක්

ලෝකයම විශ්ව ගම්මානයක් යන යථාර්ථය තුළ රටේ වර්තමාන හා අනාගත සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකේය තාරුණ්‍යය ද ඒ වෙනුවෙන් සවිබල ගැන්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන්ව ඇත. ඒ අනුව තාරුණ්‍ය පෙළගස්වන ප්‍රමුඛතම ආයතනය වන ජාතික යොවුන් සේනාංකය එම භාරදූර වගකීම උරදරමින් ක්‍රියාකරන්නට එක්වන්නේ විනය, නායකත්වය හා පෞරුෂයෙන් මෙන්ම, භාෂාවෙන් සහ තාක්ෂණික දැනුමින් ද සන්නද්ධ කිරීමේ අදිටන ඇතිව ය.

ඒ සඳහා වු අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ජාතික යොවුන් සේනාංකය හා ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය අතර (22) තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.

ජාතික යොවුන් සේනාකංය හා එක්වන තරුණ තරුණියන් වෙත මුලික පෞරුෂ සංවර්ධන පුහුණුව ලබා දෙනවාත් සමඟ ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය යන විෂයයන් ඉගැන්වීම් කටයුතු මින් පෙර සිදු වුව ද, ඒ සඳහා පිළිගත් සහතිකපත්‍රයක් පුහුණුලාභීන් වෙත හිමිවුයේ නැත. ජාතික යොවුන් සේනාංකයේ සංකල්පයක් හා ඉල්ලීමක් මත යොවුන් සේනාංක පුහුණුව සඳහා පැමිණෙන පුහුණුලාභියා වෙත ඉංග්‍රීසි හා ‍‍‍තොරතුරු තාක්ෂණයට පිළිගත් සහතිකයක් ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නට විය. එම අදහස මල්ඵල ගන්වමින් සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් වත්මන් විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දුරදර්ශී දැක්මට අනුව යොවුන් සේනාංක පුහුණුලාභීන් වෙත ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය සඳහා උසස් සහතිකපත්‍රයක් ලැබීමේ ඉඩකඩ විවර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා සුදුසුම ආයතනය ලෙස ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය තෝරා ගන්නා ලදී.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහතාගේ වත්මන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය සහ යුනෙස්කෝව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ලෙස සම්පුර්ණයෙන්ම ප්‍රතීතනය කර ඇති SIBA ආයතනය (ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය) මඟින් ජාතික යොවුන් සේනාංක අභිප්‍රායයන් නිසි ලෙස වටහාගනිමින් විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උසස් සහතික පත්‍රයක් යොවුන් සේනාංක පුහුණුලාභීන් වෙත පිරිනැමීමට එකඟතාවය පළ කරන්නට විය.

ඒ අනුව 2021 පළමු කණ්ඩායමේ සිට ජාතික යොවුන් සේනාංක පුහුණුව සඳහා එක්වන යෞවන යෞවනියන් වෙත මූලික පෞරුෂ සංවර්ධන 06 මාසික පුහුණු පාඨමාලාවට සමගාමීව, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයයන් සඳහා විධිමත් ලෙස සැකසුණු විෂය නිර්දේශයකට අනුකූලව එහි ඉගැන්වීම් කටයුතු ජාතික යොවුන් සේනාංක උපදේශක මණ්ඩලය විසින් SIBA ආයතනයේ මෙහෙයවීම මත සිදුකරගෙන යනු ලබයි. පුහුණුව සාර්ථකව අවසන් කරන ලද පුහුණුලාභීන් වෙත ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතිකපත්‍රයක් (Advance certificate in English / Advance certificate course in Information Technology) හිමිවන අතර, සහතිකපත්‍ර පුහුණුව සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් අදාළ ක්ෂේත්‍රයන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම්, තම ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු එම ආයතනය හා එක්ව සිදු කරගැනීමේ අවස්ථාව ද හිමිවනු ඇත.

ජාතික යොවුන් සේනාංකය වෙත පැමිණෙන යෞවන යෞවනියන් වෙත ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයයන් ඉගැන්වීම් කටයුතු සිදු කළ ද, ඒ සඳහා නිසි වටිනාකමකින් යුත් සහතිකපතක් ලබා දීමට මින් පෙර නොහැකි විය. එහෙත් මෙම වැඩපිළිවෙල මඟින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකපතක් ලබා දීමට මෙමඟින් හැකියාව ලැබෙන අතර, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් හට මෙම ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනයට යොමු වීමේ හැකියාව සහ වෘත්තීය මඟකට යොමු වීමේදී වැඩි වටිනාකමක් මෙමඟින් ලැබෙනු ඇත. මෙම ප්‍රතිලාභය අවම වශයෙන් වසරකට ජාතික යොවුන් සේනාංකය හා එක්වන යෞවන යෞවනියන් 12000 – 18000ත් අතර ප්‍රමාණයකට හිමිවෙනු ඇති අතර, සෑම අංශයකින්ම නිපුණ තරුණයෙකු බිහි වනවාත් සමඟ ජාතික යොවුන් සේනාංකය මඟින් නික්ම යන තරුණයා හට වෘත්තීය පුහුණුවක් සඳහා යොමුවීමේදී සුවිශේෂී වටිනාකමක් මෙමඟින් ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, අතිරේක ලේකම් (තරුණ කටයුතු) සමන් වඩුගේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ පීඨාධිපති ආචාර්ය උපාලි එම්. සේදර, ප්‍රධානී (පාලන) ජගත් කුලතුංග, ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *