Type to search

කොවිඞ්-19 වසංගතය පැතිරෙමින් තිබියදී පෞද්ගලික සමාගමක වැඩට රැඳවියන්, බන්ධනාගාර ආඥා පනත උල්ලඝනයට

Share

බන්ධනාගාර තුළට කොවිඞ්-19 වසංගතය ආවේ කෙසේදැයි තවම නිශ්චිතව කියා නැත. අහවල් දවසේ අහවල් ස්ථානයෙන් කොවිඞ්-19 ආ බව තවම හරිහැටි දන්නේ නැත. බන්ධනාගාර රැඳවියන් හා පවුල්වල සාමාජිකයන් අතර විවිධාකාර සැකයන් පැතිර ගොස් තිබේ.

නිසි පියවර නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අන්තිමේ රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් විය. ඒ නොවැම්බර් 29 වන දාය. මෙය පැහැදිලිව වළක්වාගත හැකිව තිබුණු අපරාධයකි.

බන්ධනාගාර තුළට කොවිඞ් වෛරසය ව්‍යාප්ත වුවහොත් අහිතකර තත්වයක් ඇති විය හැකි බව හඳුනාගත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එම තත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණි. ඒ 2020 මාර්තු මාසයේදීය. එහිදී කළ ඉල්ලීම් වන බන්ධනාගාරවල සිටි ඇප ලබාදිය හැකි අයට ඇප දීමත්, ජනාධිපති සමාව දිය හැකි අයට සමාව දීමත් ඇතුළු අවශ්‍ය පියවර ගෙන තිබුණේ නැත.

2020 මැයි මාසයේදීත් කොවිඞ් බියෙන් අනුරාධපුරය බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවකට වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් මිය ගියේය. ඒ අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 13කි.

දෙවන වර කොවිඞ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාර රැඳවියන් හා බාහිර සමාජය සමග පවතින සම්බන්ධතා නවතා දමන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර කළේය. ඒ අනුව බන්ධනාගාර රැඳවියන්ට නීතිඥවරුන් මුණ ගැසීම, ඥාතීන් මුණ ගැසීම හෝ බාහිරින් ආහාරපාන රැගෙන ඒම නතර කර තිබිණි. එහි මුඛ්‍ය අදහස වී තිබුණේ බන්ධනාගාරය තුළට කොවිඞ් වෛරසය ඇතුල් වීම වැලැක්වීමය. බන්ධනාගාරය තුළට කොවිඞ් 19 වෛරසය පැමිණියේ එවැනි වාතාවරණයක් තුළය. එම නිසා කොවිඞ් වෛරසය බන්ධනාගාර තුළට පැමිණියේ කෙසේද යන්න ගැටලුව පැන නගී.

දැනට අධිකරණයෙන් වරදකරුවන් වී සිටින රැඳවියන් සම්බන්ධයෙන් පවතින වෙනත් නඩු සඳහා ඔවුන් අධිකරණ වෙත රැගෙන යාම හරහා මේ වෛරසය බන්ධනාගාරය තුළට පැමිණිය හැකි වුවත් අධිකරණයක වෛරසය පැතිරයාමක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ නැත. අනෙකුත් ඉඩකඩ ඇත්තේ බන්ධනාගාරයට අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගෙන් වෛරසය පැමිණීමය.

කරුණු කෙසේ වෙතත් වසංගතයක් පවතින සමයක බන්ධනාගාර රැඳවියන් පෞද්ගලික සමාගමක සේවයට රැගෙන යෑමේ සිදුවීමක් වාර්තා වෙයි. රැඳවියන් පිටතට ගෙනගොස් ඔවුන් සේවයේ යොදවා නැවත බන්ධනාගාරය වෙත ගෙනැවිත් භාර දී ඇත.

මේ පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ජුනි මාසයේ සිට බන්ධනාගාර රැඳවියන් එසේ පිටතට රැගෙන ගිය එම සමාගම රැඳවියන් වෙත ගෙවීම් කළ බවත්, එම මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැරකළ බවත් ප්‍රකාශ කළේය.

රැඳවියන් ශ්‍රමිකයින් ලෙස පිටතට ගෙන යන බවත්, බන්ධනාගාර තුළට කොවිඞ්-19 ආවේ ඒ නිසා බවත් බන්ධනාගාර රැඳවියන් අතර කතාබහක්තිබෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අප සමඟ කීය. බන්ධනාගාරවලට කොවිඞ්-19 පැමිණියේ එලෙස පිටතට ගෙන ගිය නිසාද, එසේ නොවේද කියා කියන්නට අසීරු බව ඔහු කීය. එහෙත්, රැඳවියන්ට පවුල්වල උදවිය මුණගැහෙන්නත් ඉඩ නොදුන් කාලයක පෞද්ගලික සමාගම්වල සේවය වෙනුවෙන් පිටතට ගෙනයෑම වගකීම් විරහිත සහ භයානක තීන්දුවක් බව ඔහු පෙන්වාදුන්නේය.

පුණ්‍ය කටයුතු සඳහා රැඳවියන් පිටතට ගෙන යනවා හැරෙන්නට වෙනත් කටයුතු සඳහා රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යා නොහැකි බව බන්ධනාගාර ආඥා පනතේ සඳහන්ව තිබෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කීය.

මීට පෙර බන්ධනාගාර රැඳවියන් වෘත්තිය පුහුණුව සඳහායැයි කියමින් පෞද්ගලික ව්‍යාපාරයක සේවයට පිටතට ගෙනයෑමේ ව්‍යාපෘතියක් ගැන ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති කියා තිබුණි. ඒ පිළිබඳ පුළුල් විරෝධයක්ද ඇති විය. එවැනි පසුබිමක දැන් හෙළි වී ඇත්තේ ඊට පෙර සිට පෞද්ගලික සමාගම්වල සේවයට රැඳවියන් ගෙන ගිය බවය. බන්ධනාගාර රැඳවියන්ට අදාලව ආණ්ඩුව කටයුතු කළ වගකීම් විරහිත සහ නීතිවිරෝධී ස්වභාවය එම සිදුවීම්වලින් පැහැදිලි වෙයි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *