කාදිනල්, නීතිපති සහ පාස්කු ප්‍රහාරයේ බිල්ල

කාදිනල්, නීතිපති සහ පාස්කු ප්‍රහාරයේ බිල්ල

කාදිනල්, නීතිපති සහ පාස්කු ප්‍රහාරයේ බිල්ල

පාස්කු ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ පවත්වන කොමිසමේ සාක්ෂි විමසීම මේ සතිය තුළ අවසන්වීමට නියමිතය. වැදගත්ම කොටස එළැඹෙන්නේ මෙතැන් සිටය. පාට පක්ෂ කණ්ණාඩි නොදා මැදහත්ව අවංක නිරීක්ෂණයක්, නිගමනයක් මෙවර ලැබෙනු ඇතැයි බහුතර විශ්වාසයය. කාදිනල් මැල්කම් රංජිත් හිමි හෝ නීතිපතිගේ ආශාව ඉටු කිරීමට එහා ගිය මැදහත් බවක් කොමිසම හරහා ඉටුවිය යුතුව ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාක්ෂි විමසීම ජනතාවටද රහසක් නොවූ බැවින්, ඒවා එකිනෙක ලෙහා බලන කල සිදුවී ඇති සන්තෑසිය පිළිබඳ ජනතාව තුළද විනිශ්චයක් නිගමනයක් දැනටමත් සතුය. එහෙත් ඒ වෙනුවෙන් බුද්ධිමත් කමිටුවක් පත් කරනුයේ ඊටත් එහා ගිය විසඳුමක් පාදා ගන්නට බව නොරහසකි.

පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු එවකට යහපාලන ආණ්ඩුව එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගත්තේ තම තම වැරදි වහගන්නටය. ඒ අතර යහපාලන ප්‍රධාන එවකට ජනපති සිරිසේන ප්‍රබලය. රටේ නායකයා වුවත් තමා ඊට කිසිසේත්ම වග නොකියන බවට සපථ කරමින් තමා හැර අන් සියල්ල උල තැබිය යුතුයැයි ගෝරනාඩු කළේය. ඔහු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් දිය යුතු බව කියමින් ඒ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළේය. එම කොමිසමේ අවසන් වාර්තාව අදටත් ජනතාව අතට පත් කොට නැත. එහි කුමක් තිබුණාද යන්න ජනතා අවබෝධයක් නැත. එහෙත් ඒ වෙනුවට වැරදිකරුවන් දෙදෙනෙක් සොයා ගෙන තිබුණි. ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුය.

 

මෙහි ඇති වැදගත්ම කොටස නම් පාස්කු ගැන සොයා බලන කොමිසම පත් කරන්නටත් පෙර හිටපු ජනපති සිරිසේන මේ දෙපළ පාස්කු ප්‍රහාරයට සම්පූර්ණ වගකිව යුතු බවත්, ඔවුන් දඬුවම් විඳිය යුතු බවත් ප්‍රසිද්ධියේ කීමය. ජනපති සිරිසේනගේ කැමැත්ත අනුව පත් කළ පාස්කු පිළිබඳ සොයා බලන කොමිසමේ තීන්දුව වී තිබුණේද හේමසිරි සහ පූජිත් වැරදිකරුවන් බවය. එවකට ජනපති මෙන්ම නීතිපතිද හේමසිරි සහ පූජිත් මෙයට වගකිව යුතුම යැයි කියමින් සිරිසේන අඩිපාරේම ගියෝය. නීතිපති ජනපති සිරිසේනගේ සිතැඟි අකුරටම පිළිපැද්දෙකි. ඔහුට අනාගත අගවිනිසුරු වීමේ නොනිම් ආශාව ජනපති සිරිසේන ලවා ඉටුකර ගැනීමට මේ කැපකිරීම් කළා විය හැකිය. තවමත් එම කැපකිරීමේ අවසානයක් නැත. නොබෝදා ඔහු වත්මන් පොලිස්පතිගෙන් වර්තමාන කොමිසමේදී හේමසිරි සහ පූජිත්ගේ සාක්ෂි ඉල්ලා සිටිනුයේ තීන්දුවක්ද ලබාදෙමිනි. එනම් ‘පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බව කියමිනි.

නීතිපතිවරයාට හේමසිරි සහ පූජිත් සමග ඇත්තේ වෙනම ආරෝවක් බව පැහැදිලිය. මේ කඩිනම් ප්‍රකාශ හරහා නීතිපති ඉටු කරන්නේ නැවත සිරිසේනගේ කොන්ත්‍රාත්තුව බව පැහැදිලිය. ඔහුට වුවමනා මෙවරත් නිලධාරීන් දෙපළක් වන මොවුන්ගේ කර මත තබා ප්‍රශ්නය අහවර කළ හැකි බවට ඉඟි සැපයීමටය. මේ ඉක්මන් ප්‍රකාශ ඒ අරමුණෙන්ම බව පැහැදිලිය. කොමිසමේ සාක්ෂි ගෙන තමා තීන්දු කරනවාට පෙර කොමිසමම නිගමනයකට ආ යුතුය.

මෙතෙක් කොමිසම ඉදිරියේ සාක්ෂි සැපයූ සියලුදෙනාගේම කරුණු නිසි අධ්‍යයනය කළ යුතුය. ප්‍රසිද්ධ වූ ඒ සියලු කරුණු දෙස ඉතා පරීක්ෂාකාරීව බලන කල ජනපති සිරිසේන රටේ ආරක්ෂාව ගැන සතේකට මායිම් කර නැති බව පැහැදිලිය. ඔහු බුද්ධි මණ්ඩල රැස්වීම් නොවැදගත් කොටම සලකා ඇති බව පැහැදිලිය. මේ සාක්ෂි පුරාම ඇත්තේ සැවොම එකිනෙකාට බෝලය පාස් කිරීමකි. මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනපතිගේ අරමුණ තවමත් තමා කිසිවක්ම නොදත් තොත්ත බබා සේ ජනතාව ඉදිරියේ රඟපෑමය. එලෙස ඔහුට තම වගකීම්වලින් පහසුවෙන්ම ගැලවිය හැකිද? තමා හිටපු ජනපති නිසාත් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන බැවිනුත් ඔහු සහ සුද්දෙටම තමා ගැලවෙන තමාට චෝදනා එල්ල නොවන විශ්වාසයේ ගිලෙන බව පෙනේ. බුද්ධි ප්‍රධානීන්ද තමා තොරතුරු අහවලුන්ට දුන්නා යන තැන සිට අත පිහදා ගන්නා තත්ත්වයක් ඇත. ජනපති ආරක්ෂක ඇමති වූ අතර තමා රට සවාරි යන විට නිසි ලෙස ආරක්ෂාව තව කෙනෙකුට බාර දෙන්නටද ඔහු අකමැති විය. ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන නමට සිටියෙක් බව පැහැදිලිය. එසේ කියා ඔහුටද මෙයින් තමා නිදොස් කියා කරබාගෙන සිටිය හැකිද?

පාස්කු ප්‍රහාරය හුදකලා කොට ගෙන හිටපු ආරක්ෂක ලේකම් හෝ හිටපු පොලිස්පතිට දඬුවම් පැමිණුවැයි සාධාරණයක් නොවූ බව පසුගිය කාලයේ සමාජයම දැන ගත්හ. එම දෙපළ බන්ධනාගාර ගත කිරීමත් සමග සමාජය තුළ යහපාලනය කෙරෙහි හාස්‍යයක් ඉපැදීය. යහපාලන ආණ්ඩුවේ විශ්වාසය බිඳ වැටීම ආරම්භ වන්නේ පාස්කු ප්‍රහාරයටත් වඩා එයට වැරදිකරුවන් සෙවීමේ විකාර ස්වරූපය නිසාය. එදා අඩුම තරමේ ආණ්ඩුවක් ලෙසත්, එහි නායකයා ලෙසත් පාස්කු ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ තමන් කනගාටු වන බවත්, ආරක්ෂාව පිළිබඳ අඩුපාඩුවලින් රිංගා මේ තත්ත්වය උදාවූ බවත් එහි සියලු අඩුපාඩු ආණ්ඩුව පිළිගන්නා බවත් ඉදිරියේදී මෙවැනි දෑ නොවන්නට මෙයම පරමාදර්ශයක් කරගන්නා බවත් ජනතාව ඉදිරියේ සිරිසේන-රනිල් ආණ්ඩුව පිළිගත්තේ නම් ඒ අය කෙරෙහි ජනතා අප්‍රසාදය එතරම් විශාල නොවන්නට ඉඩ තිබුණි. එහෙත් සිදුවූයේ හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති නිසා මේ දේ වූවා යැයි රටට කීමෙන් ඒ අය පචමවීමය. එම දෙපළ වැරදි නම් තව කොපමණ පිරිසක් වැරදිකරුවන් විය යුතුද? ඔවුන්ට ඉහළින් සිටින අය මේවාට වගකිවයුතු නැද්ද?

මැල්කම් රංජිත් කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය කරට ගෙන දේශපාලන සෙල්ලම පටන් ගත්තේ මේ බාල රංගනය නිසාය. යහපාලනයේ කැත දර්ශනය නිසාය. ඔහු අදහන විදිහ අනුව නම් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ පූජිත හෝ හේමසිරි නොව ඊට වඩා වෙනත් පිරිසකි. කාදිනල් හිමි නම් නොකිව්වද ඔහු තුළ නම් ලැයිස්තුවක් ඇති බව පැහැදිලිය. ඒ නම් දඬු කඳට නොගෙනෙන තාක් කාදිනල් හිමිගේ විශ්වාසය කිසිවකුට ලබාගත නොහැකි බව දැන් පැහැදිලිය.
යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළි නොකළ බවත්, නියම වගකිවයුත්තන් යහපාලන ආණ්ඩුව හෙළි නොකරන නිසාම ඒ ආණ්ඩුව පෙරළන බවට එදා කාදිනල් හිමි ප්‍රතිඥා දුන්නා පමණක් නොව, ඒ වෙනුවෙන් එළිපිටම සටන් වදින්නටද විය. පාස්කු ප්‍රහාරයට විසඳුම් ලබාදිය හැකි හොඳම පිරිස රාජපක්ෂලා බව එදා කාදිනල් හිමි රටට කියනුයේ කාතෝලික ඡන්ද පදනමද සිය අතේ තබාගෙන එය කේවල් කරමිනි. කාදිනල් හිමි තරම් චරිතයක් එකල රාජපක්ෂවරුන්ටද නොවූහ. කාදිනල් හිමිට එරෙහිව වචනයක් කීම දේශපාලන අනාථවීමක් දක්වා තත්ත්වය දුරදිග ගියේය.

ඉන්පසු ගෝඨාභය ආණ්ඩුවක් ආ සැණින් කාදිනල් සතුටු කිරීම තම න්‍යාය පත්‍රයේ අංගයක් කොට ගත්තේය. නැවත පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට එහි නියම වැරදිකරුවන්ට දඬුවම් දීමේ අටියෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන කොමිසක් ජනපති ගෝඨාභය පත් කළේය. කාදිනල් හිමි මේ ගැන සතුටින් ඉපිළ ගිය අතර ඒ ගැන වර්ණනාද කළේය. නීතිඥ හිස්බුල්ලා සහ රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගත් කල සියල්ල ටක්කෙටම සිදුවනවා යන විශ්වාසයෙන් කාදිනල් හිමි ඉපිළ ගිය අතර පරීක්ෂණ අපූරුවට වනවා යන වැනුමද වැනීය. එහෙත් රිෂාඞ්ට ඇප ලැබුණු විට කාදිනල් හිමිගේ මුහුණ හැකිලුණි. දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ බැඳ ගත්ත බෙරේ ගහනවා හැර වෙන කිසිවක් නොවේ.

නොබෝදා මැල්කම් රංජිත් හිමි හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ගිය කල “පරීක්ෂණ පස්සට තල්ලු කළොත් වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම්වලට වගකීම් පවරන්න වෙනවා. රජය කෙරෙහි විශ්වාසය බිඳෙනවා එහෙම වුණොත්” පන්නයේ කතාවක් ඔහුට කී බවට මාධ්‍ය වාර්තා කොට තිබුණි. ඇතැම් මාධ්‍ය අද හෙටම ආණ්ඩු පෙරළියක් කාදිනල්තුමා කරන බවට පුවත ඔසවා තිබුණි. කාදිනල් හිමි කරන්නෙත් පාස්කු ප්‍රහාරයේ බෝලය එහාට මෙහාට පාස් කරමින් අමුතුම සෙල්ලමකි. යහපාලනයේ බංකොළොත් බව කියමින් ගෝඨා තෝරා ගත් කාදිනල් හිමි නැවත මේ ආණ්ඩුවත් ෂුවර් නෑ පන්නයේ කතා කියනුයේ නැවත යහපාලනයේම සිටි සාමාජිකයෙකුටය. කාදිනල් හිමිගේ දේශපාලනයේ කැතකමද සමාජගතවෙමින් පවතී. එය අප කල් තියා දුටුවද බොහෝ අය නොදුටු දසුනකි.

භික්ෂු සමාජය එළිපිටම සමාජය තුළ දේශපාලනිකව නිරුවත් වුවද කතෝලික සභාව එසේ නොවුණි. එහෙත් පසුගිය කාලයේ කාදිනල් හිමිගේ මැදිහත්වීමක් සමග පන්සල සමග පල්ලියද එකට හිට ගත්තේය.

හිටපු ජනපතිගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති දැක්ම මෙන්ම කාදිනල් හිමිගේ ඒ පිළිබඳ ඇති දැක්මෙහි කිසිදු වෙනසක් නැත. මේ දෙදෙනාගේම පැතුම තමන්ට ගැලවී සතුටු විය හැකි වැරදිකරුවන් දඟ ගෙට යැවීමය. සිරිසේන ඒ සඳහා තෝරාගෙන ඇත්තේ පූජිත් සහ හේමසිරිය. සිරිසේන තමාට බලය ඇති කල ඒ අයව වැරදිකරුවන් කොට සතුටු විය. දැන් කාදිනල් හිමි බලාපොරොත්තු වන පිරිසක් සිටිති. ඒ අය හිරේ නොගොස් කවුරු හිරේ ගියද පාස්කු ප්‍රහාරයට සාධාරණයක් වුණා යැයි කාදිනල් හිමි නොපිළි ගනිති. ඇත්ත එයය. අනෙක් අතට බොහෝ අය දේශපාලනයේදී රැවටෙන තැනක් ඇත. එනම් තමාගේ හෝ තම කණ්ඩායමේම මැදිහත්වීමෙන් ආණ්ඩු පිහිටුවනවා යන්නය.

යහපාලනය තමන්ගේම වැඩක් බව පුරවැසි බලය ලෙස අටවා ගත් පිරිස් සිතූහ. ඔවුහු යහපාලනය ආ පසු හැකි උපරිම බල්ටි ගැසූහ. එහෙත් අවසානයේ සිදුවූයේ කුමක්ද? ඔවුන් පමණක් වඳවී යෑමය. එමෙන්ම කාදිනල් හිමිද දැන් සිතනුයේ ගෝඨා ජනපති කළේ තමා බවය. ඒ නිසා දඟලන්න ආවොත් පෙරළනවා වැනි කතා කියමින් සිටිති. ඇත්ත නම් දැන් කාදිනල් හිමිට කළ හැකි දෙයක් නැත. රටේ ජනතාවට මෙන්ම ඒ හිමිටද සිදුව ඇත්තේ කරබාගෙන සිටීමය. ඒ හඬවල් දැන් වලංගු නොවේ. කාදිනල් හිමි මේ යථාර්ථය නොදන්නවා නොවේ. එහෙත් දේශපාලන කොමඩියට ආ කල විහිළු කළ යුතුමය.

පාස්කු ප්‍රහාරය යනු ගෝඨාට ජනපතිවීමට ලැබුණු වරමකි. එහෙත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම ගෝඨාගේ ජනපතිකම තීරණය කරන ප්‍රධාන සාධකය නොවේ. කාදිනල් හිමි සතුටු කරන්නට හෝ නීතිපතිට ඕනෑ දේ කරන්නට හෝ ජනපති ගෝඨාගේ පාස්කු කොමිසම ඉඩ නොදෙනු ඇත. එක්කෝ මීට සම්බන්ධ යැයි කොමිසමට ආ සියල්ලෝ කුදලාගෙන හිරේ දැමිය යුතුය. නැතහොත් දැනට අත්අඩංගුවට ගෙන ඇති ඍජුවම බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු අය සහ ඒ අයට සම්බන්ධ සෙසු අය සොයා දඬුවම් දෙනු හැර පොදුවේ ආණ්ඩුවක් ලෙස යහපාලනයේම අවුලක් අඩුවක් ලෙස සලකා මෙය හකුළා දැමිය යුත්තේ ආණ්ඩුවකටම දඬුවම් දීම කළ නොහැකි බැවිනි. බුද්ධිමත්ම තීරණය නැවත එවැන්නක් නොවීමට වග බලා ගැනීමය. එසේ නොවී කාව හෝ සතුටු කරන්නට නිලධාරියකු දෙදෙනකු හිරේ යැවීමෙන් මියගිය කතෝලික පිරිසට සාධාරණයක් නොවන බව සිහි තබා ගත යුතුය.

 

කතෝලික ජනයාට ප්‍රහාර එල්ල කළේ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බැවින් ඊට වගකිවයුත්තේ මුස්ලිම් ජනයාම යැයිද හිරේ යායුත්තේ මුස්ලිම් අය යැයි කවුරු හෝ සිතන්නේ නම් සිතා කටයුතු කරන්නේ නම් ඒ අය සතුටු කිරීම මේ ආණ්ඩුව නොකළ යුතුය. තවත් අතකින් හිටපු ජනපති සහ ඒ ආණ්ඩුව බුද්ධි අංශ සියල්ල ගලවා පුරුදු පරිදි හිටපු පොලිස්පති හෝ ආරක්ෂක ලේකම් වගකිව යුතු යැයි නීතිපති සිතන ළාමක සතුටටද ඉඩක් නොදිය යුතුය. ගෝඨා ජනපතිවීමට පාස්කු ප්‍රහාරය පවුරක් ලෙස භාවිත කිරීමෙහි කිසිදු අවැඩක් නැත. එහෙත් එය කර තබාගෙන යා යුතු නැත. පාස්කු ප්‍රහාරය ඒ මොහොතේ සමස්ත ආණ්ඩුවේම නොහැකියාවේ ප්‍රතිඵලයකි. එයට හේතුව ආරක්ෂාව පිළිබඳ අවම සැලකිල්ලය. එය ජනිත වන්නේද රටේ ආරක්ෂාව උපරිම සහතික කළා යැයි රාජපක්ෂලා දුන් සහතිකයය. එය මුද්‍රාවක් නැති සහතිකයක් බව යහපාලන ආණ්ඩුව වටහා ගන්නා විට ප්‍රමාදය. මන්ද සහතිකය බලවත් රාජපක්ෂලා සිටියොත් යන්න ජනතාව තීන්දු කොට හමාරය. තර්කානුකූලව බලන කල එදා පාස්කු ප්‍රහාරය යහපාලනයට හෙණයක් වන විට රාජපක්ෂලාට එය යහපතක් නොවුණිද? පිරිසක් දුර්වලයන් වන්නටත් තව පිරිසක් ප්‍රබලයන් වන්නටත් එය මෙවලමක් නොවීද? දේශපාලනයේදී හතුරෝ නැතිවා සේ ම ඛේදවාචකද නැත. අප තේරුම් ගත යුත්තේ ඒවා පාඩම් බවය. ■

-ටිරන් කුමාර බංගගමආරච්චි | Ravaya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *