ජනපති පත්කළ කොමිෂන් සභා සාමාජිකයින්ට ස්වාධීන විය නොහැකිද?

ජනපති පත්කළ කොමිෂන් සභා සාමාජිකයින්ට ස්වාධීන විය නොහැකිද?

ජනපති පත්කළ කොමිෂන් සභා සාමාජිකයින්ට ස්වාධීන විය නොහැකිද?

ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිතවීම පිළිබඳ ඉතිහාසය සොයාබැලීමේදී ප්‍රධාන අවස්ථාවන් කිහිපයක් හඳුනාගත හැක. එනම් 1997 දෙසැම්බර් 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ 43 වන වාර්ෂික සම්මේලනයේදී පළමු යෝජනාව ලෙස සම්මත කරන ලද්දේ නව දේශපාලන සංස්කෘතියක් අරභයා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ යුතු බවය. ඒ අනුව 1998 වර්ෂයේ එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සහ ප්‍රධාන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සඳහා පුරවැසි උපදේශන කමිටු නමින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදී. එහි සභාපති ලෙස එවකට කොළඹ නගරාධිපතිවරයා වූ කරු ජයසූරිය මහතා කටයුතු කළ අතර එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්, ආගමික නායකයන්, කලාකරුවන්, නීතීඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් නියෝජනය කළ අතර එවකට පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා වූ කිංස්ලි රුද්‍රිගු මහතාද සාමාජිකයෙකු විය. ඔවුන්ගේ කෙටුම්පත 1998 නොවැම්බර් 30 වන දින ප්‍රකාශයට පත්කරන ලදී.

අනතුරුව 2000 වසරේ අගෝස්තු 3 වන දින පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පතේ මැතිවරණ කොමිසම පිළිබඳ ප්‍රතිපාදන සහ ජාතික පොලිස් කොමිසම, පළාත් කොමිෂන් සභා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් විය.

අනතුරුව විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ මැදිහත්වීමෙන් හා දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇතුළත් 17 වන ව්‍යවස්ථා සංශෝධනය 2001 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත්කරන ලදී.
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් වනුයේ 2001 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ හා පොදුජන එක්සත් පෙරමුණ අතර ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුමයි.

පොදුජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම අරභයා අත්සන් තබන ලද මෙම ගිවිසුමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් කළ 5 වන කොන්දේසිය වූයේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමයි.
අනතුරුව 2010 වර්ෂයේ ගෙන ආ 18 වන සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා වල බලතල අඩුවී විධායකය ශක්තිමත් කරන ලදී. අනතුරුව 2015 වර්ෂයේදී නැවත වරක් 19 වන සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලදී.

එහෙත් 2015 සිට 2020 දක්වාවූ කාලය තුළ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය එම කොමිෂන් සභා ස්වාධීනද? ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ අරමුණු ඉටුවූයේද? යන ප්‍රශ්න සමාජය තුළ පැනනගින්නට විය. එම විවේචන යම් ප්‍රමාණයකට සාධාරණ බව මාගේද අදහසයි. එහෙත් එය ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට හෝ බලය අඩුකිරීමට හේතුවක් නොවේ. ඒ වෙනුවට කළ යුතුව තිබුණේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමයි. තෝරාගැනීම සඳහා තිබූ ක්‍රමවේදයේ තිබූ ගැටලු, පත්වූ පුද්ගලයින්ට තම වගකීම් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවීම, කොමිෂන් සභා කාර්යය පිළිබඳ නිශ්චිත මගපෙන්වීමක් සිදුකිරීමට ව්‍යවස්ථාදායක සභාව අසමත්වීම පසු විපරම් ක්‍රියාවලියක් නොමැතිවීම වැනි හේතූන්ද මේ සඳහා බලපාන්නට පුලුවන.

කෙසේ වෙතත් මේ වන විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතවරක් කොමිෂන් සභා සාමාජිකයින් විධායකයේ පත්කිරීමක් බවට පත්ව ඇත. එසේ වුවත් පත්වූ සාමාජිකයින්ට අවශ්‍ය නම් සිය ක්‍රියාකාරීත්වය තුළ ස්වාධීන කොමිෂන් සභාවල ගෞරවය නැවත ලබාදිය හැකිවනු ඇත. මේ ලිපිය ඒ පිළිබඳ කෙටි විමසාබැලීමකි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග 19 වන සංශෝධනය හරහා ස්ථාපිතව පැවති ව්‍යවස්ථාදායක සභාව අහෝසි වී පාර්ලිමේන්තු සභාවක් හඳුන්වාදෙන ලදී. මෙම සභා දෙකෙහිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමාජිකත්වය දැරූ නමුදු ප්‍රධාන වෙනස්කම් දෙකක් වේ.
එනම් ව්‍යවස්ථාදායක සභාවට දේශපාලකයන් නොවන සාමාජිකයන් තිදෙනෙකු පත්කිරීම හා ජනාධිපතිවරයාට පත්කිරීම්වලදී ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ නොසලකාහැරිය නොහැකිවීමයි.

එහෙත් පාර්ලිමේන්තු සභාව හුදු උපදෙස් ලබාදීමේ ඒකකයක් වන අතර එම උපදෙස් පිළිපැදීමට ජනාධිපතිවරයා බැඳී නොමැත. ජනාධිපතිවරයාට හෝ වරියට තම අභිමතය පරිදි ඕනෑම කොමිසමකට සාමාජිකයින් පත්කළ හැකිය. අනෙක් අතට පාර්ලිමේන්තු සභාවේ බහුතරය නිරායාසයෙන්ම ආණ්ඩු පක්ෂයට හිමිවේ.

එවැනි පසුබිමක් යටතේ පාර්ලිමේන්තු සභාව යනු හුදෙක් සැරසිල්ලක් පමණක් වීම වැළැක්විය නොහැකිය. ඒ අනුව වත්මන් කොමිෂන් සභාවල සාමාජිකයින් ජනාධිපතිවරයාගේ තේරීමක් වනු ඇත. නොඑසේනම් අග්‍රාමාත්‍යවරයාගේ, අමාත්‍යවරුන්ගේ, ආණ්ඩුවට බලපෑම් කළ හැකි පක්ෂ නායකයන්ගේ මන්ත්‍රීවරුන්ගේ හෝ ආණ්ඩුවට සහාය දැක්වූ බලපෑම් කණ්ඩායම් වල තේරීමක් වනු ඇත.
කොමිෂන් සභාවල සාමාජිකයින් පත්කලේ කවර පදනමකින්ද?

මේ වන විට පත්කර ඇති කොමිෂන් සභා සාමාජිකයින් දෙස බැලීමේදී සහ ඒ පිළිබඳව සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාවන් විමසීමේදී, මෙම සාමාජිකයින් පත්කිරීමේදී සලකා බලන්නට ඇතැයි සැලකිය හැකි කරුණු කිහිපයක් හඳුනාගත හැකිය.
1. අදාළ විෂය සම්බන්ධයෙන් ඔවුන් දක්වා ඇති වෘත්තිය දක්ෂතාවය
2. දක්ෂතාවය හා දේශපාලන ලබැඳියාව
3. අදාළ පුද්ගලයන්ගේ සමාජ ප්‍රතිරූපය
4. අදාළ විෂය සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් හෝ එම විෂයට අදාළව පූර්වයෙන් කරන ලද රැකියා හා දරන ලද තනතුරු
5. ප්‍රධාන ජනවර්ගය නොවන කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදීම
6. අවම මට්ටමක හෝ කාන්තා නියෝජනයක් ලබාදීම
7. පසුගිය වසරවලදී ඔවුන් දක්වා ඇති දේශපාලන පක්ෂපාතීත්වය
8. තීරණාත්මක මොහොතක තමාට අවැසි ලෙස හසුරුවාගැනීමේ හැකියාව
9. පසුගිය මැතිවරණවලදී ලබාදුන් සහායට කෘතගුණ සැලකීම
10. ඥාති සංග්‍රහය
වත්මන් කොමිෂන් සභාවලට සාමාජිකයින්ට ස්වාධීන විය නොහැකිද?

ඔබගේ පත්වීම මෙම නිර්ණායක වලින් එකකට හෝ කිහිපයකට අදාළ විය හැකිය. සමහර විටකදී ඔබගේ දේශපාලන සබැඳියාව, ඔබගේ පත්වීමට ප්‍රධාන හේතුවක් විය හැකිය. සමහරෙකුගේ පත්වීමට දේශපාලන සබැඳියාව පරයා දක්ෂතාවය හා සමාජ ප්‍රතිරූපය හේතුවන්නට ඇත.

ඔබව පත්කිරීමේදී ඔබ ඔවුන්ට පක්ෂපාතීව කටයුතු කරනු ඇතැයි මූලික උපකල්පනයක් තිබෙන්නටද පුලුවන. තීරණාත්මක මොහොතකදී ඔබගේ සහාය අපේක්ෂාවෙන්ද විය හැකිය. එහෙත් එක් කරුණක් ඔබට අවධාරණයෙන් කිව හැකිය. ඔබ කුමන කොමිෂන් සභාවක සාමාජිකයෙකු වුවද කොමිෂන් සභාවක සාමාජිකයෙකු ලෙස පත්වූයේ දේශපාලන කරුණු මත පමණක්ම නොවන බවය. කුමන හෝ ක්ෂේත්‍රයක ඔබගේ වෘත්තීය දක්ෂතාවය හා සමාජ ප්‍රතිරූපයද එයට මූලික පදනම දමා ඇත.

එමෙන්ම වර්තමාන කොමිෂන් සභාවල සාමාජිකයන් බහුතරයක් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල යැයි මා විශ්වාස කරමි. මක්නිසාද යත් නිදහස් අධ්‍යාපනය නොවූයේ නම් මාහටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට ඉඩකඩ නොලැබෙනු ඇත. අපගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ ජනතාව සිය දහඩිය එකතුකර ඇති බවට අපට කිසිසේත්ම අමතක කළ නොහැක.

එබැවින් කුමන පදනමක් මත එම කොමිෂන් සභාවල සාමාජිකයෙකු ලෙස පත්වුවද ඔබට ජනතාව ඉදිරියේ ඇති වගකීමෙන් මිදිය නොහැක. ඔබ පත්කළ බලධරයා ජනාධිපතිවරයා වුවත් ඔබගේ පත්වීම දක්වාවූ ගමන් මග නිර්මාණය වන්නේ ඔබගේ ක්‍රියාකාරීත්වයන් තුළිනි. එබැවින් ස්වාධීනව ක්‍රියාකිරීමේ හැකියාව ඔබ සතු විය යුතුය. බොහෝ අවස්ථාවන් වලදී අප දකින්නේ සමහර රාජ්‍ය නිලධාරීන් සහ කොමිෂන් සභා සාමාජිකයින් පත්කළ බලධරයා අපේක්ෂා කරන ප්‍රමාණයටත් වඩා ඉදිරියට ගොස් පක්ෂපාතී තීන්දු ගැනීමයි. එවැනි තීන්දු හරහා පත්කිරීමේ බලධරයා මහජන අප්‍රසාදයට පත්වන්නටත්, ඔහු ඉදිරියේ ඔබ විවේචන වලට ලක්වන්නටත් පිළිවන. කොමිෂන් සභාවල සාමාජිකයන් බොහෝ දෙනෙකු රාජ්‍ය සේවයේ ඉහළටම ගොස් විශ්‍රාම ගිය පිරිසකි. නොඑසේ නම් සමාජයේ ඉහළම ස්ථරවලට පැමිණි මහජන අවධානය දිනාගත් පිරිස්ය. එහෙයින් ඔබට ලබාගන්නට තවත් දෙයක් නොමැත. දරුවන්ද මේ වන විට ඉහළ පෙලේ තනතුරු දරන බවට සැක නැත. ආර්ථික වශයෙන් ඔබ දුර්වලයෙකු විය නොහැක. සිතාබලන්න, ඔබට රැකගැනීමට ඇත්තේ ගෞරවය පමණි. ඔබගේ සමහර ක්‍රියාකාරකම් නිසා ඔබව දේශපාලනිකව සමාජය හඳුනාගෙන තිබෙන්නටද පුලුවන. (මෙය සියලුම කොමිෂන් සභාවල සාමාජිකයින්ට අදාළවිය නොහැක.) එහෙත් දෛවය විසින් ඔබට තවත් අනගි අවස්ථාවක් ලබාදී තිබේ. ඔබව පත්කර ඇති ආයතනයේ ගෞරවය මහජනයාගේ විශ්වාසයත් ඔබ සතුය. ඔබ සමාජයේ ගෞරවනීය චරිතයක් වනවාද නැද්ද ඔබගේ ඉදිරි වසර 3ක ක්‍රියාකාරීත්වය මත රඳා පවතිනු ඇත. ඔබගේ ඥාතීන් ඉදිරියේ ගෞරවයට පාත්‍රවන්නටත් මිතුරන්ට අභිමානයක් ගෙන දෙන්නටද ඔබට හැකිය.

ජයවර්ධන පාලන සමයේ දේශපාලනිකව පත්වූ නෙවිල් සමරකෝන් මහතා සිය ක්‍රියාකාරීත්වය මත ශ්‍රී ලංකාවේ සැමට මතකයේ රැඳෙන අභිමානවත් මිනිසෙකු බවට පත්විය. එමෙන්ම ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිවරයා විසින් පත්කළ විනිශ්චයකාරවරුන් 6 දෙනෙකු ඡන්දය නැවත ගනන් කරන ලෙස ඉල්ලා ඔහු විසින් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම හරහාද පෙන්නුම් කරන්නේ පත්වීම් බලධරයා කවුරුන් වුවද අවශ්‍ය නම් ස්වාධීනව කටයුතු කළ හැකි බව නොවන්නේද? ඔබ දැන් සිටින්නේ කැඩපතක් ඉදිරියේ බවත් ඔබගේ ඥාතීන්, සමීපතමයින් හා සමස්ත ජනතාව ඔබ දෙස දෑස් විවරව බලාසිටින බවත් සිහියේ තබාගන්න.

වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ස්වාධීනවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අපහසුය. එහෙත් ඔබට ඒ සඳහා අවශ්‍ය පෞර්ෂ්‍යය ඇති වග අප විශ්වාස කරමු. ඔබට අලුතින් ලබාගැනීමට දෙයක් ඇතැයි නොසිතමි. එහෙත් ඔබගේ සහ පවුලේ ගෞරවයත්, ජනතාවගේ අභිලාෂයත්, රටේ ප්‍රතිරූපයටත් ඔබගේ තීන්දු බලපාන බවට තරයේ සිහියේ තබාගන්න.

– samabima.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *