මෘතදේහ භූමදානයෙන් කොවිඩ් පැතිරෙන බවට ලොව කිසිදු සාක්ෂියක් නෑ – ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

කොවිඩ් – 19 වෛරස් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානය කිරීම ඔස්සේ වෛරසය පැතිරයන බවට කිසිදු සාක්ෂියක් ජාත්‍යන්තර පර්යේෂණ තුළින් මෙතෙක් හමුවී නොමැති බව ශ්‍රී ලංකා ප්‍රජා වෙද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති ගෝලීය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම මළසිරුරු භූමදානය සඳහා අවසර ලබාදිය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

“අපි පසුගිය දිනවල කරුණු සොයාබැලුවා මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් තියෙන පර්යේෂණ පිළිබඳ තොරතුරු. අපට කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා කොරෝනා වෛරසය වැළඳී මියගිය කෙනෙකුගේ සිරුරක් භූමදානය කරලා, ඒ දේහය මහින් ජලයට කොරෝනා වෛරසය මිශ්‍රවෙලා තවත් කෙනෙකුට බෝවුණා කියන ප්‍රතිඵලය තියෙන කිසිම පර්යේෂණ ලියවිල්ලක් අපට සොයාගන්න බැරිවුණා.

ඒ එක්කම අපි වෛරස් විද්‍යාඥයින් සමග සාකච්ඡා කළා මේ පිළිබඳව. ඔවුනුත් ඒක තහවුරු කළා මේ කොරෝනා වෛරසය ජලය මගින් බෝවීමේ හැකියාවක් නෑ කියලා. ඉතිං ඒනිසා අපි අපේ ස්ථාවරය අද පැහැදිලි කළා ඉතාමත්ම පැහැදිලිව. ඒ කියන්නෙ අපි විශ්වාස කරනවා කොවිඩ් – 19 වැළඳුනූ රෝගියෙක් මියගියාම ඔහුගේ හෝ ඇයගේ දේහය භූමදානය කිරීමෙන් එම වෛරසය පසට මිශ්‍රවෙලා තවත් කෙනෙකුට බෝවීමේ හැකියාවක් නැහැ කියන එක”

“විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය අජීවී සෛලයක වැඩීමේ හැකියාවක් නෑ. ඒ අර්ථයෙන්ම මෙම කොරෝනා වෛරසය පස තුළින් ජලයට මිශ්‍රවෙලා ජලයෙන් තවත් කෙනෙකුට බෝවීමේ හැකියාවක් නෑ. එහෙම කිසිම තොරතුරක් මේ වෙනකොට කිසිම කෙනෙක් පර්යේෂණ මගින් පළකිරීමක් කරලා නෑ, පර්යේෂණයකින් තහවුරු වෙලා නෑ.

ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකාවේ සීඩීසී ආයතනය සහ යුරෝපීය වෛද්‍ය සංගම් සියලු දෙනාම ඒකමතිකව අදහස් දක්වලා තියෙනවා මේ කොවිඩ් රෝගීන් මියගියාම ඒ අය භූමදානය හෝ ආදාහනය කළ හැකියි කියලා.

එනිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා විශෙෂයෙන්ම මාර්තු මාසෙ ගත්තු තීරණය වෙනස් කරලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ආදාහනය පමණක් කියන තීරණය ගත්තෙ. අපි එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා නැවතත් ආදාහනය හෝ භූමදානය කළ හැකියි කියන තීරණයට යන්න”: යනුවෙනුයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ.

– LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *