Type to search

රන් බිජු ගැනීමට බඩවත පැලීම හෙවත් වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජනාධිපතිරණයට පෙර නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නවා යැයි කියූ රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට ඉන් 49% කොටසක් ඉන්දීය අදානි සමාගමට පවරා දීමට සූදානමින් සිටී. ශ්‍රී ලකා වරාය අධිකාරිය සතුව ඇති ගැඹුරින් වැඩිම සහ විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය වන්නේ නැගෙනහිර පර්යන්තයයි (ෑක්‍ඔ). එහි ගැඹුර මීටර් දහ අට (18) කි. යහපාලන රජයේ අදූරදර්ශී දේශපාලන තීන්දු හේතුවෙන් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ නොකර පෞද්ගලීකරණය කිරීමට වැඩපිළිවෙළක් සැකසීය. එහි දිගුව ලෙස රාජපක්ෂ ආණ්ඩුව සැරසෙන්නේ ඉන්දීය සමාගමක් වූ අදානි සමාගමට වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා, රටේ ආර්ථිකය සේ ම රටේ ආරක්ෂාවද බිල්ලට දීමටය.

පර්යන්ත හතරෙන් ඉතිරි එකයි

ශ්‍රී ලංකා කොළඹ වරාය පර්යන්ත හතරකින් සමන්විත වන අතර ඉන් දෙකක් දැනටමත් පෞද්ගලීකකරණය වී ඇත. එනම්, ක්‍ෂක්‍ඔ චීනය යටතේ ඇති පර්යන්තයත් ීෑ්ඔ ඕස්ටේ්‍රලියාව යටතේ ඇති පර්යන්තයත් ලෙසය. අනෙක් පර්යන්ත දෙකෙන් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක නොවන නමුත් ජය බහාලු පර්යන්තය ක්‍රියාත්මකවෙමින් පවතී. ඉන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකුණූ පසු අපට ඉතිරිව ඇත්තේ මීටර් දොළහක් පමණ ගැඹුරු ජය බහාලු පර්යන්තය පමණි.

වෘත්තීය සමිති ක්‍රියාකරුවන් පවසන පරිදි ජය බහාලු පර්යන්තයේ නැවක් නැංගුරම්ලෑමට තරම් සුදුසු වටපිටාවක් නොමැත. එසේ නම් නැගෙනහිර පර්යන්තය විකුණා ජය බහාලු පර්යන්තය පමණක් ඉතිරි කරගෙන රාජපක්ෂ ආණ්ඩුව එහි බතල සිටවන්නටද සූදානම් වන්නේ දැයි අප අසන්නට කැමතිය. තවද වරායේ වෘත්තිකයන් පවසන පරිදි ශ්‍රී ලංකා භූ පිහිටීම අනුව නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සතු කිරීම රටේ ආරක්ෂාව පිළිබඳ දරුණු ගැටලු ඇත කරන්නකි. එසේ තිබියදීත් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය ලබාදීම සුදුසුද යන්න වරාය වෘත්තිකයන් විමසන්නේ කුකුසකිනි.

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ ක්‍රියාවලියට විරුද්ධව කිහිපවරක් වරාය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තද ඒවා සියල්ල රාජපක්ෂ ආණ්ඩුවේ පොරොන්දු මත යට ගියේය. ඊට කදිම නිදසුන ජාතික ලැයිස්තුවෙන් පැමිණි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර “කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ නම් එම කැබිනට් මණ්ඩලයේ තමන් නොඉන්නා බව පැවසීමය.” මහා දේශප්‍රේමියා යැයි කියාගන්නා වූ ඔහුගේ වචන විශ්වාස කරන මහජනතාව හූල්ලන්නේ ඔහු එකල එසේ පවසා තිබියදීත් වර්තමානයේදී ඊට විරුද්ධ නොවන්නේ ඇයිද යන්න සිතමිනි. සරලවම, දේශප්‍රේමය ගැනම කතා කරන ඔහු කයිකාරයෙක් පමණි. ක්‍රියාවෙන් ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ රූකඩයකි.
අපට මතක අයුරින් පාර්ලිමේන්තු ඡන්දයට ප්‍රථම විමල් වීරවංශ අමාත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරු විරෝධතාවලියට පැමිණ රඟපෑමක් කළහ. එදා රංගන දායකත්වය ලබා දුන් එකදු කෙනෙකු වර්තමානයේ හොයා ගන්නටවත් නැතිය. එදා රාජපක්ෂවරුන්ට අවශ්‍ය වූවේ තුනෙන් දෙකක බලය පමණි. අද තුනෙන් දෙක පාවිච්චි කරමින් ඔවුන් ඔවුන්ගේ බෙරය වයමින් රටේ සම්පත් විකුණා දැමීමට සූදානම් වෙමින් රටේ ආරක්ෂාව බිල්ලට දෙමින් කටයුතු කරන ආකාරය ජුගුප්සාජනකය.

රාජපක්ෂගේ සෞභාග්‍යය

සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වූ පරිදි ජාතික සම්පත් ආරක්ෂා කිරීම රාජපක්ෂ ආණ්ඩුවේ මූලික චින්තනය වෙයි. ජනාධිපතිවරණයට ප්‍රථම ඔවුන් පැවසුවේ හම්බන්තොට වරායද නැවත පවරා ගන්නා බවය. නමුත් ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ තියරිය වන්නේ හම්බන්තොට වරාය පවරා ගැනීම කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් විකුණා දැමීමය.

වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ නැගෙනහිර පර්යන්තය එකවර විකුණා දමනවාට වඩා මුදලක් නැගෙනහිර පර්යන්තයෙන් ලබාගත හැකි බවයි. දැනට රට තුළට ඩොලර් ලබා දෙන්නේ විදේශ ශ්‍රමිකයින් පමණි. මන්ද කෝවිඞ් 19 හේතුවෙන් සංචාරක කර්මාන්තය නොහිතන ආකාරයක බිඳ වැටීමකට ලක්ව ඇති නිසා ඉන් ලැබූ ඩොලර් සංචිත මේ වන විට ලංකාවට ලැබෙන්නේ නැත. එවැනි මොහොතක වරායේ නැගෙනහිර පර්යන්තයෙන් ලංකාවේ ආර්ථිකයට විශාල ඉපැයීමක් කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. එය ප්‍රත්‍යක්ෂ කරුණක් නම් නැගෙනහිර පර්යන්තය අප විකිණිය යුතුද?

ආණ්ඩුවේ රෝහිත සහ වාසු

මීට දින කිහිපයකට ඉහතදී වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව එක් කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් ආයෝජකයෙක් බලාපොරොත්තුවෙන් සිටින බවයි. එහිදී ඉන්දියානු රජය විසින් යෝජනා කර ඇත්තේ අදානි සමාගම ඊට සුදුසු බවය. ඩොලර් මිලියන 600 – 700 ක් ඊට අවශ්‍ය අතර එය සම්පූර්ණ කරන ආයෝජකයාට 49% කොටසක් ලබා දෙන බවත් ඉතිරි 51% රජය සතු බවත් ඔහු පැවසුවේය. නමුත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා සිටියේ එවැනි කැබිනට් පත්‍රිකාවක් ලැබී නොමැති බවත් එය ජනතා විමුක්ති පෙරමුණේ ගජබින්නයක් බවත්ය.

රෝහිත අබේගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු දෙදෙනාම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ය. නමුත් ඔවුන් දෙදෙනා පවසන කරුණු දෙක පරස්පර බව කිව යුතුව ඇත. එසේ නම් මහජනතාව විශ්වාස කළයුත්තේ කුමන අමාත්‍යවරයාද යන්න ගැටලුවකි. අපට හැඟෙන පරිදි මුසාවක් වුවද පැවසීමට එය පුරුදු පුහුණු විය යුතුව ඇත. එසේ නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි මේ මොහොතේ විශ්වාසය තැබීම එතරම් සුබ නැති බව පැහැදිලිය. අවසාන වශයෙන් මේ සියල්ලන් එකතුව දියත් කරමින් සිටින්නේ මහජනතාව වගේම වරාය වෘත්තිකයන්ද මුලා කරන වැඩ පිළිවෙළක් විය යුතුය. ■

විකුණාගෙන කෑමේ සන්ධිස්ථානයකට ඇවිත්
ජනතා විමුක්ති පෙරමුණේ
සුනිල් හඳුන්නෙත්ති

අපේ රටේ පිහිටීම අනුව තමයි වරායේ වැදගත්කම තීරණය වන්නේ. ලෝකයේ සමහර රටවල්වල වරායක් නැහැ. නිදසුනක් ලෙස නේපාලය වගේ රටක් ගත්තාම මුහුදත් එක්ක සම්බන්ධයක් නැහැ. එතකොට ඔවුන් වෙන රටක් මත යැපෙන්න අවශ්‍ය වෙනවා. නමුත් අපි එහෙම නෙවෙයි. අපේ වරායේ වැදගත්කම ආයෝජකයෙක් හොයා ගැනීම පිළිබද ප්‍රශ්නයක නෙවේ ගැටගැහිලා තියෙන්නේ. ලෝක සිතියමේ ලංකාවේ පිහිටීමත් එක්ක තිබෙන භූ දේශපාලනික වශයෙන් ඇති වැදගත්කමත් සැලකිය යුතුයි. හම්බන්තොට වරාය චීනෙට දීලා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නට පස්සෙ අපි මේ රටවල් අතර ඇති භූ දේශපාලනික ගැටුම්වලට මැදි වෙනවා. දෙවෙනි කාරණය අවුරුදු 72ක් පුරාවට තිබූ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සමග රට ගමන් කරමින් ඇවිත් අද නතරවෙලා තියෙන තැන තමයි විකුණගෙන කෑමේ සන්ධිස්ථානය. එතකොට ආණ්ඩුව පළමුවෙන්ම වරාය වගේ ලාභ ලබන තැනකට අත තිබ්බාම ඒ නතර වෙන්නෙ අපිට හිතාගන්න බැරි තැනකින්. එතකොට තෙල් ටැංකි ටික වෙන්න පුළුවන්, අපේ රටේ වනාන්තර පද්ධතිය වෙන්න පුළුවන්. නැතිනම් දැනට ඇති රාජ්‍ය වතු ටික වෙන්න පුළුවන්. මේ සියල්ලම ඊළඟ පියවරවල් සමග රටේ ණය ගෙවන්න කියලා විකිණීමේ තිබෙන අනතුර තිබෙනවා. ඒ නිසාම තමයි අපි අහන්නේ වරායේ ග්‍රැන්ටි දොඹකර ටික සවි කරලා ලාභ ලබන්න පුළුවන් තත්ත්වය යටතේ ඇයි විකුණන්නේ.

කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නෙ නිශ්චිත වශයෙන්ම ඉන්දියාවේ අදානි සමාගම වර්ණනා කරලයි. මොකද ඉන්දියාවෙ අදානි සමාගම ඉන්දියාවේ ටර්මිනල් හයක් තිබෙන කන්ටේනර් බහාලුම්වලින් 30%ක් ආවරණය කරනවා කියන කාරණේ අපිට වැඩක් නැහැ. ඒ වර්ණනාව ඉදිරිපත් කරලම හදලා තියෙන්නෙ නිශ්චිත වශයෙන්ම ඉන්දියාවටම අලෙවි කිරීමේ ඉලක්කයක් එක්කයි. මේකෙන් අපි ඇමරිකානු කඳවුරේ සහ චීන කඳවුරු ගැටුමේ හිරකරුවන් වීම වළක්වන්න බැරිව යනවා.

වරාය නැගෙනහිර පර්යන්තය ගියාම අපිට වෙන මුකුත් ඉතුරු වෙන්නෙ නැහැ. අනික ලෝකයේ නැව් ගමනාගමනයේදී ගැඹුරු තටාකාංගණ තිබෙන වරායවල්වලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ. නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක් වෙනවා. එහෙම තැනක් අපි අහිමි කරගන්නෙ ඇයි? කෙටි ආයෝජනයකින් ධනය උපදවන්න පුළුවන් තැනක් විකිණීමෙන් අපේ ආර්ථිකයට බරපතළ පාඩුවක් වෙනවා. ■

මේක අපරාධයක්
වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති
ප්‍රසන්න කළුතරගේ

වත්මන් ආණ්ඩුව සිද්ධ කරන්න යන්නේ ජාතික අපරාධයක්. මේක රටට ඩොලර් එන සම්පතක්. මේ සම්පත සමාගම් කරණය කරනවා හෝ මොනම දේකට පිට අයට දෙනවා කියන්නෙ අපරාධයක්. මෙච්චර කාලයක් වරායේ පර්යන්ත පෞද්ගලීකරණය කළා. නමුත් ඒ පර්යන්තවලින් විශාල ආදායමක් අපිට තිබ්බෙ නැහැ.
නැගෙනහිර පර්යන්තයේ ගේන් තුන හයි කරලා අසංවිධානාත්මක මෙහෙයුම් කටයුතු කරලත් මේ වන විට අපි කෝටි එකහමාරකට වඩා වැඩි මුදලක් හොයලා තියෙනවා. එතකොට මේ නැගෙනහිර පර්යන්තයට ආයෝජකයො ඕනි නැහැ. ණය ඕනි නැහැ. මේ සියල්ල ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබෙනවා. 2024 අවසානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන දෙසිය පනහකට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයට දෙන්න පුළුවන්. එතකොට 2027න් පස්සෙ අවුරුදු 30ක ගිවිසුමකට යටත්ව තිබූ ීෑ්ඔ පර්යන්තයත් අපිට ලැබෙනවා. එහිදී එක පර්යන්තයක් තුළ ලොකු නැව් සහ පොඩි නැව් මෙහෙයවන්න හැකි එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තය විතරයි. ■

අගමැති පොරොන්දුව කැඩුවා
ස්වාධීන වරාය සංගමයේ සභාපති
ලාල් බංගගමුව

යහපාලන ආණ්ඩුව සමයේ ගෙන ආ ගිවිසුම සම්බන්ධව අපි අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළාම එවේලෙ විකුණන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා දැන් ආයෝජනය කියන වචනෙ යටතේ ඉන්දියාවට විකුණන්න හදනවා. ජාතික දේපළ විකිණීම විශාල අපරාධයක් විදියට තමයි අපි දකින්නේ. නැගෙනහිර පර්යන්තය කියන්නෙ ඩොලර් උල්පතක්. වරායට විතරක් නෙවේ විශේෂයෙන්ම රටටම වැදගත් තැනක් මේක. මොකද රටට විදේශ විනිමය උපයන ආයතනයක් නිසා. ඩොලර් මිලියන 700ක මුදලකට නැගෙනහිර පර්යන්තය විකුණනවා කියන දේ විශාල අපරාධයක්. මොකද අපිට එක අවුරුද්දකට ඩොලර් මිලියන 200ක් විතර හොයන්න පුළුවන්. 2022 වන විට ඩොලර් මිලියන 400ක් හොයන්න පුළුවන් පර්යන්තයක්. දැනටමත් අපි මේ ටික දවසට කෝටි දහයකට වඩා හොයලා තියෙනවා. වරාය හදන්න අපි ණය අරන් අවසානෙදි වරාය විකුණන තත්ත්වයට ඇවිත් තියෙනවා කීවාම එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. ■

විකුණන්න දෙන්නෙ නැහැ
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතශීලී සංගමයේ සභාපති
සංජය කුමාර වැලිගම

2017-2019 යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කරන සහයෝගීතා ගිවිසුම (ඵධක්‍) ප්‍රකාරව තමයි සියලු කටයුතු සිදු වුණේ. එය ඉතා රහසිගතව සිද්ධ වුණු වැඩක්. නමුත් මහින්ද සමරසිංහ ඇමතිවරයා සහ සාගල රත්නායක ඇමතිවරයා වශයෙන් මෙය පහළට ඇදීගෙන පැමිණියා. ඊට පස්සෙ මහින්ද සමරසිංහ ඇමතිවරයා සිටින කාල වකවානුවේ 2018.03.16 උක්ත කාරණය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේ ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවද කියලා අහලා. පසුව එම ලියුමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2019.04.05 දින ආර්ථික සභාවක් පත් කරනවා. එතකොට ඒ ආර්ථික සභාවේ නිර්දේශ අනුව නැගෙනහිර පර්යන්ත අදියර පහ කියන නැංගුරම් පල ක්‍රියාත්මක කර දීර්ඝ කරන්නත් නැගෙනහිර පර්යන්තය සඳහා කටයුතු කරන්නත් ප්‍රශ්න මාලාවක් ගොඩ නැගුණා. පසුව එවකට ජනාධිපතිවරයා වරාය අධිකාරියේ ඉංජිනේරුවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ආර්ථික සභාවෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගන්නවා. ඒ වාර්තාව අනුව එහි පැහැදිලිවම සදහන් වෙනවා “නැගෙනහිර බහාලුම් පර්යන්තය වරාය මගින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම” මැයෙන් තමයි වාර්තාව ඉදිරිපත් කළේ. නමුත් සාගල රත්නායක ඇමතිවරයා පැමිණෙනවාත් සමග ජාතික ආර්ථික සභා වාර්තාව පැත්තකට කරනවා. ඔවුන් ප්‍රධාන අවධානය දෙන්නෙ සහයෝගීතා ගිවිසුමට විතරයි.

සහයෝගීතා ගිවිසුම පළමු අත්සන් කරන්නෙ 2019.05.28 දිනයි. 2017 – 2019 සහයෝගීතා ගිවිසුම ආරම්භ කළ අතරතුර පැවැත්වූ සාකච්ඡාවක් මත පදනම්ව කැබිනට් තීරණයක් සමග තමයි 2019.05.28දා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව කියන රටවල් තුන එකතුව සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්නේ. ඊට පස්සේ අපි මේකට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා. ඉන් පසුව 2019.07.23 දින වරාය නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වෘත්තීය සමිති 21ක් සන්ධාන ගතවෙනවා. පසුව සභාපති සමග සකච්ඡාවක් ගත්තාම ඔහු අපට කීවේ, “අත්සන් කළේ සහයෝගිතා ගිවිසුමක් විතරයි. ඒ ගිවිසුම මින් ඉදිරියට ක්‍රියාත්මක කරනව නම් දින 181ක් ඇතුළත තමයි ක්‍රියාත්මක කරන්නේ, ඒ ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යෙන්ම වෘත්තීය සමිති දැනුවත් කරනවා” කියලා.

2019.07.19 දා වරාය සභාපතිතුමා වෘත්තීය සමිති එකමුතුව ලෙස අප සමග කළ සාකච්ඡාවට අනුව අපිට ලියවිල්ලක් ඉදිරිපත් කරනවා නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරවිය යුතුයි එය පැවරීම නොකළ යුතුයි කියලා. නමුත් ඒක ලියවිල්ලක් විතරක්ම වෙනවා. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනවාත් සමගම වරාය ඇමතිවරයා ලෙස ජොන්ස්ටන් ඇමතිවරයා පත්වෙනවා. ඔහු සමගත් උක්ත කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරනවා. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනවා එහි කිසිම ගැටලුවක් නැහැ කියලා ඔහු කීවා. ඔය අතරතුර තමයි යහපාලන ආණ්ඩුව පැවතියදී ආර්ථික සභා වාර්තාවේ සඳහන් වූ පරිදි දින 52 ආණ්ඩුව ඇතුළත ග්‍රැන්ටි දොඹකර තුන ගේන්න අවසර දුන්නේ. ඊට පස්සෙ ඡන්දෙ පහු වෙලා ජොන්ස්ටන් ඇමතිවරයා ඉන්න කාලේ ග්‍රැන්ටි තුන වරායට ගේනවා. මේක ගෙන්නල තියෙන්නෙ නැගෙනහිර පර්යන්තයේ අදියර පහට සවි කරන්නයි. නමුත් ඒ වෙද්දි අදියර පහ සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. අපි මේ කරුණු ටික පෙන්නලා දුන්නට පස්සෙ අපි කීවා සමගි බහාලු පර්යන්තයෙ දොඹකර ටික ගෙනල්ල මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඉන්පසු තමයි අමාත්‍යවරයා ග්‍රැන්ටි දොඹකර තුන මෙම පර්යන්තයේ ස්ථාපනය කරන්න කටයුතු කළේ. නමුත් ග්‍රැන්ටි දොඹකර තුන ඇවිත් දින 14 වන තුරු මේක ස්ථාපනය කළේ නැහැනේ. අපි ඊට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. ඊටපස්සෙ අගමැතිවරයා කීවා මේ ග්‍රැන්ටි දොඹකර බාන්න අවසර දුන්නා. නමුත් අපිට එය ක්‍රියාත්මක කරන්න අවසර දීල බලපත්‍ර දුන්නෙ නැහැ. ඊට විරුද්ධවත් අපි කටයුතු කරලා කොහොම හරි ඊට අවසර ගත්තා.

එසේ වැඩ සිදුවෙමින් යද්දි වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව අදහස් ඉදිරිපත් කළා නැගෙනහිර පර්යන්තය බදු දෙන්න අනුමැතිය ලැබී ඇතැයි කියලා. ඇත්ත වශයෙන්ම එය නැගෙනහිර පර්යන්තය බදු දීම සඳහා යොමු කළ කැබිනට් පත්‍රිකාවක් නෙවෙයි. මේක කරගෙන යන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන්නයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නෙ කියලා එතුමා අපිට කීවා.
කෙසේ නමුත් අපි නැගෙනහිර පර්යන්තය විකුණන්න අවසර ලබා දෙන්නෙ නැහැ. අපි දිගින් දිගටම වෘත්තීය ක්‍රියාවල නිරතවෙමින් මීට බලපෑම් කරනවා. කාලයක් පුරාවට නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළත් අපි ඊට ඉඩ ලබා නොදුන්න අතර ඉදිරියේදිත් අපි ඒ මතේම සිටිනවා. අපි දැනට මේ පර්යන්තයෙන් කෝටි දහයකට වඩා උපයලා තියෙනවා. එහිදී කිසිදු ඇස්තමේන්තුවක් නැතිව තමයි කෝටි මිලියන 700ක ආයෝජකයෙක් හොයනවා කියලා නිලධාරීන් කියන්නේ. ඒ නිසා ඉදිරියේදී අපිට නැගෙනහිර පර්යන්තයෙන් ලැබිය යුතු ලාභ අතිවිශාලයි. ඒ නිසා අපි එකමුතුව මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරනකන්ම අරගලයේ නියැලෙනවා.

– ravaya.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *